පරදින්නේ මෙහෙමයි

  👤  5739 readers have read this article !
2017-11-16

"පුංචි ඡන්දේ මොනවා වෙයිද?"
"බලය තියෙන ආණ්ඩුව ඉතිහාසයේ කවද්ද පුංචි ඡන්ද පැරදුණේ. අපි මේක උඩින් දිනනවා"
ආණ්ඩුවේ අය කියන්නේ එහෙමය.

"ඒ වුණාට රටේ තත්ත්වේ ආණ්ඩුවට ඒ තරම් හොඳ මදි නේද?"
කෙනෙක් එහෙම ඇහුවම ආණ්ඩු පක්ෂයේ අයගේ ඇස් හීන් වෙලා යන්නේය.
"කොහොමද එහෙම කියන්නේ, බලය තියෙන ආණ්ඩුව ඔය වගේ මැතිවරණ දිනන එක නියතයක් වගේ එකක්, ඉතිහාසයේ එක් වරක් සිදුවූ දේ නැවත සිදුවෙන්න පුළුවන් කියලා හේගල් කීවා අහලා නැද්ද?"

ආණ්ඩුවට බොක්කෙන්ම ආදරේ කරන ඇමැති කෙනෙක් හිත හදාගන්න කියන්නේ එහෙම කතාය.
"එතකොට ඇමැතිතුමා අහලා නැද්ද ඉතිහාසයේ එහෙම සිදුවන්නේ පළමුවර ඛේදවාචකයක් විදියට සහ දෙවැනි වර විගඩමක් විදියට කියලා" මාධ්‍යවේදියෙක් හිතවත්කමට අසයි.
ඇමැතිවරයා ඇස් ලොකු කර බලයි.
"ඔය කියන නියතය වෙනස් වෙන හැටි කියන්නද?"
මාධ්‍යවේදියා ඇමැතිගෙන් අසන්නේය.
"කියමු බලන්න?"
ඇමැතිවරයා හරිබරි ගැසී මාධ්‍යවේදියා දෙස බලන්නේය.
"මහින්ද මහත්තයා ජනාධිපතිවරණෙට ආවානේ"
"ඔව් ඉතින්"
"එයා පැරදුණානේ"

"ඔව්. පැරදුණා නෙවෙයි පැරැද්දුවා"
"ඔව් ඉතින්, පැරැද්දුවා හෝ පැරදුණා හෝ එහෙම වුණානේ"
"ඉතින් ඉතින් ඒකෙයි මේකෙයි සම්බන්දේ මොකද්ද?"
ඇමැතිවරයා කුතුහලයෙන් බලයි. මාධ්‍යවේදියා මෙහෙම අසයි.
"කවදාවත් බලයේ හිටිය ජනාධිපති කෙනෙක් ඡන්දෙට ඇවිත් පැරදිලා තියෙනවද?"
ඇමැතිවරයා උඩ බිම බලයි. එක එක උත්තර හොයයි. දාහක් දේ කියයි. හැබැයි ඒ එකක්වත් ප්‍රායෝගික නැති කතාය.
සරලවම කීවොත් දේශපාලනයේ නොවෙනස් නියතීන් සොයා ගැනීම කළ නොහැකි දෙයක්ය.
ආණ්ඩුව ඇඳගෙන ඉන්නේ එතැනය. ආණ්ඩුවේ ඉන්න ප්‍රධාන පාර්ශ්ව දෙක අතරින් එක්සත් ජාතික පක්ෂය ඉන්නේ "ඡන්දේ දිනන එක කජු කිරි වැඩක්" කියා හිතාගත්ත උද්දච්ච මානසිකත්වයකින්ය.

"පැරදුණත් අපි එක්සත් ජාතික පක්ෂය එක්ක ආණ්ඩු කරනවා" කියන අසරණ සහ ඒ එක්කම හදාගත් මවාගත් ආඩම්බරයකින් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.
නමුත් මහ පොළොව ඇතුළේ සිද්ධ වෙන හරිය දන්නේ ආණ්ඩුවෙන් පිට ඉන්න අය ය.
"ඔය කියන්නේ මහින්ද දිනයි කියලද?"
ඒක කියන්න බැරිය. හැබැයි දින්නොත් පුදුම වෙන්න දෙයක්ද නැත. යම් හෙයකින් මහින්දගේ පොදුජන පෙරමුණ දෙවැනි තැනට ආවා කියා උපකල්පනය කළොත් ඊළඟ තීරණාත්මක ඡන්දයෙන් ආණ්ඩුව ගෙදර කියන එක නම් ඉර හඳ වගේ ෂුවර්ය.

මහින්ද ජනාධිපතිවරණයට යන්නේ හැම අතින්ම දිනන අශ්වයෙක් විදියටය. 94 ජනාධිපතිවරණයක් වෙනුවට මහ මැතිවරණයක් පවත්වා එක්සත් ජාතික පක්ෂය "වැඩ වරද්දා ගත්ත" හැටි මහින්ද දැනගෙන හිටියේය. ඒ නිසා ඔහු මහ මැතිවරණයකට නොගොස් සියලු බලකඳවුරුවල හයිය අරගෙන ජනාධිපතිවරණයට බැස්සේය. 2005 ඔහුට හැම අතින්ම අවාසිදායක පරිසරයක පවා ඔහු දිනුවේය. 2015 හැම අතින්ම වාසිදායක අවස්ථාවේ තමාට වරදින එකක් නැතැයි සිතූ මහින්ද ඒ වාසිදායක අවස්ථාවෙන්ම පරාජය විය.
එය නියතීන් සහ උපකල්පන මත පිහිටා තීන්දු ගැනීමේ වරද මෙරට දේශපාලනයට කියා දුන් තීරණාත්මක අවස්ථාවක් විය.
මහින්ද ජනාධිපතිවරණය ගෙනාවේ එජාපයට වැලේ වැල් නැතිව ඉන්නා අතරේය.
"ඔව්. අපි තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්චනවා තමයි" සමහර ඇමැතිවරු කීවේ එහෙමය.
හැබැයි අන්තිමට වුණේ ඒ තැටියේ මෛත්‍රිලා රොටිය පුච්චපු එකය.
ඒ නිසා හැමවිටම වාසිය හැදෙන්නේ නියතීන් මතම නොවේය. කොතැනින් කොහොම අනපේක්ෂිත ප්‍රතිවාදියා මතුවෙයිද කියන්නට බැරිය. ඔහු "සිහින කුඩු කර" දමන්නේ හිතා ගන්නට බැරි විදියටය.

කොහොමත් දැන් මහින්දලා සටන පටන්ගෙනය. මීට වසර දෙකකට පෙර මෛත්‍රි පාර්ශ්වය මහින්ද පාර්ශ්වයට "ලොකු සීන්" දැම්මේය. ඒ ඔවුන් බලවත්ව රාජ්‍ය බලයෙන් වැජඹෙමින් හිටිය හින්දාය. රාජ්‍ය බලය තිබුණත් දැන් මෛත්‍රි පාර්ශ්වයට මහින්ද පාර්ශ්වය "ලොකු සීන්" දාන්නේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙදරා යෑමේ තරම ඉන් හොඳින්ම පෙනෙන්නේය. ගමේ ප්‍රාදේශීය සභා ඡන්දෙට නාම යෝජනා හදන තැනකට ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වෙලා තියෙන ඉරණම හොයාගන්න අමාරු නැත. එජාපය සිල්ලරට අපේක්ෂකයෝ හොයාගෙන ඡන්දෙට දාන අතර ශ්‍රී ලනිපය කරන්නේ අපේක්ෂකයෝ හොයාගෙන යන එකය. මෙතෙක් පළාත් පාලන ආයතනවල සිටිය ශ්‍රී ලනිප නියෝජිතයෝ බුරුතු පිටින් එකතු වෙලා ඉන්නේ පොදුජන පෙරමුණ වටේය.

එහෙම බැලුවම පුංචි ඡන්දේ ප්‍රතිඵලයේ ස්වරූපය දැන්මම කියන්නට පුළුවන්ය. එල්ලෙන ප්‍රාදේශීය සභා සිය ගාණක් හැදෙන එක වළක්වන්නට බැරිය.
"පොදුජන එක්සත් පෙරමුණ" පුටුව ලකුණින් 93 කරළියට එනකොට 17 වසරක එක්සත් ජාතික පක්ෂ පර්වතය පෙරළෙතැයි කවුරුවත් හිතුවේ නැත.
77 බලයට ආව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අවුරුදු 17ක් හොල්ලන්න බැරිව තියෙද්දී ඒක පෙරළන වැඩේ භාර ගත්තේ "චන්ද්‍රිකා"ය. පොදු පෙරමුණ ඡන්දෙට බැස්සේ ආකර්ෂණීය චරිතයක් වෙච්ච චන්ද්‍රිකා පෙරටු කොටගෙන කැපී පෙනෙන පොරොන්දු ගොන්නක්ද එක්කය. අල්ලස-දූෂණය පිටු දැකීම, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සුරැකීම, රජයේ අනවශ්‍ය වියදම් පාලනය කොට නාස්තිය අඩු කිරීම, වැරැදි කළ පාලකයන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීම, ජනවාර්ගික ගැටලුවට තිරසාර විසඳුමක් ලබාදීම, ජීවන වියදම අඩු කිරීම, සමෘද්ධි සහනාධාර පිරිනැමීම හා තරුණයන්ගේ රැකියා ප්‍රශ්නය විසඳීම වගේ පොරොන්දු පොදු පෙරමුණ වෙත "රැල්ල" නිර්මාණය කරන්නට සමත් විය.
එතෙක් පාර්ලිමේන්තුවේ අසුනක කවදාවත් වාඩි නොවූ චන්ද්‍රිකා මාස කිහිපයක් තුළ බස්නාහිර මහ ඇමැතිනිය, අගමැතිනිය සහ ජනාධිපතිනිය බවට පත්වූවාය. පෙරළිය සිදුවන්නේ එහෙමය.

94 එක ආසනයක් වැඩිපුර තියාගෙන දශකයක් චන්ද්‍රිකා රට පාලනය කළ අතර 2004 සෑහෙන ආසන ගණනක් දිනූ එක්සත් ජාතික පෙරමුණ අවුරුදු දෙකෙන් ගෙදර ගියේය. ඒ නිසා දේශපාලන පොළොව වෙනස් වෙන්නේ කාලයේ තාලයත් එක්ක මිසක් නියතීන් එක්ක නොවේය.

තමාගේ ඊළඟ ප්‍රතිවාදියා රනිල්මය කියා මහින්ද හිතුවේය. ෆොන්සේකා පොදු අපේක්ෂකයා විදියට ගෙනත් "ඉල්ලන් කාපු" එජාපය නැවත එහෙම දෙයක් කරතැයි මහින්දලාවත් දේශපාලන විචාරකයෝවත් හිතුවේ නැත. අනෙක් අතට නැවත පොදු අපේක්ෂකයෙක් එන්න හිතයි කියලා කවුරුත් හිතුවේත් නැත. හැබැයි අන්තිමට මෛත්‍රි සියලු සිහින කුඩු කොට දැම්මේය.

ලෝක දේශපාලනයේ ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඡන්දෙට කලින් දිනලා හිටියේ හිලරිය. හැබැයි මහපොළොවේ දිනුවේ ට්‍රම්ප්ය. ඉන්දියාවේ මෝඩිට වඩා ජනප්‍රියව හිටියේ රාහුල් ගාන්ධිය. හැබැයි ඡන්දය දිනුවේ මෝඩිය.
අනෙක් අතට මේ රටේ පුංචි ඡන්දය එන්නේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය "බින්දුවට" වැටුණු වෙලාවේය. හැම අතින්ම ආණ්ඩුව "කචල්" වෙච්ච වෙලාවේය. තීරණාත්මක පොරොන්දු පවා කඩ කරමින් දස දෙසින් අප්‍රසාදය ළඟා කරගන්නා වෙලාවකය.

මේ පක්ෂ දෙක කතිකා කර ගත්තේ "එකට එක්වී" ගමනක් යනවා කියලාය. හැබැයි "මහින්ද" එක්කත් කොටසක් ඉන්න බව ඒ අය අමතක කළහ. දැන්
පිළිගත්තත් නැතත් ශ්‍රී ලනිපය දෙකට කැඩිලාය. ඒ මදිවට එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයෝත් "අතරමං" වෙලාය. ජනවාරි 8 වෙනස හීනෙන්වත් නොසිතූ මිනිස්සු දැන් ජනපති සෙවණේය. මහින්දව ගේන්න රෑ දවල් නැතිව දර දිය ඇද්ද අය දැන් මෛත්‍රිට උපදෙස් දෙන්න එනවාය. ආණ්ඩුව කරන්න ඕන හැටි කියන්නේ ඒ අය ය.
දැන් බැලුවම ආණ්ඩුව ඉන්නේ පඹගාලක පැටලිලාය. "හොඳ දේවල්වල ලකුණු ගන්න දෙගොල්ලෝම දඟලද්දී වැරැදි දේවල්වල කුණු අනෙකාට තල්ලු කරන්නත් දෙගොල්ලෝම දඟලති." දැන් ආණ්ඩුවේ "අනෙකා" ඉන්නේ ආණ්ඩුව ඇතුළේමය. එහෙම බැලුවම මහින්ද දැන් මෛත්‍රිගේ අනෙකා නොවේය. එහෙම එකේ මේ තීරණාත්මක මොහොතේ එක්සත් ජාතික පක්ෂයට උණ ගැනෙන්නේ යම් හෙයකින් ශ්‍රී ලනිප පාර්ශ්ව දෙක එකතු වුණොත්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්