බැඳුම්කර වංචාව නිසා රටට රුපියල් බිලියන 1000ක් අහිමි වුණා

  👤  3558 readers have read this article !
2017-11-15

"රටේ දුප්පත් ජනතාවට එරෙහිව සැලසුම් කළ මේ අය වැයේ කුමන්ත්‍රණය පරාජය කළ යුතු යැයි" එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පැවසීය.

"අද මේ රටේ ළමා මන්දපෝෂණ දර්ශකය බරපතළයි. මෙයට හේතුව අධික ජීවන වියදම බව කියන්න ඕන".
"මේක බදු බර වැඩි කළ අය වැයක්. ඒ නිසා මේ අය ජනතා ශාපයට ලක්වනවා"
"බැඳුම්කර වංචාව නිසා දැන් අපේ රටට රුපියල් බිලියන 1000ක් අහිමි වුණා. මේ ගැන අගමැති කියන්නේ කුමක්ද? අගමැති ජනාධිපති කොමිසමට ලබාදුන් ප්‍රකාශය මාධ්‍යවලට දෙන්න ඕන".

"වැට් බදුවලින් රටේ දුප්පත් ජනතාව පීඩාවෙන් පීඩාවට පත්වනවා. මේ රටේ ජනතාවගෙන් සියයට 40ක් දුප්පත් ජනතාව බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ගණන් බලා තිබෙනවා"

තමන්ම හදපු නීති බල්ලට දාලා ව්‍යාපෘති
ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව ඉඩ දුන්නා

අර්ජුන රණතුංග ඇමැතිතුමා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දහයක් ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් දැම්මා. අගමැතිතුමා ඒකට විරුද්ධ වුණා යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.

පොදුජන එක්සත් පෙරමුණේ මුදල් ඇමැතිවරයාව සිටි මහාචාර්ය ජී.එල්. පීරිස් අය-වැය ඉදිරිපත් කරමින් කියන ලද දේම මෙවර අය-වැයෙන් මුදල් ඇමැතිවරයා පවසා තිබෙනවා.
මීට වසර හතළිහකට ඉහතදී මාතර මුදල් ඇමැතිවරයා අය-වැයෙන් කියපු කතාවම අද මාතර මුදල් ඇමැති මංගල සමරවීර කියන්නෙත් ඒ කතාවමයි. එදා කුණු කන්ද තිබුණෙ නැහැනේ. මන්දපෝෂණය හැදිල කෘෂ වූ විවෘත ආර්ථිකය නමැති ශරීරයට මංගල තොල් පාට කළාට වැඩක් නෑ.පසුගිය අවුරුදු හතළිහ පුරාම අපට දක්නට තිබුණේ රාජ්‍ය යාන්ත්‍රණයේ දුබලකම. විවෘත වෙළෙඳපොළ ආර්ථිකය ඇතුළේ තමන්ම හදපු නීති බල්ලට දාල, ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නේ ආණ්ඩුව නොවෙයිද? සයිටම් ප්‍රශ්නයට මුල් වුණෙත් ඒකයි. විවෘත වෙළෙඳපොළ ආර්ථිකය කිය කියා රාජ්‍ය යාන්ත්‍රණය දුර්වල කිරීමයි තමුන්නාන්සේලා කළේ. විධායකයේ ජාතක පියා විවෘත ආර්ථිකයයි. මේ ආර්ථිකය ශක්තිමත් වන්නේ ඇමැතිවරයාගේ හැකියාව, දක්ෂතාව මත නොවෙයි ඇමැතිවරයාට ලිප්ස්ටික්ස්, කියුටෙක්ස් ගාන්න පුළුවන්. ඇහි බැම ලස්සන කරන්න පුළුවන්. හැබැයි ආර්ථිකය ශක්තිමත් වන්නේ නැහැ.

එදා මෙන් නොව අද මුදල් අමාත්‍යාංශය කණ්ඩායමක් ලෙස වැඩ කරනවා

එදා මෙන් නොව අද මුදල් අමාත්‍යාංශය කණ්ඩායමක් වශයෙන් වැඩ කරනවා යැයි වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක පැවැසීය.
අපට හොඳ භූමියක් හොඳ කම්කරු ශක්තියක් තිබෙනවා. එහෙත් අපට මුදල් නැහැ. ව්‍යවසායකත්ව සංස්කෘතියක් අප රටේ නැහැ. සාමාන්‍ය පන්තියේ ව්‍යවසායකයන්ට අවශ්‍ය ධනය අඩු පොලියට ලබා දෙනවා.

විශාල ණය බරක් තිබුණාට සුබසාධන කටයුතු කප්පාදු කර නැහැ. අඛණ්ඩව අවුරුදු 13ක අධ්‍යාපනය, තාක්ෂණ විද්‍යාල සඳහාත්, සෞඛ්‍ය සේවයටත් අති විශාල මුදලක් වෙන්කර තිබෙනවා. ලබාගත් ණය අප ගෙවිය යුතුයි. අනාගත පරපුරට ඉඩ තියන්න බැහැ.

අප රට නියමිත වෙලාවට ණය ආපසු ගෙවූ රටක් ලෙස ප්‍රසිද්ධයි. අපට විශාල සංඛ්‍යාවක රාජ්‍ය සේවයක් තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප ගෙවන්නේ ජනතාවගේ බදුවලින්. අප ආසියාවේ විශ්‍රාම වැටුප් වැඩියෙන්ම ගෙවන රටක්. ණය කළමනාකරණය සඳහා කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතුයි. අද මුදල් අමාත්‍යාංශය කණ්ඩායමක් ලෙස වැඩ කරනවා. එදා පී.බී. ජයසුන්දර ලියූ අය - වැය මුදල් ඇමැති හැටියට මහින්ද රාජපක්ෂ කියෙව්වා.
අපට ශක්තිමත්, බුද්ධිමත් මුදල් ඇමැතිවරයෙක් ඉන්නවා. රට නියමිත තැනකට ගෙන යා හැකි කණ්ඩායමක් මුදල් අමාත්‍යාංශයේ ඉන්නවා. එදා පී.බී. ජයසුන්දර වගේ තමාට අවශ්‍ය කිහිප දෙනෙක් පමණක් ළං කරගෙන නැහැ.

හැම දෙනාම සතුටු කරවන අය-වැයක්
ඉදිරිපත් කරන්න බැහැ

කිසිම මුදල් ඇමැතිවරයකු හැම දෙනාම තෘප්තිමත් කරවන අය වැයක් ඉදිරිපත් කර නැතැයි ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන රාජ්‍ය ඇමැති ඒ.එච්.එම්. ෆවුසි ප්‍රකාශ කළේය.
කිසිම මුදල් ඇමැතිවරයෙක් හැම දෙනාම තෘප්තිමත් වන අය වැයක් ඉදිරි පත් කර නැහැ. බිම් මට්ටමේ සිටින ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් අය වැය ඉදිරිපත් කර තිබෙනවා.

මුදල් ඇමැතිගේ මේ අය වැය සැකසුනේ රටේ බරපතළ ගැටලු ඇති අවස්ථාවකයි. තරුණ විරෝධතා, අධ්‍යාපනය, ආර්ථික ගැටලු නිසා පැන නැඟුණා. ඒවට විසඳුම් සෙවීමට අය වැයෙන් උත්සාහ කර තිබෙනවා. අලුත් වෛද්‍ය පීඨ ඇති කිරීම නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා ඉල්ලුම අඩුවෙනවා. සෘජු විදේශ අයෝජන හා අපනයන දිරි ගැන්වීම අය වැය හිඟය පියවා ගැනීමේ හොඳ මාර්ගයක්. සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ආර්ථිකය දියුණු කර ගත යුත්තේ ප්‍රතිපාදන වැඩපිළිවෙළද සමඟයි.
1990 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් බලහත්කාරයෙන් ඉවත් කරන ලද උතුරේ මුස්ලිම් පවුල් නැවත පදිංචි කිරීමට මුදල් වෙන් කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා.

බලු බද්ද ගහන්නට පෙර ආණ්ඩුව ගෙදර යවමු

'මේ අය - වැය බියර් ගහමින් හැදූ බියර් අය - වැයක්. ඊළඟට මේ ආණ්ඩුව බලු බද්දත්් ගහයි. ඊට පෙර ආණ්ඩුව ගෙදර යවමු' කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන (එජනිස) පැවැසීය.

මට පෙර කතා කළ නවීන් දිසානායක ඇමැතිතුමා 2015, 2016 අය - වැය පොත කියවලා ආවද දන්නෙ නැහැ. කියවපු බව කරපු
ළදරු කතාවෙන් පේනවා. උසස් පෙළ හදාරන සියලු දරුවන්ට නොමිලේ ටැබ් දෙනවා යැයි 2017 අය - වැයේ කීවා. සහන මිලට බඩු විකුණන වරලත් වෙළෙඳසල් 1,000ක් දෙනවා කීවා. බොහොම සහන මිලට දෙනවා පොල් බෑය හැට පහයි! 2017 අය - වැයේ කියපු දේවල් ඉටු කළාද?

නවගුණවැල අතේ, සිල් රෙද්ද කරේ, බැඳුම්කරය කරේ. ඒ හිටපු මුදල් ඇමැතිවරයා. මේ ඇමැතිවරයා ගෙනවා නීල හරිත. ඒ ගෙනාවේ නිලය බලා ගහන්නයි.
ගොවියා වෙනුවෙන් මේ අය - වැයේ මොනවාද තියෙන්නේ? නොදාපු එකත් හොඳයි. හම්බන්තොට වරාය විකුණා ගත්තා.
කට්ටා කරෝල ග්‍රෑම් 100ක් රුපියල් 150යි. හාල් කිලා්ව 130යි.

විජේපාල හෙට්ටිආරච්චි
හාල් වර්ගය හරියට කියන්න.

රෝහිත අබේගුණවර්ධන
එක සතෙකුගෙ නම හැර අනෙක් නම් ඔක්කොම කියලා රිචර්ඩ් පතිරණ මෙයාට බැන්නා. තව මිල ගණන් අහගන්න. අමු මිරිස් 600යි. රතු ලූනු 300යි. අපේ ගම්වල කරෝල සීය නූලක ගැට ගහලා හොද්ද ඉදෙන කොට කරවල කෑල්ල ඒකට බානවා. කන්න විදියක් නැහැ. ලෙව කනවා. මේක නෙවෙයි අය - වැය. ඊට පස්සේ පරිපූරක ඇස්තමේන්තු එනවා. වහලා තියෙන අමාත්‍යාංශවලට බිල් ගෙවනවා. පිටරට සවාරිවලට පරිපූරක එයි. මේක බියර් බීලා, බියර් ගහමින් හදපු අය - වැයක්. ළඟදීම බලු බද්දත් ගහයි.

රටට ණය බර තිබුණත් ජනතාවට
බරක් නැති අය වැයක්

කුමන ණය බර තිබුණත් ජනතාවට බර නැති අය වැයක් මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කර තිබෙනවා." කෘෂිකර්ම රාජ්‍ය ඇමැති වසන්ත අලුවිහාරේ පැවැසීය.
දීර්ඝ කාලීන හා කෙටි කාලීන සැලසුම් මේ අය වැය යෝජනාවලට ඇතුළත් වෙනවා.
මොන ණය බර තිබුණත් ජනතාවට බර නැති අය වැයක් ඉදිරිපත් කර තිබෙනවා.
නියඟය නිසා, ගංවතුර නිසා දේශීය ආහාර බෝග 50% කින් අඩුවුණා. මේ වසර තුළ නියඟය ගංවතුර හා නාය යෑම් නිසා බිලියන 5.2ක වන්දි ගෙවන්න සිදුවුණා. පරිසරය ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් කළ යෝජනා ඉතා අගය කරනවා.

ඒකාබද්ධ මන්ත්‍රිවරු පිරිසක් පාපැදිවලින් පාර්ලිමේන්තුවට පැමිණියා. ඔවුන් පිටුපස වාහන ටිකත් පැමිණියා. සියලුම දිස්ත්‍රික්කවල එක් මූලික රෝහලක් ආණ්ඩුවට පවරා ගත්තත් මාතලේ පවරාගෙන නැහැ. මේ වන විට මාතලේ රෝහල මධ්‍යම පළාත් සභාවෙන් නිදහස් කර තිබෙන බැවින් ඉක්මනින්ම එය පවරා ගෙන සංවර්ධනයට වෙන්කළ රුපියල් බිලියන 5 පාවිච්චියට ගන්නැයි සෞඛ්‍ය ඇමැතිගෙන් ඉල්ලනවා. මාතලේ හොකී ක්‍රීඩාංගණයට මුදල් වෙන් කිරීම ගැන මුදල් ඇමැතිටත් ක්‍රීඩා ඇමැතිටත් ස්තූති කරනවා.
පසුගිය රජය රාජ්‍ය ආදායම වැඩි නොවන ව්‍යාපෘති සඳහා විදේශ ණය යොදා ගත්තා. ආදායම් නොලැබෙන මේවා සුදු අලි බවට පත්වෙලා.

'ඇමෙරිකන් හඬ' සම්ප්‍රේෂණාගාරය
වැසූ පසු එහි වාහන ටෙලිකොම් එකට දුන්නා

ඉරණවිල "ඇමෙරිකන් හඬ"
සම්ප්‍රේෂණාගාරයෙහි සේවය කළ විදේශිකයන් පිළිබඳ තොරතුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ඇමෙරිකන් හඬ" මේ වන විට වසා දමා ඇතැයිද, එය පවත්වාගෙන ගිය අක්කර 408ක භූමිභාගය සංචාරක කලාපයක් සඳහා යෝජනා වී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය ඇමැතිවරයා, ඒ පිළිබඳ ආර්ථික හා ප්‍රතිපත්ති අමාත්‍යාංශය දැනටමත් කටයුතු කරමින් සිටින බව පැවසීය. "ඇමෙරිකන් හඬ" සම්ප්‍රේෂණාගාරයේ සේවය කළ විදේශිකයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ක්‍රමවේදයක් නොමැති බව පැවසූ නියෝජ්‍ය ඇමැතිවරයා වසා දැමූ පසු එහි තිබුණු සියලු වාහන ටෙලිකොම් ආයතනයට ලබාදී ඇතැයි සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක නැඟූ වාචික
පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නි. ඇමැතිවරයා
එසේ පැවසීය.

දිනාගත නොහැකි වූ අභියෝග
මේ අය-වැයෙන් දිනා ගන්නවා

රාජ්‍ය සේවකයකුගේ වැටුප කාර්යාල කාර්ය සේවකයාගේ සිට ඉහළම වැටුප ලබන නීතිපතිවරයා දක්වා වාර්ෂිකව විශාල වශයෙන් වැඩි කෙරෙන රටේ සෑම කෙනකුටම ආර්ථික වශයෙන් ශක්තිමත් කෙරෙන අය-වැයක් ලෙස මෙවර අය-වැය හැඳින්වෙන බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන පැවැසීය.
1977 සිට 1994 දක්වා විවෘත ආර්ථිකය හරහා ලබාගත් දියුණුව 1995 සිට 2015 දක්වා කාලය තුළ නිදහස් ආර්ථිකය මඟින් ලබාගත හැකි වූ දියුණුව අභියෝගයකට ලක් වුණා.

2015 අතිගරු ජනාධිපතිතුමා බලයට පත්වූ පසු අපට අභියෝග රැසකට මුහුණපාන්නට සිදු වුණා. 2017 වසර ඉතාමත්ම අමාරු වර්ෂයක් බවට පත්වී තිබෙන අවස්ථාවක තමයි මෙවර අය-වැය ඉදිරිපත් වුණේ.

අපි 2015, 2016 ලක්ෂ දහයක වැඩසටහන් සෑම ග්‍රාම නිලධාරී වසමකම ක්‍රියාත්මක කළා. මේ වසරේත් අපි වැඩසටහන් පන්දහසක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කළා.
1994 සිට මේ දක්වා අපි කාටත් දිනා ගැනීමට නොහැකි වූ අභියෝග ජය ගැනීම සඳහා මේ අය-වැය ඉදිරිපත් කර තිබෙන්නේ.
ආදායම සෙවීම සඳහා බදු අය කිරීම රජ කාලයේ පටන් තිබුණු දෙයක්.

මුදල් ඇමැතිගේ අය-වැය
යෝජනා ඉතාම සරලයි

"මේ රටේ ආර්ථිකය ර¼දා පවතින්නේ මහා පරිමාණ කර්මාන්තකරුවන් අතේ නොවේ. ගම්වල සිටින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නඟා සිටුවීමෙන් ආර්ථිකය ශක්තිමත් කරගත හැකි බැවින් ඒ සඳහා අවධානය යොමු කරවන්නැයි" වරාය හා නාවික නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම පැවසීය.
"මුදල් ඇමැතිතුමා ඉදිරිපත් කළ අයවැය යෝජනා ඉතාම සරලයි. අපි බරපතළ ලෙස මුහුණදීපු තත්ත්වයන්ට 2018 දීත් අපි විසඳුම් සොයන්න ඕන."
"කන්න තුනක්ම හානිවෙලා ඇති වෙලාවක අපි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දුන්නා. ගංවතුරට , නායයෑම්වලට මුහුණ දීමටත් අපට සිදුවුණා. ගංවතුරෙන්, නාය යෑම්වලට මුහුණපෑ අයට සහන සැලසීමට අපට සිදුවුණා"

"වෘත්තීය පුහුණු අධිකාරියක් තිබුණා. අපට එහි පුහුණු පාඨමාලාව සඳහා සිසුන් සොයන්න පාරේ ඇවිදින්න වුණා. ඒ පාඨමාලා සඳහා මුදල් අය කළා. ඒ පාඨමාලා ගාස්තුවෙන් නිදහස් කිරීම වැදගත් කොට සලකනවා."
"දකුණු පළාතේ තිබෙන ප්‍රධානම රෝහල වන කරාපිටිය රෝහලට ඇති අඩුපාඩු කිහිපයක් ගැන අපි මුදල් ඇමැතිතුමාට යොමු කරනවා"

ගොවියා අනාථ නොකරන
ගොවි රක්ෂණ ක්‍රමයක්

"අපි පෙට්රල්, ඩීසල්, ගෑස් මිල අඩු කර දුන්නා. ඒ අඩු කරපු පෙට්රල් ටික ගහගෙන වාහනයෙන් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ල පහුගිය ආණ්ඩුව කරපු දේවල් අමතක කරල කතා කරනවා" යැයි වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර පැවැසීය.
රජයේ සේවකයන්ට 2,500කින් පඩි වැඩි කරනව කියල ආපු පසුගිය ආණ්ඩුව රජයේ සේවකයන්ට පඩි වැඩි කළේ නැහැ.
ඉන්ධන ප්‍රශ්නය පසුගිය දිනවල ඇති වූ අවස්ථාවේ ආණමඩුව සමුපකාර ඉන්ධන අලෙවිසලෙන් පාරිභෝගිකයන්ට අඩුවෙන් ඉන්ධන නිකුත් කර තිබෙනවා. ඒ බව සිදු කළ පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. මෙන්න පසුගිය ආණ්ඩුවේ රත්තරන් ඇමැතිවරයා, රත්තරන් මන්ත්‍රිතුමාට දැනගන්න මම කියනවා තෙල් ටිකත් හොරට විකුණාගෙන තිබෙනවා.

ගොවීන් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදී ගොවියා අනාථයකු, අසරණයකු වීමට ඉඩ නොතබා ආරක්ෂා කිරීමට මුදල් ඇමැතිතුමා මෙවර අය-වැයෙන් කටයුතු කර තිබෙනවා.
දිරන අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන පරිසරයට හිතකාමී භාණ්ඩ
නිෂ්පාදනය කිරීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ගෙන්වා ගැනීමට මේ
අය-වැයෙන් සහන සලසා තිබෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්