පුංචි ආණ්ඩු සහ ‘කුමාරයා’

  👤  3169 readers have read this article !
2017-11-14

පුංචි ඡන්දය ලබන වසරේ ජනවාරියේදී පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර ඇත. සභාපතිවරයා කියා තිබුණේ දැන් බෝලය තියෙන්නේ ඔහුගේ අතේ බවය. පිච් එක සූදානම් නම් මැච් එක ඇරැඹිය හැකි බව මහින්ද දේශප්‍රිය මීට පෙර කියා තිබිණි.

දිගින් දිගටම කල් ගිය පුංචි ඡන්දය ලබන වසරේදීවත් පැවැත්වේ යැයි කීම සුබාරංචියකි. විශේෂයෙන් ගමේ පාලනයට නියෝජිතයන් තෝරා ගන්නා පළාත් පාලන ඡන්දය හෙවත් පුංචි ඡන්දය මෙලෙස කල් යෑමට හේතු කිහිපයක් බලපෑවේය. ප්‍රධාන හේතුවක් වූයේ නව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදීමට ගත් තීරණයයි. කල් ගියද පුංචි ඡන්දය සමානුපාතික - කේවල මිශ්‍ර ක්‍රමයට පැවැත්වීමට හැකි වීම ප්‍රජාතන්ත්‍රවාදී ජයකි. මනාප බලු පොරයට නොවැටී සිය නියෝජිතයන් තෝරා ගැනීමට ඉඩ මින් ඉදිරියට ඡන්ද දායක ජනතාවට ලැබීම වැදගත්ය.

එහෙත් මේ නව ඡන්ද ක්‍රමය හේතුවෙන් මහජන නියෝජිතයන්ගේ සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා වැඩි වී ඇත. ඇතැමුන් මේ වැඩිවීම විවේචනය කළ ද "බලය" විමධ්‍යගත කිරීමේ හොඳම මොඩලයක් වූ "ප්‍රාදේශීය සභා" වල නියෝජිත සංඛ්‍යාව ඉහළ යෑමේ වරදක් නැත. කලබල විය යුත්තේ විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සංඛ්‍යාව ඉහළ යන්නේ නම් පමණි. ප්‍රාදේශීය සභා සහ පළාත් සභා 9ක් ක්‍රියාත්මක වෙමින් තිබියදී මධ්‍යම ආණ්ඩුවේ නියෝජිතයන් සංඛ්‍යාව 225ක් වී තිබීමම ප්‍රශ්නයකි. දැන ගැනීමට ඇති පරිදි ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සංඛ්‍යාවද තවත් ඉහළ යෑමට නියමිතය. විය යුත්තේ වැඩි කිරීම නොව අඩු කිරීමය. කුමක් කළත් අවශ්‍යයෙන්ම අසීමිත මන්ත්‍රි වරප්‍රසාද කප්පාදු කළ යුතුය. විකුණාගෙන කන සුපිරි වාහන බලපත්‍රය වහා අහෝසි කර දැමිය යුතු එවැනි වරප්‍රසාදයකි.

මෙවර පුංචි ඡන්දයේදී පළාත් පාලන ආයතන සංඛ්‍යාව 336 සිට 341 දක්වා පහකින් ඉහළ ගොස් ඇත. ඊට ප්‍රධාන හේතුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනගහනය සලකා බලා නව ප්‍රාදේශීය සභා කිහිපයක් නම් කිරීමය. එය අවශ්‍යයෙන්ම කළ යුතුව තිබුණකි. මහ නගර සභා 23 සිට 24 දක්වා ද ප්‍රාදේශීය සභා 272 සිට 276 දක්වාද ඉහළ ගොස් ඇත. 41ක් වූ නගර සභා සංඛ්‍යාවේ වෙනසක් වී නැත. මේ කුමක් කළත් පළාත් පාලන ආයතනවලට විශේෂයෙන් ප්‍රාදේශීය සභාවලට වැඩි බලතල නොදෙන්නේ නම් ඉන් පලක් නැත. ප්‍රාදේශීය සභාව වක්‍රව මධ්‍යම ආණ්ඩුවට අවශ්‍ය ලෙස නැටවිය හැකි පරිදි සකස් කර ඇති නීති රීති වෙනස් කිරීම අවශ්‍යය.

පෙර පැවැති ගම්සභා ක්‍රමය තුළ මීට වඩා වැඩි සේවයක් ගමට සිදුවිය. එහෙත් ප්‍රාදේශීය සභාවලින් ගම්සභාවලින් සිදුවූ සේවය සිදුකළ නොහැක්කේ මේ නිසාය. කේවල ක්‍රමය හෙවත් කොට්ඨාස ක්‍රමය යළි හඳුන්වා දුන්නද පළාත් පාලන ආයතනවල ඇති පැරැණි නරක ලක්‍ෂණ ටික වෙනස් වී නැත. අනෙක සභික පුරප්පාඩුවක් සිදු වූ විට අතුරු මැතිවරණ නොපැවැත් වේ. සම්මුතික පාලනයක් පළාත් පාලන ආයතන තුළ ඇති කර ගැනීමට නව සංශෝධනවලින් ද ඉඩ ලබා දී නැත.

පළාත් පාලන ආයතන ව්‍යුහය විශේෂයෙන් ප්‍රාදේශීය සභා සකස් විය යුත්තේ ගමේ සැබෑ මහජන නියෝජිතයන්ට ගම ගොඩනැඟීමට අවස්ථාව ලබා දීමටය. රාජපක්‍ෂකරණය වූ මුල් පළාත් පාලන පනත සංශෝධනයට වඩා සම්මත වූ නව සංශෝධනය ප්‍රගතිගාමී වුවද එමගින්ද සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් පුංචි ආණ්ඩු තුළ ස්ථාපිත කිරීමට හැකි වී නැත. ඒ නොහැකියාව නිසා නොව නොවුවමනාව නැතිනම් මැකියාවෙලිගේ "කුමාරයා" පන්නයේ දේශපාලනය නිසාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්