මාතර බාස් නොවේ : ශක්‍රයාගේ පුතා වයිමා ආවත් මේ රට ගොඩගන්න බෑ

  👤  3231 readers have read this article !
2017-11-14

මාතර බාස්ට නොවේ ශක්‍රයාටවත්, ශක්‍රයාගේ පුතා වයිමාටවත් මේ රට ගොඩගන්න බැහැ. හොඳම බාස්ලා ඉන්නේ මාතර. මාතර බාස් මේ රට හදයිද කියලා අපි බලමු.
මාතර දිස්ත්‍රික් මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන (එජනිස) පැවැසීය.

අද ලෝකෙ තෙල් මිල අඩුවෙලා. ආණ්ඩුව අද වුණත් තෙල් මිල අඩු කරනවා නම් ලීටරය රුපියල් 90ට දෙන්න පුළුවන්.
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හොරකම් කළ බිලියන 1,500කට වැඩි මුදල හොයන්න වෙලා තියෙනවා. ඒ නිසා තමයි ජනතාව මත රටේ ඇති බදු බර දාන්නෙ. තෙල් මිල පහළ යෑම නිසා රුපියල් බිලියන 5ක් ඉතිරි වුණා. හම්බන්තොට සියල්ල විකුණා ලබා ගත්තේ බිලියන 1.1යි. තෙල්වලින් ලැබුණ මුදල ප්‍රවේශම් කරගත්තා නම් මේක විකුණන්න ඕනෑද. ඒ ඉතිරි මුදල කොහේද ගියේ. ඒක හොරකම් කළා. ජනතාවට බදු බර දාන්නේ ඒ හොරකම් කළ මුදල ප්‍රතිපූර්ණය කරන්නයි.

ඇමැතිවරුන්, සභාපතිවරුන්
හොරකම් කරන නිසයි

"රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත් නොකර, ජනතාව පිට බදු පටවන්නේ නැතිව වෙන කළ හැකි දෙයක් නැහැ"යි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක පැවැසීය.

රාජ්‍ය සංස්ථාවලින් ලාභ ලබන්නට නොහැකි වී තිබෙන්නේ තමුන්නාන්සේලා පත්කරන සභාපතිවරු සහ ඇමැතිවරු හොරකම් කරන නිසයි.
තමුන්නාන්සේලාට ආදායම් උපදවා ගැනීමට නම් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමත්, අපනයන ආදායම වැඩිකර ගැනීමත් කරන්න ඕන.
මේ අය-වැයෙන් පරිසරය ගැන යම් යම් දේවල් තවරලා තිබුණාට මේ අය-වැය යන්නෙත් පරණ පාරෙමයි. මීට අවුරුදු හතකට කලින් ගෙනාපු අය-වැය මඟින් ගෙනා දේට වඩා වැඩි දෙයක් මෙහි නෑ.

ලෝකයේම තරුණ විරැකියාව වැඩිවෙලා. අපේ රටේ ලක්ෂ අනූවකගේ දෛනික ආදායම රුපියල් තුන්සියයයි. යුද්ධය පැවතුණ උතුරට වැඩිය යුද්ධයක් නොතිබුණු උෟව පළාත දුප්පත්. ඒ වගේම රත්නපුර වැනි මැණික් සම්පත තිබෙන සබරගමුව පළාතත් දුප්පත්.
අද අපේ ආර්ථික උපායමාර්ග බිඳ වැටිලා. මෙවැනි අර්බුද අපේ රටේ පමණක් නොව ලෝකයේම පවතිනවා.

රට කරවපු
හැම දෙනාම වගකිව යුතුයි

මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය අවසන් කෙරුවට ඔහුට ව්‍යාපාර ඇති කරන්න බැරිවුණා. ආයෝජන ඇද ගන්න බැරිවුණා. බලාපොරොත්තු වුණු සංවර්ධනය ඇති කරන්න බැරිවුණා. යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසීය.
නිදහස ලැබිල අවුරුදු ගණනාවක් යනකොට අපි බිලියන හත්දහසක ණයක් තිබෙන රටක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේ තත්ත්වයට නිදහසින් පසුව රට පාලනය කරපු හැම දේශපාලන පක්ෂයක්ම වගකියන්න ඕන.
විශේෂයෙන්ම අපි ජනවාර්ගික ප්‍රශ්නය කළමනාකරණය නොකිරීම නිසා අපේ රට අවුරුදු 30ක යුද්ධයකට අවතීර්ණ වුණා. අවුරුදු 30 මේ යුද්ධයේ පාඩුව මේ වන විට කවුරුත් තක්සේරු කරලා නැහැ.

රජය පැත්තෙන් හා එල්ටීටීඊ එක පැත්තෙන් සමස්ථයක් වශයෙන් යුද්ධය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 400ක පාඩුවක් අපේ රටට සිදුවෙලා තියෙනවා. මේ ජනවාර්ගික ප්‍රශ්නය අපි විස¼දාගත යුතුයි.

පසුගිය වසර දෙක තුළ රටේ දුප්පත්කම අඩුවෙලා. විශේෂයෙන්ම උතුරට දිගු කාලයක් පැවැති ගැටුම් හේතුවෙන් අසාධාරණයට හා අවතැන්වීමට ලක්වූ පිරිස් සඳහා යෝජිත නිවාස ඉදිකිරීම් ඇතුළු අනෙක් සුබසාධන පහසුකම් පිළිබඳ යෝජනා එම ජනකොටස් සඳහා විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

මේක ජාතික ආණ්ඩුවක් නම් ජාතික ප්‍රතිපත්ති හදන්න ඕනෑ

"මේ ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් හැටියට ජාතික ප්‍රතිපත්ති හදන්න ඕන. ඒක තවම සිදුවෙලා නැහැ. ආණ්ඩු වෙනස් වෙනකොට ප්‍රතිපත්ති වෙනස් නොවෙන්න, ජාතික ප්‍රතිපත්ති සකස් වෙන්න ඕන" යැයි ධීවර හා ජලසම්පත් ඇමැති මහින්ද අමරවීර පැවැසීය.
කොයිතරම් හොඳ අය-වැය ලේඛනයක් ඉදිරිපත් කළත් විරුද්ධ පක්ෂය කියන්නේ මේක ජනතාව වළපල්ලට යන නරක
අය-වැයක් කියලයි.
අය-වැයක් ඉදිරිපත් කළාම ආණ්ඩු පක්ෂයේ අය කියන්නේ මොන අඩුපාඩු තිබුණත් මේක හොඳම
අය-වැය කියලයි.

අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය, ධීවර වැනි අංශ සඳහා ජාතික ප්‍රතිපත්ති සකස් විය යුතුයි.
සෙවණගල ගැන අද පුවත්පත්වල පළවී තිබෙනවා. මම මුදල් ඇමැතිතුමාගෙනුත් ගිහින් ඇහුවා. රජය සතුව තිබෙන ආයතනයක් පෞද්ගලීකරණය කිරීමක් කරන්න ඉඩ දෙන්නේ නැහැ.

ශිවශක්ති ආනන්දන් මන්ත්‍රිතුමා පළ කළ අදහස් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා. ජනාධිපතිතුමා ආරක්ෂක හමුදා පාවාදෙන බව සඳහන් වුණා. එවැනි දෙයක් සිදුවන්නේ නැහැ.
රට පෙරට යන රැකියා අවස්ථා නිර්මාණය වන, ජාත්‍යන්තර අවස්ථා ලැබෙන අය-වැයක් ගේන්න කියලයි අපි මුදල් ඇමැතිතුමාගෙන් ඉල්ලුවේ. එතුමා නිර්මාණය කර තිබෙන්නේ ඒ ආකාරයේ අය-වැයක්.

ණය උගුලෙන් ගැලවෙන්න බෑ

"ජනතා විමුක්ති පෙරමුණ හෝ ඒකාබද්ධ විපක්ෂය බලයට පත්වුණත් අද අප මුහුණ පා සිටින ණය උගුලෙන් මිදීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන්නේ නැහැ" යි ප්‍රවාහන හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවැසීය.
විදේශ රැකියා අංශය වැඩිදියුණු කර ගැනීමෙන් රාජ්‍ය ආදායම වැඩි කරගන්න පුළුවන්. එම අංශයෙන් ලැබෙන ආදායම අඩුවී තිබෙනවා.
මේ රජය යටතේ රාජ්‍ය ආයතන 55න් 33ක් ලාභ ලැබුවා. 2017 වසර අපිට අභියෝගාත්මක වසරක් වුණා. ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ගුවන් සමාගම පාඩු ලබන තත්ත්වයක් පෙන්නුම් කිරීම ඊට ප්‍රධාන හේතුවක් වුණා.

අපේ නිෂ්පාදන ආර්ථිකය එක දවසකින් වැඩි කරන්න බැහැ. මේක පියවරෙන් පියවර කළ යුතු දෙයක්.
තිරසර සංවර්ධනය ඇති කිරීම වචනයට පමණක් සීමා නොකර ඒ සඳහා විශාල මුදලක් මෙවර අය-වැයෙන් වෙන්කර තිබෙනවා.
උතුර නැඟෙනහිර අවතැන්වූ ජනතාවට නිවාස ලබා ගැනීම සඳහා එම පළාත්වල මන්ත්‍රිවරු එක මතයකට පැමිණ ක්‍රියා කරන ලෙස මම ඉල්ලනවා.
පෞද්ගලික අංශයේ ශක්තිමත් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. රැකියා සුරක්ෂිතතාව
පිළිබඳ ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕන.

රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය තුළ අවශ්‍ය යටිතල පහසුකම් ඇති කරනොගතහොත් අප ගෙනයන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ නැහැ.
නිපුණතා සංවර්ධනය සඳහා අපි වැඩි බරක් තැබුවහොත් දැනට පවතින කම්කරු ප්‍රශ්නයට විසඳුමක් ඇති කිරීමට හැකි වෙනවා ඇති.
මේ අය-වැය පිළිබඳ විශ්ලේෂණ ඒකකයක් ඇති කර මේ වසර අවසානය වන විට අය-වැය යෝජනා සියල්ල ක්‍රියාවට නැංවීමේ වැඩපිළිවෙළක්
ක්‍රියාත්මක කරන ලෙස මුදල් ඇමැතිතුමාගෙන් ඉල්ලනවා.

යළි බලයට එන්න දඟලන අයට
මේ අය-වැය
තේරුම් ගන්න බෑ

එදාවේල ආර්ථිකයට හුරුවූ මතු පරපුර ගැන නොසිතන, යළි බලයට ඒමට දඟලන අයට මේ අය-වැය තේරුම් ගැනීමට අපහසු විය හැකි යැයි ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක පැවැසීය.

"ඡන්ද ජයග්‍රහණ කරවනවාට වඩා ජනතාව ජයග්‍රහණය කරවන අය-වැයක් ඉදිරිපත් කිරීම ගැන මුදල් ඇමැති මංගල සමරවීර මැතිතුමාට ස්තුතිවන්ත විය යුතුයි"
"ඡන්දයක් පැවැත්වීමට තිබෙන වෙලාවට ඡන්ද ලබාගැනීම සඳහා මීට පෙර එදාවේල අය-වැය ඉදිරිපත් වුණා"
"මුදල් ඇමැතිතුමා මේ රටට සමෘද්ධිය උදා කෙරෙන ආකාරයට මේ අය-වැය ඉදිරිපත් කර තිබෙනවා.
අපේ ආණ්ඩුව පෙට්රල් ලීටරය රුපියල් තිස් දෙකකින් අඩුකරපු ආණ්ඩුවක්. දැන් අවුරුදු දෙකහමාරක් ගතවෙලත් පෙට්රල්වලට අත තිබ්බෙ නැහැ.
දැවෙන ප්‍රශ්න සියල්ල හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදෙමින්, මුදල් ඇමැතිතුමා අය-වැය ඉදිරිපත් කර තිබෙනවා. මේ අය-වැය හරහා ගොවියා ව්‍යවසායකයකු බවට පත් කර තිබෙනවා.

අධ්‍යාපනයට, සෞඛ්‍යයට, කෘෂිකර්මාන්තයට වගේම සියලු අංශවලට විශාල මුදලක් මෙවර අය-වැයෙන් මුදල් වෙන් කර තිබෙනවා"

සිංහල බෞද්ධ ආධිපත්‍ය
ජාතික සමඟියට බාධාවක්

"යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ මහතා එල්ටීටීඊ සංවිධානයට අයත් සිරකරුවන් දස දහසක් පමණ පුනරුත්ථාපනය කර නිදහස් කළත් සංහිඳියාවක් සඳහා අප විසින් පත් කරගනු ලැබූ මේ රජය සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කර නැහැ" යි දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රි ශිවශක්ති ආනන්දන් පැවැසීය.
දෙමළ ජාතික සන්ධානයට, දෙමළ ජනතාව අතරට යෑමට නොහැකි තත්ත්වයට මේ රජය පත්කර තිබෙනවා.

දෙමළ ජනයා වෙසෙන ප්‍රදේශවලට දෙමළ භාෂාව කතා කරන දිස්ත්‍රික් ලේකම්වරු පත් කරන්නේ නැහැ. අපි ජාතිවාදීන්, ආගම්වාදීන් නෙවෙයි. මෙවර ආරක්ෂක අමාත්‍යාංශයට විශාල ධනස්කන්ධයක් අය-වැයෙන් වෙන් කරලා. පීඩාවට පත්ව සිටින දෙමළ ජනතාවගේ නිදහස මේ නිසා තවත් අහිමි වීමට ඉඩ තිබෙනවා.
සිංහල බෞද්ධ ආධිපත්‍ය මේ රට තුළ තිබෙන තාක්කල් සියලු ජාතීන්ගේ සමඟියට බාධා පැමිණෙනවා. උතුර නැඟෙනහිර පළාත්වල බලය බෙදීමක් අවශ්‍යයි. අද බොහෝ තරුණයන් සිර මැදිරිවල හිඳිමින් තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්