ඇන්.ඇම්ගේ අය - වැය සහ මංගලගේ අය - වැය

  👤  4312 readers have read this article !
2017-11-17

ඇන්.ඇම්. කියන්නේ අමුතු නායකයෙකි. ඔහු තාර්කික දේශපාලනඥයෙකි. ආර්ථික විශේෂඥයෙකි. අවුරුදු 17ක් තිස්සේ ඔහු අය වැය 7ක් විවේචනය කළේ විපක්ෂයේ ඉඳිමින්ය. හැබැයි, 1964 ජූලි 30 වැනිදා ඔහුට සිදුවුණේ අය වැයක් ඉදිරිපත් කරන්නටය. ඇන්.ඇම්.ගේ වම්පසින් මැතිනිය වාඩිවී සිටියදී ඇන්.ඇම්. අය වැය කීවේය. හෙතෙම පැය හතරහමාරක් සිය අය වැය දේශනය පැවැත්වීය. ඔහුගේ අය වැය අතරේ පොල් ගහක්, කිතුල් ගහක් මැදගෙන රා ටිකක් හදා ගැනීමට අවසර දෙන බව කීවේය. ඒ කාලයේ තිබුණ 'දවස' පත්තරයේ ඇන්.ඇම්.ව හැඳින්වූවේ පෙරේ 'රා' කියාය. රටම 'රා බද්දන්' කරන්න ඇන්.ඇම්. දත කන බව විරුද්ධවාදීන් කීය. එහෙම කියා ඇන්.ඇම්ට 'කුඩු වෙන්න' ගහන්න පටන් ගත්හ.

ලංකාවේ නිශ්චල දේපළ අයත්ව සිටින ලාංකේය නොවූ සමාගම්වලින් ධන බද්ද වෙනුවට එහි ආදායමෙන් සියයට දහයක බද්දක් අය කිරීම, ඒ බදු අතරින් සුවිශේෂී වේ. මැණික් රේගු බද්ද, පුවත්පත් වෙළෙඳ දැන්වීම් බද්ද, ඒජන්සි හවුස් පාලනය කිරීම, දින පහේ සතියක් ඇති කිරීම, දේශීය ආදායම් කොමසාරිස්වරයාගේ බලතල පුළුල් කිරීම, ගොවීන්, ධීවර කාර්මිකයන්, සුළු ව්‍යාපාරිකයන් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා පහසු කොන්දේසි මත ණය මුදල් ලබාදීමට පහසුවන පරිදි රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීම, රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම, 1965 වර්ෂය සඳහා බාලාංශ සිසුන්ට අතක් බරපොතක් ශත 25 බැගින් ලබාදීම වැනි ප්‍රගතිශීලී යෝජනා ගොන්නක් ඇන්.ඇම්. ගෙනාවේය.
හැබැයි, 'රා' විරෝධය හින්දා ඇන්.ඇම්ගේ අය වැයේ තිබ්බ ප්‍රගතිශීලී යෝජනා හැංගුණේය.

මෙවර මංගලගේ අය වැය 'බියර්' අය වැය කියා සමහරු 'ගහන්නේත්' එදා ඇන්. ඇම්.ට ගැහුව විදිහටමය. වසර 13ක අධ්‍යාපනය ලැබීම් හිමිකම තහවුරු කිරීම, පාසලේ උසස් අධ්‍යාපන, විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුළුල් කිරීම, සිසු දරු දැරියන්ට රක්ෂණාවරණයක් හඳුන්වාදීම මෙන්ම දැයේ දරුවන්ට වෘත්තීය අධ්‍යාපනය, නව ව්‍යවසායක ප්‍රජාවක් බිහි කිරීමට කුසලතා වැඩි කිරීම, නිවාස අංශයේ දියුණුවට රුපියල් මිලියන 17500ක්, සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 10000ක්, රැකියා සඳහා සූදානම් කිරීමට අරමුදලක් ඇති කිරීමට රුපියල් මිලියන 2500ක්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය යටතේ ලංකා බැංකුවේ ප්‍රාග්ධනය වැඩි කිරීමට රුපියල් මිලියන 5000ක්, සංහිඳියාව ඇති කිරීමට රුපියල් මිලියන 2750ක් වැනි අතිවිශාල මුදලක් වෙන්කිරීම, මේ ආකාරයට නීල හරිත ආර්ථිකයක් ගොඩනැඟීමට කාබන් බද්දක් හඳුන්වාදීම, නව තාක්ෂණය මත විද්‍යුත් ගනුදෙනු ක්‍රම හඳුන්වාදීම අගය කළ ඇමැතිවරයා, වසර 2040 වන විට ඉන්ධන භාවිතයෙන් තොර වාහන භාවිත කරන රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට ඉලක්ක කර තිබීම වැනි සාධනීය යෝජනා සියල්ල 'බියර්' කතාවෙන් වසා දමන්නට බොහෝ දෙනා පෙලඹිලාය.

'රුපියල් සියයේ සහ පනහේ නෝට්ටු කොළ අවලංගු කිරීමට මේ අය වැයෙන් යෝජනා කරමි'
රටත් ලෝකයත් මවිත කළ මේ අය වැය යෝජනාව තිබ්බේ, 1972 වසරේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ඉදිරිපත් කළ අය වැයේය. රට තුළ මුදල් සංසරණයේ නොයෙදුණද විශාල මුදල් සම්භාරයක් රටේ කොහේ හෝ තිබෙන බව ඇන් ඇම්ගේ 'මොළේ'ට තේරුණේය.

අවලංගු කළ මුදල් නෝට්ටු අලුත් මුදල් නෝට්ටුවලට බැංකු හරහා මාරු කර ගැනීමට ලබාදුන්නේ සති දෙකක කාලයක්ය. පැදුරු කොට්ට, වතුර බෝතල් රැගෙන මහ රෑ පෝලිමට පැමිණි මිනිස්සු බැංකු ඉදිරියේ පෙළ ගැසුණේ ඇන්. ඇම්ට තිත්තෙන් බනිමින්ය. ඒ මදිවට සමරු ඇන්.ඇම්.ගේ ගෙදර ඉස්සරහට ඇවිත් බැන වැදුණේය.
එක් අයකුට එකවර මාරු කරගත හැක්කේ රුපියල් 300ක පමණ මුදල් නෝට්ටු කිහිපයක් පමණක් නිසාත් ගෝනිවල, මෙට්ටවල මුදල් තොග සඟවා සිටි උදවිය කළේ මුදල් නෝට්ටු මාරු කරවා ගැනීමට දුප්පත් ජනයාට රුපියල් 300 බැගින් දී බැංකුවලට යැවීමය. එහෙම යනවාට දුප්පත් මිනිස්සුන්ට සියයට දහයේ කොමිස් දෙන්නට සල්ලිකාරයෝ කටයුතු කළහ.

මුදල් මාරුකර දෙනවිට තමන්ට කොමිස් ලැබෙන බැවින් අහිංසක මිනිස්සු විශාල වශයෙන් ධනවතුන් වෙත ගොස් මෙසේ මුදල් මාරුකර දීමට දිගු පෝලිම්වල ගියහ.
විදේශ මූල්‍ය ආයතනවලට බරපතළ ලෙස යට නොවී මේ රටින්ම සෑහෙන මුදල් සම්භාරයක් රටේ සංවර්ධනය සඳහා එකතු කර ගැනීමට ඇන්.ඇම්. සමත් වුණේ එහෙමය. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, පී.බී.ජී. කළුගල්ල, ටී.බී. ඉලංගරත්න, බද්උද්දීන් මහමුද්ලාට ගොඩ ගන්නට බැරි වූ රට ඇන්.ඇම් ගොඩ ගත්තේ එහෙමය.
ඔය වැඩ ටිකම මීට මාස කිහිපයකට පෙර ඉන්දියාවේ මෝඩි කළේය. ඉන්දියාවම මෝඩිට තිත්තෙන් බැන්න නමුත් මෝඩි කෙළින් හිටියේය. වැඩේ ගොඩ ගියේය.
රටක් වෙනස් කරන්න එහෙම කෙළින් වැඩ අවශ්‍යය.

අනූ හතරේ ආවේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවය. අෂ්රොෆ් නොවන්නටත්, ගාමිණී දිසානායක අෂ්රොෆ් හමුවෙන්න යෑම පමා නොවන්නටත් චන්ද්‍රිකාගේ ආණ්ඩුව නොහැදෙන්නට තිබුණේය. පොදු පෙරමුණ දින්නේ ඒ තරම්ම තියුණු ඡන්ද සටනකින්ය. අන්තිමට චන්ද්‍රිකා පොදු පෙරමුණු ආණ්ඩුව හැදුවේ එක් ආසනයක් වැඩියෙන් තියාගෙනය. එහෙම හදපු ආණ්ඩුව දෙදාස් එක වෙනකන් චන්ද්‍රිකා ඇදගෙන ආවේ මහින්දගේ තුනෙන් දෙකේ ආණ්ඩුවටත් වඩා පහසුවෙන්ය. ඒ මදිවට චන්ද්‍රිකා දෙවරක්ම ජනාධිපති විය. දෙවතාවේම දිනුවේ මෙතෙක් කිසිම ජනාධිපතිවරයෙක් නොදින්න ප්‍රතිශතයක් අරන්ය.
"එක ආසනයකින් අටවා ගත්ත ආණ්ඩුවක් මෙහෙම ඇදගෙන ආවේ කොහොමද?"

සමහරු එහෙම ඇහුවේ පුදුමයෙන්ය. එක්කෙනෙක් එස්.බීය. ජනසවිය සමෘද්ධිය බවට හරවා එය ජනසවියට වඩා සමීපව එස්.බී කරගෙන ගියේය. එහි නියාමකවරු ආණ්ඩුවේ පැවැත්මට බිම්මට්ටමේ ජවයක් දුන්නේය. පොදු පෙරමුණත් සමෘද්ධි නියාමකයෝත් දෙකක් නොව එකක් තරම් සමීප විය. ඊළඟ තුරුම්පුව ජී.එල්ගේ පැකේජයය. පොදු පෙරමුණු ආණ්ඩුවේ මුල්වටයම ඇදගෙන යන්න පැකේජය සමත් විය. හැබැයි 'පැකේජය' දැක්ක කෙනෙක්වත් නැති එක වෙනම කතාවක්ය. චන්ද්‍රිකා සතුව තිබ්බ අනෙක් තුරුම්පුව මංගලය. පොදු පෙරමුණ රැකගන්න මංගල 'මාරාන්තික' මැදිහත්වීමක් කළේය. සුදු නෙලුම මංගලගේ වැඩක්ය. සාහසික යුද්ධයක් මැද පවා එය පෙරට ගියේය. සංවේදී මිනිස් කොටස් ආණ්ඩුව වෙත ආකර්ෂණය කරගන්නට ඒ ව්‍යාපෘතිය හයියක් වුණේය. ඊටත් වඩා විපක්ෂය දුර්වල කිරීමේ වැඩේ මංගල තරම් සැහැල්ලුවෙන් කරන්නට පුළුවන් කවුරුවත් ඒ ආණ්ඩුවේ හිටියේ නැත. ් එක්සත් ජාතික පක්ෂයට බලය ලබා ගැනීම දශක ගාණක් 'අෑතින් තැබීමේ' වැඩේ කළේ මංගලය. ප්‍රතිවාදියා සොයාගන්නට බැරි තරම් අෑත් කිරීමට ඔහු සමත් වුණේය. ඒ හරහා ආණ්ඩුවට 'නිදැල්ලේ' වැඩ කරන්නට පුළුවන් වටපිටාව හදන්නට ඔහු සමත් වුණේය.

යූ.එම්.පී. කාරයන්ට ඒ යුගයේ මංගල තරම් පෙනෙන්නට බැරි වෙන කෙනෙක් හිටියේ නැති තරම්ය. ඒ තරම්ම මංගල එක්සත් ජාතික පක්ෂයට 'දිනන එක' සිහිනයක් කළේය. ඒ පෙනෙන්නට බැරි වීම කොච්චරක් තදට යූ.ඇම්.පී කාරයන්ගේ හිත් වලට කා වැදී තිබ්බාද කීවොත් ඔහු එක්සත් ජාතික පක්ෂයට ඇවිත් වසර ගාණක් යනතුරුම 'ආගන්තුකයෙක්' වගේ සිටියේය.

'බලය රඳවා ගැනීම වෙනුවෙන්' වන රාජකාරිය ඔහු අකුරට ඉටු කළේය. ජනමාධ්‍ය ඇමැති ලෙස ඔහු රජයේ ප්‍රචාරක යාන්ත්‍රණය ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් තිතටම භාවිත කළේය. ලොකු වැඩක් නොකළ දශකයක් වුණත් ආණ්ඩුව නොසොල්වා පවත්වාගෙන යන්න ඒ කාලයේ ප්‍රචාරක යාන්ත්‍රණය තිතටම වැඩ කළේය.
එස්.බී. ඇතුළු පළුවක්ම චන්ද්‍රිකා ආණ්ඩුවෙන් නික්ම යනවිට මංගල අසරණ විය. එහෙත් ඔහු 'ගේම' අතෑරියේ නැත. ජවිපෙ එකතු කරගෙන පරිවාස ආණ්ඩුව හදන්න මුල්පෙළේ 'කපුකම' කළේ මංගලය. ජවිපෙ එක්ක ජන්මාන්තර වෛර චන්ද්‍රිකා පවා ඒ වැඩේට නම්මා ගන්න මංගල ශූර විය.

මහින්දගේ ආණ්ඩුවේ විදෙස් ඇමැතිකම මංගලට ලැබුණත් ඔහුගේ වැඩත් එක්ක මහින්ද හිටියේ 'නොහොඳින්ය'. රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී මහින්දගේ ස්වරූපය මංගලගේ ස්වරූපය එක්ක පෑහුණේ නැත. අන්තිමට මංගල ඇමැතිකම දමා එළියට බැස්සේ ඒ ආණ්ඩුව හදන්න දැවැන්තම හයියක් වෙච්ච ශ්‍රී පතිත් එක්කය.
මංගල, රාජපක්ෂ ආණ්ඩුවෙන් නික්ම යෑම දේශපාලනිකව තීරණාත්මක 'බිඳී යෑමක්' වුණත් මහින්ද ඒක පෙන්නුවේ නැත. එහෙත් මංගල ගැන දන්න අය හිතුවේ 'රාජපක්ෂ ආණ්ඩුවේ පල්ලම් බැසීම' මංගලගේ නික්ම යෑමෙන් ආරම්භ වූ බවය.

මංගලට 'බනින' කිසිවෙක් මංගල හොරෙක් කියා කියන්නේ නැත. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක හා සන්නිවේදන අංශය භාර ගත් මංගල වසර දෙක තුනක් යනවිට 'රාජපක්ෂ ආණ්ඩුව වෙනස් කිරීමේ මාධ්‍ය මෙහෙයුම ශක්තිමත් කළේය. අන්තිමට නතරවුණේ පෙරළන්න බැරි පර්වතය පෙරළිලාය.
යහපාලන ආණ්ඩුව ගැන චෝදනා කළ ප්‍රතිවාදීන් බොහෝ විට පහර ගැසුවේ මුදල් අමත්‍යාංශයටය. එහි වෙන දේවල් ගැන සමහරු සිටියේ හොඳින්ය. ආණ්ඩුවේම සමහර ඇමැතිවරු එහෙම කීව අවස්ථා තිබුණු අතර බොහෝ දෙනා කීවේ මුදල් අමාත්‍යාංශය වෙනස් කරන්න කියලාය.

මුදල් ඇමැතිකම කරලා ඉතිහාසයේ ලකුණු තිබ්බේ ඇන්.ඇම්. පෙරේරා, රොනීද මෙල්, ජේ.ආර්. ජයවර්ධන. ෆීලික්ස් බණ්ඩාරනායකලාටය.
දැල් මංගලගේ වාරයය.

'මට මේ සපත්තුව ලොකු වැඩියි' කියා කියමින් මංගල වැඩ පටන් ගත්තේය. ඔහුගේ අය වැය 'බියර්' වලට ලගුකොට තකන්නේ නම් ඒක ඇන්.ඇම්.ගේ අය වැය 'රා' වලට ලගුකළා වගේ වැඩක්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්