බල්ලාගේ වැඩේ බූරුවාට බාරදීම

  👤  4426 readers have read this article !
2017-11-21

ශ්‍රී ලංකාවට සුද්දන්ගෙන් නිදහස ලැබුණේ 1948දීය. එදා සිට මේ වන විට වසර 69ක් ගතවී ඇත. අපට පසු නිදහස ලැබූ බොහෝ ආසියාතික රටවල් අද ලෝකයේ දියුණුතම රටවල් අතරට එක්වී සිටියදී ශ්‍රී ලංකාව තවමත් දියුණු වෙමින් පවතින රටකි. මේ යන විදියට නම් තවත් අවුරුදු 50කටවත් මේ රට දියුණු රටක් වේ යැයි සිතිය නොහැක්කේ දියුණුව යනු සාපේක්‍ෂ මිම්මක් නිසාත් ලෝකයේ අනෙක් රටවල් බොහෝමයක් ලංකාවට සාපේක්‍ෂව වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින නිසාත්ය. ඒ අතර අප්‍රිකානු රටවල් රැසක්ද වේ.

නිදහසින් පසු 1954 හා 1955 වසර හැරුණු විට අන් සෑම වසරකම අපේ රටේ අය-වැය පරතරය ඍණ අගයක් විය. පරතරය පියවා ගත්තේ රජය විසින් දේශීය හා විදේශීය ණය ලබා ගැනීමෙනි.

2005දී පසුගිය ආණ්ඩුව බලයට එන විට රටේ සමස්ත ණය බර රුපියල් බිලියන 2,222ක් විය. (කෝටි 222,200)
2014 අවසාන වන විට රාජ්‍ය ණය බර රුපියල් බිලියන 7391 දක්වා ඉහළ ගොස් තිබිණි.

වසර නවයක කාලය තුළ රුපියල් බිලියන 5160කින් රාජ්‍ය ණය බර වැඩිවී තිබිණි. මේ වසරකට දළ වශයෙන් රුපියල් බිලියන 575ක පමණ වැඩිවීමකි. මේ මුදල්වලට සිදුවූයේ කුමක්දැයි වටහා ගැනීමට එම වසර 9ක කාලය තුළ සිදුවූ දේවල් මතක් කර බලමු. වසර 30ක් තිස්සේ රටට විශාල බරක්ව පැවැති ත්‍රස්තවාදය මුලින් උපුටා දමන ලදී.
රටේ ආර්ථික සංවර්ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 20 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 80 දක්වා සිවු ගුණයකින් වැඩිවිය. ආර්ථිකය ඇමෙරිකානු ඩොලර් බිලියන 20 දක්වා වර්ධනය වීමට වසර 57ක් ගතවී තිබුණ අතර එය සිවු ගුණයකින් වර්ධනය කිරීමට අවශ්‍ය වූයේ වසර 9ක් පමණි.

උද්ධමනය 8.3% සිට 3.3%ට අඩුවිය. රැකියා වියුක්තිය 8.3% සිට 4.3%ට අඩුවිය. දුගී බව 15% සිට 8%ට අඩුවිය.
විදුලිය ඇති නිවාස ප්‍රමාණය 73% සිට 98% දක්වා වැඩි විය. පිරිසුදු ජලය ලැබෙන නිවාස ප්‍රමාණය 72% සිට 90% දක්වා වැඩි විය. දුරකතන භාවිතය 37% සිට 120% දක්වා වැඩිවිය. පරිගණක සාක්‍ෂරතාව 0.5% සිට 26% දක්වා වැඩි විය. අය-වැය පරතරය 7.5% සිට 5.7% දක්වා අඩු විය. රාජ්‍ය ණය බර දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 102.5% සිට 70.3%ට අඩු විය.

කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශකය ඒකක 1506 සිට 7299 දක්වා වැඩි විය. 2014 වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ ආසියාවේ තිරසරම කොටස් වෙළෙඳපොළ ලෙස සම්මාන ලැබීය. කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය ලෙස 2014 සම්මාන ලැබුවේ චීනය පවා පරදවමිනි.
පසුගිය ආණ්ඩුවේ අවසාන වසර කිහිපයේ ලංකාවේ ආර්ථිකය වසරකට 7%කට ඉහළ වේගයකින් වර්ධනය වෙමින් පැවැතිණි. බැලූ බැලූ අත සංවර්ධනය දක්නට ලැබිණි. අපි උදාහරණ කිහිපයක් ගෙන බලමු.

මාගම්පුර වරාය ඉදිකිරීම, ඔළුවිල් වරාය ඉදිකිරීම, දකුණු කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතිය, කොළඹ වරාය පුළුල් කිරීම, කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය වැනි වරාය නිර්මාණයන් හා සංවර්ධනය කිරීම්, මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීම, ඉරණමඩු ගුවන්තොටුපොළ සංවර්ධනය වැනි ගුවන්තොටුපොළ නිර්මාණය හා සංවර්ධනය කිරීම්, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ - මාතර අධිවේගී මාර්ගය, පිටත වට රවුම් අධිවේගී මාර්ගය මෙන්ම රට පුරා ඉදිවූ හා අලුත්වැඩියා වූ මහා මාර්ග පද්ධතිය, යාන්ඔය ජලාශය, වෙහෙරගල ජලාශය, දැදුරු ඔය සංවර්ධනය, මන්නාරම යෝධ වැව සංවර්ධනය, ඉරණමඩු හා මුතියංගණ කට්ටුවැව සංවර්ධනය, මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය වැනි ජලාශ හා වාරිමාර්ග සංවර්ධනය, නොරොච්චෝලේ බලාගාරය, ලක්විජය බලාගාරය, උතුරු ජනනී බලාගාරය හා විදුලි පද්ධතිය, කෙරවළපිටිය බලාගාරය, මොරොගොල්ල ජල විදුලි ව්‍යාපෘතිය වැනි විදුලි බලාගාර ව්‍යාපෘති, උතුරු දුම්රිය මාර්ගය, මන්නාරම දුම්රිය මාර්ගය වැනි දුම්රිය මාර්ග, ලංකාවේ දිගම පාලම වන කින්නියා පාලම, සේරුනුවර හා සෝමාවතිය පාලම, දෙහිවල, ගම්පහ, පෑලියගොඩ, වේයන්ගොඩ, නුගේගොඩ ගුවන් පාලම්, අංගුපිටිය, මනම්පිටිය, ආරුගම්බේ, ඉරක්කන්ඩි පාලම් වැනි පාලම් නිර්මාණය,

උතුරු නැඟෙනහිර පාසල් යළි ගොඩනැඟීම, පරිගණක තාක්‍ෂණ විද්‍යාල 1000ක් ඇති කිරීම, උෟව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය පිහිටුවීම, සාගර විශ්වවිද්‍යාලය පිහිටුවීම වැනි අධ්‍යාපන පහසුකම් සංවර්ධනය, කොළඹ පැල්පත්වාසීන් වෙනුවෙන් ඉදිකළ තට්ටු නිවාස යෝජනා ක්‍රම, අභිමංසල රණවිරු නිවාස යෝජනා ක්‍රමය වැනි නිවාස යෝජනා ක්‍රම, කොළඹ නගරය නවීකරණය, හම්බන්තොට නගර සංවර්ධනය, තුරඟපිටිය ගොඩනැඟිලි සංකීර්ණය නවීකරණය, ලන්දේසි රෝහල නවීකරණය, ආර්කේඩ් ගොඩනැඟිලි සංකීර්ණය නවීකරණය, නෙලුම් කුලුණ, නෙළුම් පොකුණ කලාගාරය, මාගම්පුර සම්මන්ත්‍රණ ශාලාව, ශ්‍රී ජයවර්ධනපුර නවීකරණය හා ජල පාලනය, බෙල්ලන්විල සංවර්ධන ව්‍යාපෘතිය, ගාල්ල ලන්දේසි බලකොටුව නවීකරණය වැනි නාගරික සංවර්ධන කටයුතු. ලිපිය දික්වන නිසා මෙහි සඳහන් කළේ එදා අප සියැසින් දුටු සංවර්ධනයෙන් කොටසක් පමණි.
එහෙත් ලංකාවේ ඡන්ද දායකයෝ බහුතරයක් මින් සෑහීමට පත් නොවූහ. ඔවුන්ට වෙනසක් අවශ්‍ය විය. ඒ අනුව 2015 ජනවාරි මස රටේ පාලනය වෙනත් කණ්ඩායමකට භාර දෙන ලදී. ඒ වඩා සාර්ථක පාලන තන්ත්‍රයක් අපේක්‍ෂාවෙනි. එම නව පාලනයේ තේමාව යහපාලනය යන නමින් ජනගත කෙරුණි.

වෙනස සිදුකොට දැන් වසර 3කට ආසන්නය.

නව ආණ්ඩුව බලයට ආවේ කිසිදු සූදානමක් හෝ සැලැස්මක් නැතුවය. මාස දෙක තුනට වරක් රජය අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමෙන් එය තහවුරු වේ. ප්‍රමුඛතා හඳුනා ගැනීමට නොහැකි වීම නිසා කාලය මෙන්ම සම්පත්ද නාස්ති විය. පරිපාලනයට නව රජයේ ප්‍රධානීන්ට ඇති නොහැකියාවද ඉතා සුළු කලකින් ජනතාවට දකින්නට ලැබිණි.
අප පසුගිය වසර 3කට ආසන්න කාලය තුළ අත්පත් කරගෙන ඇත්තේ මොනවාදැයි මඳක් සිතා බලමු. හදවතින් නොව බුද්ධියෙන් විමසා බලමු. ඒ සඳහා ඕනෑම අයකුට රජයේම දත්ත භාවිත කළ හැකිය. මහ බැංකු වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ලිපියේ සඳහන් ඕනෑම දත්තයක් පරීක්‍ෂා කළ හැකිය.
රටේ ආර්ථික වර්ධන වේගය අඩාල වී ඇත. එය මේ වන විට 4%ට අඩුය.
උද්ධමනය 3.3% සිට 8.6%ට වැඩිවී ඇත.
රැකියා වියුක්තිය 4.3% සිට 4.6%ට වැඩිවී ඇත.
එහෙත් 2017 වසරේ රජයේ එදිනෙදා වියදම 2014ට වඩා 49%කින් ඉහළ ගොස් ඇත. 2018 වසරේ ඇස්තමේන්තුව අනුව 63%කින් වියදම ඉහළ යෑමට නියමිතය.
ජනතාව මත පැටවූ බදු 2014ට වඩා 49%කින් දැනටමත් ඉහළ ගොස් ඇති අතර මෙවර අය-වැය යෝජනා අනුව 2018 වසරේ ජනතාවගේ බදු බර 2014ට සාපේක්‍ෂව 94%කින් ඉහළ යනු ඇත.

2018 වසරේදී ජනතාව 2014ට වඩා රුපියල් බිලියන 984ක් (කෝටි 98,400ක්) වැඩිපුර බදු ගෙවීමට නියමිතය. රුපියලේ අගය 17%කින් පමණ බාල්දු වීම නිසා පමණක් රාජ්‍ය ණයවලට ඇති බලපෑම රුපියල් බිලියන 550කින් පමණ ඉහළ ගොස් ඇත.
ලෝක බැංකුවේ 'ව්‍යාපාර කිරීමේ පහසුකමේ දර්ශකය' තුළ 2014දී ශ්‍රී ලංකාව ලෝකයේ 85 වැනි ස්ථානයේ සිටි නමුත් 2017 අවසන් වන විට අප 110 වැනි ස්ථානයට පහත වැටී ඇත.

ලෝ ප්‍රකට බ්ලූම්බර්ග් ආයතනය ශ්‍රී ලංකාව ආයෝජනයට අනතුරුදායක රටක් ලෙස නම් කොට ඇත. පසුගිය වසර 3 තුළ විදේශ ආයෝජන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6කට වඩා ලංකාවෙන් ඉවත් කරගෙන ඇත.
මේ අතර රජය දිගින් දිගටම අලුතින් ණය ගනිමින් සිටී.

2014දී රුපියල් බිලියන 7391ක් වූ රාජ්‍ය ණය බර 2017 ජුනි වන විට රුපියල් බිලියන 10,163 දක්වා ඉහළ ගොස් තිබිණි. 2018 අය-වැය යෝජනා අධ්‍යයනයෙන් පෙනෙන්නේ 2018 අවසන් වන විට රාජ්‍ය ණය බර රුපියල් බිලියන 12,000 ඉක්මවීමට නියමිත බවයි. ඒ 2014ට සාපේක්‍ෂව 64%ක පමණ වැඩිවීමකි.
මේ අනුව පසුගිය රජය වසර 9ක් තුළ අලුතින් ලබාගත් රුපියල් බිලියන 5,169ක ණය මෙන් 90%ක් හෙවත් රුපියල් බිලියන 4,700ක පමණ අලුත් ණය වත්මන් රජය ඔවුන්ගේ මුල් වසර 4 තුළ ලබා ගැනීමට නියමිතය. පසුගිය රජය ආරම්භ කර තිබූ ව්‍යාපෘතීන් වැඩ අවසන් වූ පසු තමුන්ගේ මෙන් පෙන්වා විවෘත කරනවා විනා එදා මෙන් ඔබට ඇහැට පෙනෙන්නට සංවර්ධනයක් අලුතින් සිදු වෙමින් පවතීද?

අනාගත පරපුර වෙනුවෙන් අප ඉතුරු කළ යුතු සම්පත් විදේශිකයන්ට කුණු කොල්ලයට පවරා දී පිටරැටියන් විත් අප රට දියුණු කරනු ඇතැයි යන අන්ධ විශ්වාසයෙන් බලා සිටීම හැර වෙනත් ආර්ථික ප්‍රතිපත්තියක් ජනතාවට නම් පෙනෙන්නට නැත. දේශපාලන කණ්ණාඩි ගලවා මඳක් සිතුවොත් අප මේ යන්නේ කොයිබටද යන ගැටලුව ඕනෑම පුරවැසියකුට මතුවනු ඇත.

ජනතාව ආණ්ඩුවක් පත්කරගන්නේ රට පාලනය කිරීමට මිස වසර 3ක් තිස්සේ පසුගිය ආණ්ඩුවට ‍ෙදාස් පවරමින් කාලය නාස්ති කරන්නට නොවේ. නමුත් වත්මන් ආණ්ඩුව ඒ හැර වෙන යමක් කරනවා අපට පෙනෙන්නට නැත. වසර කිහිපයකට පෙර අපි අපේ දරුවන්ට පැහැදිලි අනාගතයක් ගොඩනඟමින් සිටියෙමු. ඉගෙන ගෙන පිටරැටියන්ට වැඩ කරන්නට යනවා වෙනුවට තමන්ගේම රටේ අභිමානවත්ව ජීවත් වන්නට අවශ්‍ය පරිසරය ඔවුන් වෙනුවෙන් නිර්මාණය වෙමින් තිබිණි.

කතිරයකින් ඒ ගමන නතර කර දැමුවේ අප අතරම සිටි පිරිසක් විසිනි. තීන්දුව වැරැදුණු බව මේ වන විට ඔවුන්ගෙන් බොහෝ දෙනකු පිළිගනිති. වැරැදීම නිවැරැදි කිරීමට අවස්ථාවක් එනතුරු ඔවුහු බලා සිටිති. නමුත් මෙදා වැටුණු වළෙන් ගොඩ ගැනීම නම් කතිරයකට පමණක් කළ හැකි වේදැයි සැක සහිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්