ගිංතොට ගින්න සහ අබ සරණ

  👤  3529 readers have read this article !
2017-11-21

උතුරු පළාතේ යාපනය ප්‍රදේශයේ සිදුවූ පහරදීමේ සිද්ධින් කිහිපයකට සම්බන්ධ බවට සැකකොට 47 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කළ මෙහෙයුම්වලදී හැකිවී තිබේ. අදාළ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කිරීම නිසා උතුරේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු දින නියමයක් නොමැතිව අවලංගු කර ඇත. නොවැම්බර් 26 වැනිදාට එල්. ටී. ටී. ඊ. හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදී ඇති අතර එම සංවිධානයේ මහවිරු දිනය මේ මස 27 වැනිදා සැමරේ. නීති විරෝධී සංවිධානයක් වන එල්. ටී. ටී. ඊ. ය සැමරුම් උත්සව පැවැත්වීමට සූදානම් වන බැවින් අදාළ මෙහෙයුම් අඛණ්ඩව සිදු කිරීමට පොලිසිය තීරණය කර ඇත. පරීක්‍ෂණවලින් පසු නිර්දෝෂී
වන පුද්ගලයන් අත්අඩංගුවෙන් මුදා හරින බවද පොලිසිය ප්‍රකාශ කර තිබේ.

උතුරු පළාතේ විශේෂයෙන් යාපනයේ තත්ත්වය සාමාන්‍ය වන තුරු අදාළ ආරක්‍ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනු ඇතැයි පැවැසේ.
උතුරු පළාතේ යාපනය ප්‍රදේශයේ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වෙද්දී දකුණු පළාතේ ගිංතොට ප්‍රදේශයේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවිය. ඊට හේතු වූයේ ගාල්ල ගිංතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඉකුත් 17 වැනිදා රාත්‍රියේ ඇතිවූ ගැටුමක් දුරදිග යෑමය. උද්ගත වූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා එම ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් හතකට පැය 48කට අධික කාලයක් පොලිස් ඇඳිරි නීතිය පැනවිණි.

සුළු රිය අනතුරක් සම්බන්ධ සිද්ධියක් දුරදිග යෑමෙන් ඇතිවූ ගැටුමෙන් නිවාස 66ක්, රථවාහන 10ක්, වෙළෙඳසල් 23ක් ඇතුළු දේපොළ රැසකට හානි සිදු විය. කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් 19 දෙනකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබිණි. තුවාල ලබා රෝහල් ගතකර තිබූ ගණන 6කි. තත්ත්වය පාලනයට පොලිස් විශේෂ කාර්ය

බළකාය හා පොලිසිය පළමුවද නාවික, ගුවන් හා යුද හමුදා භටකණ්ඩායම් දෙවනුවද යොදා ගැනීමට සිදුවිය.
මීට වසර කිහිපයකට පෙර කළුතර, අලුත්ගම ප්‍රදේශයේ ඇති වූ 'ගැටුම' මෙන් මෙවර 'ගැටුම' විශාල විනාශයක් දක්වා ඇදී ගියේ නැත. ඊට හේතුව වූයේ බලධාරීන්ගේ කිසිදු අනුබලයක් ඊට නොලැබීමය. 83 කළු ජූලිය මෙන්ම අලුත්ගම කළු ජූලිය පිටුපස ඇතැම් බලධාරීන් සිටි බව නොරහසකි. "අබ සරණ" කියමින් අලුත්ගම ගැටුම අවුළුවාලීමට මුල් වූයේ යැයි චෝදනා ලැබූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි ගිංතොට ගොස් කියා තිබුණේ 'ගිනි පුපුර ගිනි ජාලාවක් බවට පත්කර නොගෙන ලත් තැනම ලොප් කළ යුතු බව'ය. ඇත්තෙන්ම උන්වහන්සේගේ මේ හැසිරීම අලුත්ගම හැසිරීමට සාපේක්‍ෂව අහසට පොළොව මෙන්ය. 'අබ සරණ" වෙනුවට 'බුදු සරණ' තෝරා ගැනීමට ඥානසාර හිමි තුළ සැබෑ පරිවර්තනයක් ඇතිවී තිබේ නම් එය අගය කළ යුතුය.

සිද්ධිය ඇතිවූ වහාම ප්‍රදේශයේ සිංහල හා මුස්ලිම් ජාතික දේශපාලනඥයන් හා කොළඹින්
ගිය දේශපාලනඥයන් එකතු වී සාමය ඇති කිරීමට ගත් වෙහෙස සාධනීය ය. ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමට ගිය දේශපාලනඥයන්ගේ නිල රථයකටද කලහකාරීන් අලාභහානි සිදුකර තිබිණි. මුස්ලිම් ජාතික දේශපාලනඥයකු ආරක්‍ෂා කරගෙන තිබුණේ සිංහල ජාතික දේශපාලනඥයකු විසින් බව දැනගන්නට ඇත.
ඇතිවූ ගින්නට "ජාතිවාදී" පිදුරු දැමීමට ඇතැම් සමාජ ජාල මාධ්‍ය උත්සාහ කළ අතර මුහුණුපොත හරහා අවස්ථාවාදී ජාතිවාදීන් ද එවැනි උත්සාහයක් ගෙන තිබිණි. වාසනාවට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සියල්ලම පාහේ ගිංතොට සිද්ධිය වාර්තා කිරීමේදී පරිස්සමින් කටයුතු කළේය. නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක, වගකීමෙන් යුතුව කටයුතු කළ සියලුම මාධ්‍ය ආයතන සහ අදාළ පාර්ශ්ව වෙත ස්තුතිය පුද කර සිටියේ එනිසා විය යුතුය.

මේ සිද්ධියේදී බලධාරීන් කාර්යක්‍ෂමව හා වගකීමෙන් යුතුව කටයුතු කළ බව පෙනේ. එහෙත් අන්තවාදීන්, අවස්ථාවාදීන් අසත්‍ය ප්‍රචාර කරමින් හැසිරුණු ආකාරය කනගාටුදායකය. අගමැතිවරයා ඉකුත් 18 වැනිදා ගිංතොට ප්‍රදේශයට ගොස් විපතට පත් සියලු පාර්ශ්වයන් හමුවී සාකච්ඡා කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. "ඉතා ස්වල්ප දෙනකුට පුළුවන් විශාල හානියක් කරන්න. ස්වල්ප දෙනෙක් වැරැදි ප්‍රචාර කරපු නිසා හානිය වැඩිවුණා. හැම පාර්ශ්වයකම අන්තවාදීන් ඉන්නවා. ඒ අයට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි. අපට ඕනෑ සියලු දෙනා එකට එක්ව යෑමටය".

අගමැතිවරයා ගිංතොටදී කර තිබූ මේ ප්‍රකාශය වැදගත්ය. සියලු දේශපාලනඥයන් මෙවැනි ස්ථාවරයක සිටිනවා නම් වාර්ගික ගැටුම් යළි ඇති නොවීමට එය මහත් පිටුබලයක් වනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්