යකඩ යකා සහ අපේ යක්කු

  👤  3726 readers have read this article !
2017-11-23

'දුම්රියට අපලයි' සිරස්තලයෙන් පළවූ ඊයේ දිනපතා පත්‍රයේ මුල් පුවතින් කියැවුණේ දිවයිනේ ස්ථාන කිහිපයකදී දුම්රියට සිදුවූ අකරතැබ්බ ගැනය. මේ; ඒ ගැන නොව අනෙකකි. එහෙත් දුම්රියට සම්බන්ධය.

ගෙවුණු මාස දහයක කාලය තුළ පුද්ගලයන් 446ක් දුම්රිය අනතුරුවලින් මරණයට පත් වී ඇත. දුම්රිය හරස් මාර්ගවලදී දුම්රියේ රථවාහන ගැටීමෙන් සිදුවූ අනතුරු සංඛ්‍යාව 84කි. දුම්රියෙන් මගින් ඇදවැටීම් නිසා අනතුරු 76ක් සිදුවී ඇත. දුම්රිය මාර්ගයේ හෝ දුම්රිය මාර්ග හරහා හෝ ගමන් කිරීමේදී අනතුරු 436ක් සිදුවී තිබේ. දුම්රිය හරස් මාර්ග ගේට්ටුවල වාහන ගැටීම් හේතුවෙන් සිදුවූ හානි 506ක්ද වාර්තා වී ඇතැයි දුම්රිය ආරක්ෂක අධිකාරිවරයා අනාවරණය කර ඇත.

කැපීපෙනෙන කාරණය නම් ගෙවුණු මාස දහයේ සිදුවූ මාර්ග අනතුරු 446න් මරණ 24ක් සිදුව ඇත්තේ දුම්රිය මාර්ගයේ හෝ දුම්රියේ 'සෙල්ෆි' ඡායාරූප ගැනීමට යෑමෙන් සිදුවූ ඒවා වීමය. මේ මරණ අතරට, දුම්රියට පැනීමෙන් සිදුවූ මරණද ඇතුළත් වේ. දුම්රිය ආරක්ෂක අධිකාරිවරයාට අනුව වසරින් වසර දුම්රිය මාර්ගවල සිදුවන අනතුරුවල ඉහළ යෑමක් දක්නට ඇත.

සිවු දෙනකු රැගත් මෝටර් රථයක් වේයන්ගොඩ-හීන්දෙණිය දුම්රිය හරස් මාර්ගය මතදී ඉකුත් 20 වැනිදා දුම්රියක ගැටීමෙන් තිදෙනෙක් මිය ගියහ. අනතුර වුණු ස්ථානයේ ආරක්ෂක ගේට්ටුවක් නොතිබුණද සංඥා එළි හා අනතුරු ඇඟවීමේ නළාව ශබ්ද වෙමින් තිබී ඇත. නොසැලකිල්ල මේ අනතුරට ප්‍රධාන හේතුවකි. රියැදුරන්ගේ නොසැලකිලිමත්කම හා මාර්ග සංඥා නොතකා හැරීම මෙරට සිදුවන බොහෝ අනතුරුවලට මුල් වී තිබේ.

ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය වූ ආකාරයට 2015 වසරට සාපේක්ෂව 2016දී රිය අනතුරුවලින් සිදුවූ මරණ සංඛ්‍යාව 201කින් ඉහළ ගොස් ඇත. 2015 වසරේදී මරණ 2816ක් වී ඇති අතර 2016දී මරණ සංඛ්‍යාව 3017කි. 2014දී රිය අනතුරු 37,966ක් සිදුවී තිබේ. 2015දී 38,107කි. ඒ සංඛ්‍යාව 2016දී 39,199 දක්වා වර්ධනය වී ඇත.

රජය පවසන්නේ වාහන වැඩිවීම, මාර්ගවල තත්ත්වය, අනතුරු ඉහළ යෑමට හේතු වී ඇති බවයි. මේ කාරණා දෙකටම වගකිවයුත්තේ පාලකයන්ය. මාර්ග පද්ධතිය පුළුල් කිරීම, සංවර්ධනය කිරීම, වාහන ආනයනය සීමා කිරීම ආණ්ඩුවේ වගකීමකි. 'ත්‍රිරෝද රථ' මාර්ගවල බහුල වීමද අනතුරුවලට බලපෑමක් කර ඇත. ත්‍රිරෝද රථ ආනයනය සීමා කිරීමට මෙවර අය-වැයෙන් යෝජනා කිරීම ප්‍රශංසාකටයුතුය.

රිය අනතුරු වසරින් වසර ඉහළ යෑමට දිනෙන් දිනම වර්ධනය වන රියැදුරන්ගේ නොසැලකිලිමත් භාවය හා විනය ගරුක නොවීම බරපතළ ලෙස බලපා ඇත. ජංගම දුරකතනයෙන් ඇමැතුම් ලබා ගනිමින් රිය ධාවනය, නොසැලකිලිමත් ලෙස වෙනත් රියකට ඉස්සර කිරීම, වෙහෙසට පත්ව සිටියදී විවේක නොගෙන රිය පැදවීම නිසා නින්ද යෑම, මාර්ග නීති නොතැකීම රියැදුරන් කරන වැරැදි අතර ප්‍රධාන වේ. බීමත්ව රිය පැදවීම මේ වැරැදිවලට දෙවැනි වී ඇත.

'පරිස්සමින් ගිහින් එන්නැ'යි කීවද අනෙකාගේ පරිස්සමක් නොමැති වීම නිසා අවසානයේ කවුරු කවුරුත් අනතුරේ වැටෙති. බොහෝ රියැදුරන් පමණක් නොව ඇතැම් පදිකයන්ද නොසැලකිලිමත්ය. විනයගරුක නැත. මෙවැනි පිරිස් සිටින රටක 'දුම්රිය' අනතුරු පමණක් නොව රථවාහන අනතුරුද ඉහළ යෑම පුදුමයක්
නොවේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්