අර්ජුනට බලපෑම් කළ දකුණේ ඇමැති කවුද?

  👤  5460 readers have read this article !
2017-11-12

'ජනාධිපතිතුමනි, දුෂ්කරම දේ අපි කළා. තැටිය රත්කරන්න අපි අවුරුදු ගාණක් දුම් පිම්මා. තැටිය රත්කරලා දුන්නේ රොටිය පුච්චන්න. දැන් බැලුවම ගිනි තපිනවා. දැන් අපි මේ කියන්න ආවේ ඕක හැදුවේ ගිනි තපින්න නෙවෙයි ඕයි. ඕක හැදුවේ රොටිය පුච්චන්න. ඒ රොටිය පුච්චනවා.'

මේ ප්‍රකාශයට මීට දෙවසරකට පමණ පෙර ආන්දෝලනාත්මක ප්‍රකාශයක් විය. ඒ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් අවසන් වකවානුවේ කළ ප්‍රකාශයක්ය. ඒ වෙනකොටත් ආණ්ඩුවේ කල් ක්‍රියාව ගැන
උන්වහන්සේ තුළ කිසියම් කුකුසක් තිබුණේය. කෙසේ වෙතත්, මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවැනි ගුණ සමරුව යෙදී තිබුණේ ඉකුත් 8 වැනිදාටය.
මෛත්‍රි - රනිල් සුසංයෝගය තෙවසරක් පුරා 'සංහිඳියා' ආණ්ඩුව පවත්වාගෙන ආ අතර විටින් විට එහි නොගැළපීම් හා හැලහැප්පීම් නොතිබුණා නොවේ. කෙසේ වෙතත්, නායකයන් දෙදෙනා උපේක්ෂාවෙන් ඒවා සමථයකට පත් කරන්නට වෑයම් කරනු පෙනිණි. එහෙත්, ඉකුත් 8 වැනිදා මෛත්‍රි 'සැර' කතාවක් කළේ 'ඕන දෙයක් වෙත්දෙන්' ගානටය.

'මම මේක සෝභිත හාමුදුරුවන්ගේ ගුණ සමරු වෙලාවේදී කියන්නේ. සෝභිත හාමුදුරුවෝ අද ජීවත් වෙලා සිටියා නම් ජීවමානව සිටියා නම් උන්වහන්සේ අනුමත කරනව මම කළේ හරි දේ කියා. අපි මෙතැනට ආවේ මොනවටද? අපි තිබුණු ආණ්ඩුව වෙනස් කළේ මොනවටද? අපේ අරමුණු කුමක්ද? අපි ආවේ සාක්කු පුරවා ගන්නද? අපි ආවේ හොරකම් කරන්නද? මම ජනාධිපති කොමිසම පත්කෙරුවේ කිසිම ආණ්ඩුවේ පුද්ගලයෙක් ඉලක්ක කරලා නෙවෙයි. ආණ්ඩුවේ මැති ඇමැතිවරු ඉලක්ක කරලා නෙවෙයි.
මේ ජනාධිපති කොමිසම පත්කරන අවස්ථාව වන විට මහ බැංකුවේ සිද්ධිය සම්බන්ධයෙන් මේ රටේ එදා ඒ වෙලාවේ තිබුණු තත්ත්වය රටේ ජනතාව දන්නවා. ඒ වෙලාවේ රට තුළ පොදු ජනතාවගේ හඬක් ආවා. දේශපාලන පක්ෂ භේදයකින් තොරව සෑම තැනකින්ම හඬක් ආවා බරපතළ දූෂණයක් වංචාවක් වෙලා තියෙනවා. මේකට අවශ්‍ය පියවර වහාම ගන්න කියලා. මේකට ජනාධිපති කොමිසමක් පත්කරන්න කියලා. මම ඒ දේ කළා. 2015 ජනවාරි 8 ඡන්දයෙන් දිනලා 9 වැනිදා දිවුරුම් දුන්නා. මහ බැංකු සිදුවීම වුණේ ආණ්ඩුව හදලා මාස තුනකින්. මේකට වගකිවයුත්තෝ වගකියන්න ඕනෑ. මම තනතුරුවලට ආස මිනිහෙක් නෙවෙයි. මම ආව වගේම යන්න ඉන්න මිනිහෙක්. මම යන්න මිසක් ඉන්න ආ කෙනෙක් නෙවෙයි. හැබැයි මම කරන වැඩේ හරියට කරන්න මට සහයෝගය ඕනෑ. ඒකයි මම කියන්නේ.'
මේ විදියට මෛත්‍රි කළ වේගවත් කතාවෙන් එජාපය ද කැලැඹිනි.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමට දෝෂාරෝපණය කරන ආණ්ඩු පක්ෂයේ පිරිස් කවුරුන්දැයි හෙළි කර ගැනීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන් තීරණය කර ඇත.
බැඳුම්කර කොමිසම පත් කිරීම සම්බන්ධයෙන් ‍ෙදාස් කිව්වේ කවුද? ඒ කවදාද? කොතැනදීද? පැහැදිලි කර ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා ජනාධිපතිවරයා හමුවීමට දිනක් හා වේලාවක් ඉල්ලා මේ සතියේදීම ලිපියක් යොමු කරන බවත් එක්සත් ජාතික පක්ෂය කියයි.

මේ අතර ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් හමුව ආරම්භ කරමින් අගමැතිවරයා යෝජනාවක් ගෙනාවේය. ඔහු කීවේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය මුදල් අමාත්‍යාංශයට පවරමු කියාය. එහෙත් එයට ජනාධිපතිවරයා එකවරම එකඟ වූයේ නැත.
'මේක තියෙන්නේ මහ බැංකුව යටතේ නේද. ඇයි ඒක මුදල් අමාත්‍යාංශයට පවරන්නේ?
මෛත්‍රි ඇසුවේය.

කෙසේ වෙතත් අවසානයේදී මෛත්‍රි රනිල්ගේ යෝජනාවට එකඟ විය.
කැබිනට් රැස්වීමේදී හරින් ප්‍රනාන්දු සහ එස්.බී. නාවින්න අතර උණුසුම් කතාබහක් ඇති වූයේ විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය සඳහා යෝජනා කළ ආයතනයක් නිසාය.
'කෝකට දුන්නත් මට කමක් නෑ. හැබැයි තෙල් පෝලිමේ තිබ්බා වගේ මට ජනතාව පාස්පෝට් පෝලිමක තියන්න බෑ.'
නාවින්න කීවේය.

තෙල් ප්‍රශ්නයෙන් රටම රත් වෙද්දී හතර අතින් ආණ්ඩුවට චෝදනා එන්නට විය. සමාජ ජාල ඇවිස්සී තිබූ අතර ආණ්ඩුවට එරෙහිව නැඟෙන අපහාස උපහාස කෙළවරක් නොවීය. මින් කැලැඹුණු ජනපතිවරයා සහ අගමැතිවරයා කොළඹ ඉන්දියානු මහකොමසාරිස්ට කතාකොට කඩිනමින් ඉන්දියාවෙන් තෙල් නැවක් ගෙන්වීමට කටයුතු කළහ.
හැබැයි කැබිනට් මණ්ඩලයේදී අර්ජුනට එරෙහිව කඩුව අතට ගත්තේ ප්‍රතිවාදී දයාසිරිය.
'පාරේ බැහැලා යන්න බෑ. මේවටද සැලසුම් කියන්නේ. හතරවටින් මිනිස්සු බනිනවා' දයාසිරි පටන් ගත්තේය.
අර්ජුනත් උත්තර දෙන්නට යෑමෙන් එය තවත් උණුසුම් විය.

'දෙන්න ඇරියස් කවර් කරගන්නවා'
ඇමැතිවරු සිනාසෙමින් කීය.

මේ අතර බාල තෙල් නැව භාරගන්නා ලෙස තමාට දේශපාලන බලපෑම් ආ බව අර්ජුන කීවේය. ඒ දේශපාලනඥයා ආණ්ඩුව නියෝජනය කරන දකුණේ ශ්‍රී ලනිප ඇමැතිවරයෙක් බව මේ වන විට දේශපාලන ක්‍ෂේත්‍රය තුළ කතා බහට ලක්වෙමින් තිබේ.
මංගලගේ 'නීල හරිත අය - වැය' ගැන මේ දිනවල කතා බොහෝය.
නිල වශයෙන් අය - වැය කියවන්නට පෙරම මංගල සහන මල්ලක් ලබාදුන්නේය.

බ්‍රහස්පතින්දා ඔහු අය - වැය ඉදිරිපත් කරන්නට ආවේ ප්‍රබෝධවත්වය. බොහෝ දෙනා බලා සිටියේ 'අමාරුවෙන් දුවන ආණ්ඩුවට මංගල කුමක් කරයිද කියලාය. අය - වැයට පස්සේ බොහෝ දෙනා බොහෝ කතා කීය. මංගල සිය අය - වැයෙන් ඉදිරිපත් කළ ණය ආපසු ගෙවීමේ විශේෂ බද්දට කීවේ මැදමුලන බද්ද කියලාය. සිය අය - වැය කතාවේදී' මැදමුලන බද්ද' ලෙස ද මුදල් අමාත්‍යවරයා විග්‍රහ කළ මෙම බද්ද මඟින් 2018 වසරේදී රුපියල් මිලියන 20,000ක ආදායමක් උපයා ගැනීමට රජය බලාපොරොත්තු වෙයි.
මේ අතර මංගලගේ අය - වැය ගියවර රවිගේ අය - වැයට වඩා සහමුලින් වෙනස් ස්වරූපයක් ගෙන තිබිණි. රවි කළේ සැහැල්ලු වාහන මිල නංවා ඒ වෙනුවට සුඛෝපභෝගී වාහන මිල අඩු කිරීමය. මංගල සිය අය - වැයෙන් තෙවැනි පරම්පරාව කෙරෙහි අවධානය යොමුකොට තිබිණි.

'අය - වැය පරතරය අඩු කරලා තියෙනවා. සංවර්ධනයට වෙන් කරන මුදල වැඩි කරලා තියෙනවා. ඒ නිසා සර්ව ආර්ථික ප්‍රශ්නවලට හොඳ විසඳුමක් දීලා තියෙනවා. කොච්චර හොඳ වුණත් ඒ දේ ක්‍රියාත්මක කරන්න ඕනෑ.'
මෙහෙම කීවේ සරත් අමුණුගමය.
'මංගල සමරවීර මහත්තයාගේ මංගල අය - වැය රට දිනවන, ගෙවල් හදන, සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ශක්තිමත් කරවන, තරුණයන්ට රැකියා ලබා දෙන ප්‍රගතිශීලී අය - වැයක්. විශේෂයෙන්ම පොඩි මිනිහා ගැන හිතලා පොළොවේ පය ගහලා ජීවත් වන ජනතාව ශක්තිමත් කරන්න යෙදුණු අය - වැයක්' යැයි කීවේ සජිත් ප්‍රේමදාසය.
'කාටත් පේන විදියට හොඳ අය - වැයක්' කීවේ අකිලය. හැබැයි වෙල්ගම කීවේ 'තමන්ට අය - වැය තේරුණේ නෑ' කියලාය. 'කිසිදෙයක් තේරුණේ නැහැ. කවදාවත් මේ වගේ අය - වැයක් ඇහුණේ නැහැ. ඒ හිතේ අමාරුවට කාලා, තේ බීලා ආවා' වෙල්ගම කිවේය.

මූල්‍ය අරමුදලේ සිරකරුවකු ලෙස මුදල් ඇමැතිවරයාට මේ අය - වැය සකසන්න වෙලා කීවේ බන්දුලය.
මුහුදු කූඩැල්ලාට, උණහපුළුවන්ට සහන ලබා දුන්නත් මිනිසුන්ට සහන දෙන්න අපොහොසත් වෙලා තියෙන අය - වැයක්. අලි අනාථාගාරය පුළුල් කරලා පහසුකම් වැඩිදියුණු කරන්න අය - වැය යෝජනාව හොඳ දෙයක්. එක්සත් ජාතික පක්ෂයේ හැමෝම එතකොට අලි අනාථාගාරයට දක්කන්න පුළුවන්.'
කීවේ ගම්මන්පිලය.

බ්‍රහස්පතින්දා පුවත්පත් බොහොමයක මුල් පිටු ප්‍රධාන පුවත ලෙස වාර්තා කළේ සෝභිත හිමි ගුණානුස්මරණයේදී මෛත්‍රි කළ සැර කතාවය. සුපුරුදු ලෙස දිනපතා පුවත්පත් කියවූ අගමැතිවරයා දැඩි කනස්සල්ලට පත්විය. ඒ ආණ්ඩුව විසින් ජනතාවට කලින්දා ලබා දුන් රු. දස ලක්ෂ 1,500ක සහන මල්ලට අදාළ ප්‍රවෘත්තියට බොහෝ පුවත්පත් නිසි ප්‍රමුඛස්ථානය ලබානොදී තිබීම හේතුවෙනි.
"ජනාධිපතිතුමාගේ කතාවට මුල් තැන දීම ප්‍රශ්නයක් නෑ. ඒත් අධික ණය බර හා ආර්ථික අමාරුකම් මැද ආණ්ඩුව ජනතාවට ලබාදුන් සහන මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය ලෙස ඉස්මතු කරලා පෙන්වීමට උත්සාහ නොකිරීම ජනතාවට මෙන්ම ආණ්ඩුවටත් කරපු අසාධාරණයක්" අගමැතිවරයා තමා හමුවීමට පැමිණි මැති ඇමැතිවරුන් හා සමීප මාධ්‍යකරුවන් දෙදෙනකු හමුවේ සිය බලවත් කනගාටුව පළ කළේය.
අනතුරුව ජනමාධ්‍ය ඇමැති මංගල හා ඇමැති කබීර් හෂීම්ටද ඇමැතුම් ගත් අගමැතිවරයා ඔවුන් වෙතද සිය අප්‍රසාදය පළ කළේය.
"දින 365 පුරාම කිසිම රජයකට ජනතාවට සහන දෙන්න බෑ. ඒත් එවැනි දෙයක් දීපු වෙලාවෙ ඒකට සාධාරණ ප්‍රචාරයක් නොගැනීම අපේම වරදක්. ගිය රජය රු. 100ක වැඩකට ලක්ෂයක ප්‍රචාරය ගත්තා. අපි රු. ලක්ෂයක වැඩකට රු. 100ක වත් ප්‍රචාරය ගන්න ක්‍රියා කරන්නේ නෑ. ජනමාධ්‍යටම බැනල වැඩක් නෑ" අගමැතිවරයා ඉතා තදින් කීවේය.

"ආණ්ඩුවට ගහන ප්‍රවෘත්ති ලොකුවට දාන්න පත්තරයි අනෙක් මාධ්‍යයයි හරි ආසයි. ජනාධිපතිතුමාගෙ කතාවයි බඩුමිල අඩු කළ එකයි ලීඩ් 02ක් විදියට ඒ අයට ඕන නම් දාන්න තිබුණා" අගමැතිවරයා කීවේය.
"මාධ්‍ය ඇමැතිට බඩුමිල අඩුකරපු වැඩේටත් හරියට ප්‍රචාරය ගන්න බැරිවෙලා. ඉතිං මුළු ආණ්ඩුවේම වැඩ ප්‍රචාරය කරන්නෙ කොහොමද?" අගමැතිවරයා තවදුරටත් කීවේ නළල රැලි ගන්වමිනි.

ඒ තුළ ජනමාධ්‍ය මෙහෙයවීම ඔවුන් හා කතාබහ කිරීම හා ආණ්ඩුවේ කටයුතුවලට සාධාරණ ප්‍රචාරයක් ලබාදීම අදාළව අගමැති යටතේ ක්‍රියාත්මක ප්‍රබල තනතුරක් ඇති කිරීම කාලෝචිත බවද එහිදී තීන්දු විය.
" ඒ තනතුරට හොඳ කෙනෙක් හොයන්න" අගමැතිවරයා සමීප මාධ්‍යකරුවන් දෙදෙනාට කීය.
"ඊයේ සෝභිත හාමුදුරුවන්ගේ ගුණ සමරුවේදී සරත් විජේසූරිය ආණ්ඩුව නැතිකරලා. ඊට පස්සෙ ජනාධිපතිතුමාත් දැඩි ප්‍රහාර දීලා. එක පාරට එහෙම වුණේ ඇයි" සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇසුවේ අගමැති ඇතුළු සියලු දෙනාගෙනි.

"මට ඔය උත්සවයට යන්න බැරිවුණා. පෙට්රල් ප්‍රශ්නයයි අනෙත් ඒවායි ඔක්කොම මට කර ගහන්න වෙලා. ඒත් මම සෝභිත හිමිගෙ දානයට ගියා" අගමැති කීය.
"අගමැතිතුමා ගියා නම් ඔය කතා ඔච්චර සැර නොවෙන්නත් තිබුණා" දයා ගමගේ කීය.

"සැර වුණත් ප්‍රශ්නයක් නෑ. මම හිටියා නම් මගේ කතාවෙදී උත්තර දෙන්න තිබුණා. ඒත් ඒක මඟ ඇරුණා. ආර්ථිකය ගොඩදාල රට සංවර්ධනය කරල ජනතාවට ප්‍රතිලාභ දීම මගේ ප්‍රධාන අරමුණයි. ආණ්ඩුවේ අඩුපාඩු තියෙනවා නම් ඒවා ඇතුළේ මිසක් එළියේ කතා කිරීම නුසුදුසු බවයි හුඟ දෙනෙක් මට කිව්වේ" අගමැතිවරයා කීවේය.
"ජනමාධ්‍ය හසුරුවා ගැනීම අවශ්‍යයි. ආණ්ඩුවට කඩේ යන්න නෙවෙයි සාධාරණ මාධ්‍ය ප්‍රචාරයක් ලබාදීම ඔවුන්ගේ වගකීම බව පෙන්වාදීම අවශ්‍යයි." ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම දයා ගමගේද කීවේ එකම කතාවකි.

"පසුපෙළ මන්ත්‍රිවරු ආණ්ඩුවට ප්‍රහාර එල්ලවීම ගැන මොකද කියන්නේ" නවීන් දිසානායක විමසුවේ එහි සිටි බදුල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි චමින්ද විජේසිරිගෙනි.
"අපේ එවුන්ට යකා නැඟල ඉන්නෙ. ආණ්ඩුවේ නායකයා ආණ්ඩුව විවේචනය කිරීම විපක්ෂයට තුරුම්පු ලබාදීමක් බව අපේ අයගේ ස්ථාවරයයි" චමින්ද විජේසිරි කීවේය.
"ළඟදී එජාප පසුපෙළ මන්ත්‍රිවරු ජනාධිපතිතුමා හමුවෙලා ප්‍රශ්න කතා කළා නේද" ලක්ෂ්මන් කිරිඇල්ල විමසීය.

"ඔව්. එතුමා එතැනදි නම් මෙහෙම කතාවක් කිව්වේ නෑ. ආණ්ඩුවේ අයට එතුමා ප්‍රහාර එල්ල කරනවා නම් ඒ අය කවුද? කළ වරද මොකක්ද? කොහෙදිද ඒක කළේ කියල එළි කළ යුතු බවයි අපේ මන්ත්‍රිවරු කියන්නේ" චමින්ද විජේසිරි කීවේ එවැන්නකි.
"එජාප පසුපෙළ මන්ත්‍රිවරු එතුමා යළි හමුවෙලා මේ ගැන අහන්නත් අපේ අය ඔබතුමාගෙන් අවසර ඉල්ලනවා" මන්ත්‍රිවරයා කීවේ අගමැතිවරයාටය. "බලමු... බලමු.." අගමැතිවරයා කීවේ එපමණකි.
"පෙට්රල් අර්බුදය ආණ්ඩුවට ඉතා අවාසියි. සමහරු අයි. ඕ. සී. එකට වරද පටවන්න දඟලනවා. ඒක අසාධාරණයි" දයා ගමගේ කීවේය.
"ආපසු ඒ වගේ වැඩ සිදුවෙන්න ඉඩ තියන්නෙ නෑ. ත්‍රිපුද්ගල ඇමැති කමිටුවේ වාර්තාව අනුව ඉදිරියට කටයුතු කරනවා" අගමැති කීය.
"ඊයේ එස්.බී. කිව්වේ මහින්ද පිල එයාල එක්ක සෙට් වෙන්න පස්සෙන් එනවා කියලයි" දයා ගමගේ කීය.
"මට නම් ආරංචි ඒකේ අනෙත් පැත්තයි. අමරවීර හා අලගියවන්න දෙන්නා පවිත්‍රා හා මහින්දානන්ද එක්ක කතා කරල පුටුවෙන් එමු කියල ආයාචනා කරලාලු" රන්ජන් රාමනායක එළිකළේ ලැබුණු තොරතුරකි.
"පුටුව මිනිස්සුන්ට දැන් මතක නැති නිසා මාකට් කරන්න අමාරුයි. අවුරුදු 13කින් පුටුව ලකුණ ඇවිත් නෑ. අලියා හා සීනුව ළඟට දැන් මාකට් හොඳම ලකුණ පොහොට්ටුවයි." ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනා මැදය.

ලුණුගම්වෙහෙර. සද්ධාතිස්සපුර "සදිසිගම" ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවැති උත්සවය සඳහා පැමිණ සිටි පිරිසට එතෙක් රහසක්ව පැවැති කිසියම් සිද්ධියක් කරළියට ආවේ සියල්ලන් මවිතයට පත් කරමිනි. දිගු කලක් මුළුල්ලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත්ව සිටි ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ප්‍රබලයන් 5 දෙනකු සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා සමඟ එක්වීම එම සිද්ධියයි. ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරුන් දෙදෙනකු වන විජිත උභයවර්ණ සහ චන්ද්‍රසිරි සිරිවර්ධන, එහිම හිටපු මන්ත්‍රිවරයකු වන නාමල් වීරසිංහ, ප්‍රාදේශීය සභා අපේක්ෂකයකු වන අජිත් රුහුණගේ සහ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වු නිවේදක සමන් ගමගේ යන අය සමඟ තවත් ප්‍රදේශවාසී පිරිසක් මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වූහ. සජිත් කීවේ "කිසිම පෞද්ගලික වරදානයක්, වරප්‍රසාදයක් නැතිව මේ පිරිස මා සමඟ එක්වුණේ මගේ වේගවත් සංවර්ධන සැලැස්මේ කොටස්කරුවන් වෙන්නයි" කියාය. "පැති මාරු කළත් ඒ අය කලින් හිටපු පැත්තේ අයට බනින්න, මඩ ගහන්න මං ඒ අයව පාවිච්චි කරන්නේ නෑ. පරණ අතීතය අමතක කරලා අපි අලුත් ගමනක් යමු" සජිත් කියද්දී විශාල අත්පොළොසන් හඬක් නැඟුණේය. උත්සවය අවසන් වුණු වහාම සජිත් කළේ මේ පිරිස හා ප්‍රදේශයේ මහජන නියෝජිතයන් සමඟ ලුණුගම්වෙහෙර සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමය. ප්‍රදේශය තුළ මෙතෙක් ඉටු නොවුණු සංවර්ධන ක්‍රියාමාර්ග, ඉඩම් හා නිවාස ප්‍රශ්න ගැන සාකච්ඡා වන අතර සජිත් ඇසුවේ "පසුගිය ආණ්ඩුව කාලේ මේ දේවල්වලට ප්‍රමුඛතාව නොලැබෙන්න හේතුව මොකක්ද?" කියාය. "මොනව කරන්නද සර්. ඒ දවස්වල ප්‍රමුඛතාව දුන්නේ මෙගා ප්‍රොජෙක්ට්ස්වලටයි. මෙගා ඩීල්වලටයි විතරනේ" පිළිතුර විය.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් කෝට්ටේ නාග විහාරයේ පැවැති පින්කමකට සහභාගි වන්නැයි ලැබුණු ආරාධනයක් මත මහින්ද පසුගිය සතියේ එහි ගියේය. ජනවාරි 08 පැවැති ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු පිළිබඳ කතාබහක් රට තුළ ඇති කර මහින්දගේ පරාජය සඳහා මූලිකව කටයුතු කළ හිමිනමක් වශයෙන් මාදුළුවාවේ සෝභිත හිමියන් හැඳින්විය හැකිය.

එහෙත් ඒ සියලු කතා අතීතයට එක්කළ මහින්ද සෝභිත හිමියන්ගේ දෙවර්ෂ පූර්ණ පින්කමට සහභාගි වී සිටිනු දුටු කාටත් එය අදහාගත නොහැකි කරුණක් විය. එහි විශේෂත්වය වැඩි වූයේ විජයදාස රාජපක්ෂ සහ ඒ. එච්. එම්. ෆවුසි හැරුණුවිට ආණ්ඩුවේ වෙනත් කිසිදු ඇමැතිවරයකු ඊට සහභාගි නොවීමය.
යහපාලන ආණ්ඩුව සහ ජනාධිපතිවරයා බලයට ගෙන ඒම සඳහා සුවිශේෂී මෙහෙවරක් කළ සෝභිත හිමියන් බලධාරීන්ට අමතක වී ඇති සෙයක් දකින්නට ලැබිණි. මහින්ද හැරුණු විට දිනේෂ් ගුණවර්ධන සහ උදය ගම්මන්පිලද පින්කමට සහභාගි වී සිටියේය.
දානමය කටයුත්තෙන් පසුව මහින්ද විහාරයේ කාමරයකට ගොස් සුහද කතාබහක යෙදුණි.

'මේ පින්කම කළේ බාධක ගොඩක් මැද, සාධාරණ සමාජයක් හදලා මේ ආණ්ඩුව ගේන්න වෙහෙසුණ සෝභිත හාමුදුරුවන්ගේ පින්කමට ආණ්ඩුවෙන් ආවේ විජයදාස මහත්තයා විතරයි'
නාග විහාරයේ නාරද හිමියෝ කීය.
'මිනිස්සුන්ට මුල අමතක වෙනවා, හැබැයි ඉතින් මහින්ද මහත්තයට එහෙම නෑ'
විජයදාස පිළිතුරු දුන්නේය.

'ඔයාගේ රූපවාහිනි සංවාදේ මම බැලුවා. ඔයා හොඳට කරුණු ඉදිරිපත් කළා. ඒත් ඉතින් මේ ආණ්ඩුවට ඕවා වැඩක් නෑ'
මහින්ද කීවේය.
'මේ ආණ්ඩුවේ විකාර වැඩවලට මට එකඟ වෙන්න බෑ. මේ ආණ්ඩුව කරන්නෙ හොඳ දේවල් නෙවේ.'
විජයදාස කීවේය.

'මේ ආණ්ඩුව හැම කුණුගොඩක්ම සර්ගේ පිටින් දාන්නයි හදන්නේ, තෙල් ප්‍රශ්නෙත් එහෙමයි'
එතැන සිටි කුමාරසිරි හෙට්ටිගේ කීවේය.

'අපේ කාලේ ඔය තෙල් ප්‍රශ්න තිබ්බේ නෑ. මේ ෆවුසි දන්නවා අපි වැඩ කරපු හැටි' මහින්ද කීවේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සති අන්තය ගත කළේ තංගල්ලේය. ඊට හේතු වී තිබුණේ මහින්දගේ පියා වන ඩී.ඒ. රාජපක්ෂගේ 50 වැනි ගුණ සමරුව සඳුදාට යෙදී තිබීම නිසාය. සඳුදා රාත්‍රියේ මැදමුලන නිවෙසේදී පිරිත් සජ්ජායනාවක් පැවැත්විණි.
පවිත්‍රා, මහින්දානන්ද, රෝහිත ඇතුළු පිරිසක් සමඟ මහින්ද කතා කරමින් සිටියේ ඉන්දියානු සංචාරය ගැනය. එහිදී මහින්ද කීවේ ඉන්දියාවේ එක් මහ ඇමැතිවරයකු මෙන්ම අනෙක් දේශපාලන පක්ෂ නායකයන්ද තමන්ට නැවතත් ජනාධිපති විය හැකි යැයි කී බවය.

"එහෙම කිව්වත් එයාලා දැනන් හිටියේ නැහැ මේ අය බලයට ආපු ගමන් ව්‍යවස්ථාව වෙනස් කළා කියලා" මහින්ද සිනාසෙමින් පැවැසීය.
"මේ ආණ්ඩුවට ලොකුම වුවමනාව තිබ්බේ මහින්ද මහත්තයා ඇතුළු රාජපක්ෂවරුන් දේශපාලනයෙන් සදහටම අයින් කරන එකනේ. හැබැයි එයාලට ඒක කරගන්න බැරි වුණා" පවිත්‍රා කීවාය.

"රාජපක්ෂලාව එහෙම මිනිස්සුන්ගේ හිත්වලින් මකලා දාන එක ලේසි වැඩක් නෙමෙයි" මහින්ද කීවේය.
පසුදින උදයේ තංගල්ල නගර මධ්‍යයේ ඉදි කර ඇති ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාවට රාජපක්‍ෂ පවුලේ සියලු දෙනා එක්ව සිටියහ. සිය පියාට පුෂ්පෝපහාර දක්වමින් සිටි මහින්ද, පිළිරුව අසල මාර්ගයෙනුත් එහා පැත්තේ සිටි සිය හිතවතකු දුටුවේය. හිතවතා නගුලේෂ්වරන්ය. ඔහු උතුරු පළාතේ වැසියෙකි. එමෙන්ම මහින්දට බෙහෙවින් හිතවත්, මහින්දගේ වැඩවලට උදවු උපකාර කරන තරුණයෙකි. ඔහු තකහනියක්ම යාපනයේ සිට පැමිණ තිබුණේද ඩී. ඒ. රාජපක්‍ෂ ගුණ සමරුවට සහභාගිවීමටය.

නගුලේෂ්වරන් දුටු මහින්ද සිය ආරක්‍ෂකයකු යවා නගුලේෂ්වරන්ව ගෙන්වා ගත්තේය. ඩී.ඒ. රාජපක්‍ෂ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට නගුලේෂ්වරන්ට අවස්ථාව දුන් මහින්ද ඔහුද කැටුව තංගල්ල නගර ශාලාව වෙත ගියේ එහි තිබුණු ඩී.ඒ. රාජපක්‍ෂ ගුණසමරු දෙසුමට සවන් දීමටය. ඩී.ඒ. රාජපක්‍ෂ මහතාගේ ගුණ සමරුව නිමිත්තෙන් වාර්ෂිකව පැවැත්වෙන සමරු උත්සව අතර මෙම ගුණසමරු දෙසුමද සුවිශේෂ තැනක් උසුලයි. එහිදී අදහස් දැක්වීමට නගුලේෂ්වරන්ටද අවස්ථාව ලබා දෙන්නැයි මහින්ද සංවිධායකයන්ට කීවේය.
'මහින්ද මහත්තයාගේ කාලයේ උතුරු නැඟෙනහිර පළාත්වල ජනතාවගේ දියුණුව වෙනුවෙන් කරපු දේවල් විස්තර කරන්න මට වචන නැහැ. අපිව යුද්ධයෙන් බේරාගෙන ජීවත්වීමට අයිතිය ලබා දුන් නායකයාට අපි කවදත් ගරු කරනවා' නගුලේෂ්වරන් කීවේය.

තංගල්ලේ සිට කොළඹ පැමිණි මහින්ද පසුදා පාර්ලිමේන්තු ගියේය. එහිදී මහින්දට රංජිත් සොයිසා, කාංචන විජේසේකර, ප්‍රසන්න රණවීර, රමේෂ් පතිරණ, පියල් නිශාන්ත යන මන්ත්‍රිවරුද මුණ ගැසුණේය. ඒ අතරතුර මුණගැසුණු දිනේෂ් සහ විමල් සමඟ මහින්ද මඳ වේලාවක් කතා කරමින් සිටියේය.
මන්ත්‍රිවරුන්ද කැටුව භෝජනාගාරයට පැමිණි මහින්ද සිටි මේසයට පැමිණි අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත කතා බහ කරමින් සිටින අතරතුර චන්දිම වීරක්කොඩිද එහි පැමිණියේය. චන්දිම එන විටත් මහින්ද, අනුර, සුසිල් කතා කරමින් සිටියේ තෙල් අර්බුදය ගැනය.
'මම ඇමැති වෙලා ඉන්න කාලේ ගෑස් සමාගමක් බදු දෙන්න යෝජනාවක් කළා. මම යෝජනා කළේ වැඩි කොටස ආණ්ඩුවට එන විදියට දෙන්නයි. නමුත් ඒ යෝජනාව යට ගියා' චන්දිම කීවේය. එහෙත් මහින්දලා චන්දිම වෙත අවධානය යොමු කළේ නැත.
'මේ ආණ්ඩුව හදන්නේ ජාතික සම්පත් විකුණන්නනේ' මහින්ද කීවේ චන්දිමගේ කතාව ගණනකට නොගනිමිනි. චන්දිම එතැනින් නික්ම ගිය පසුව වුවද මහින්ද, අනුර, සුසිල් අතර සාකච්ඡාව නතර කෙරුණේ නැත.

'තෙල් ප්‍රශ්නය දැන් අර්බුදයක් දක්වා දුරදිග ගිහින්. ආණ්ඩුව දැනගන්න ඕනේ බෆර් ස්ටොක් එකක් තියාගෙන මේ වගේ අර්බුදවලට මුහුණ දෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කරගන්න' මහින්ද පෙන්වා දුන්නේය.

'සර්ගේ කාලේ ඔච්චර යුද්ධයක් කරන කොටවත් මේ වගේ අර්බුදයක් ඇති වුණේ නැහැ' රමේෂ් පැවැසීය.
'ඉන්දියාවට තෙල් බලය දෙන ගිවිසුම අස්සන් කරලා තියෙන්නේ කරු ජයසූරියගේ කාලේ' කාංචන පෙන්වා දුන්නේය.

පසුගිය සතිය පුරාම මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙවැනි ඉල්ලීම් ගණනාවක්ම ඉදිරිපත් වී තිබිණි. එකතු වී තරග කිරීම මෙන්ම නිතරග ගිවිසුම් යටතේ තරග කිරීමේ යෝජනාද මේ අතර විය.

පසුගිය සතියේ දිනෙක දිනේෂ් ගුණවර්ධනට ඇමතුමක් ලැබුණේ බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රියගෙනි. "අපි එකතු වෙලා ඉල්ලමු නේද?" ඉසුර දිනේෂ්ගෙන් ඇසුවේය. "මට ඒ ගැන තීන්දුවක් ගන්න බැහැ" දිනේෂ් කීවේය. "අනෙක් තැන්වල කොහොම වුණත් අපි මහරගමවත් එකට ඉල්ලමු" ඉසුර යෝජනා කළේය.
"අපි තීන්දුවක් ගන්නේ කණ්ඩායමක් විදියටයි. මට තනි තීන්දු ගන්න බැහැ" කියමින් දිනේෂ් ඉසුරගේ ඉල්ලීමට එකහෙළාම විරෝධය පළ කළේය.

ප්‍රසන්න පසුගිය සතියේ හේවාහැට බලා ගියේ මහින්දානන්දගේ ආරාධනයක් අනුවය. ප්‍රසන්න පේරාදෙණිය තානායමට ළඟා වන විට මහින්දානන්ද එහි රැඳී සිටියේ ප්‍රසන්න පිළිගැනීමටය. තානායම මිදුලේ රිය නතර කර බසින විටම මහින්දානන්ද දුව ආවේය.
"මොකද පරක්කු වුණේ?" මහින්දානන්ද ඇසුවේය.

"නෝනගේ උප්පැන්නේ හොයන්න ගිහින් පරක්කු වුණානේ?" ප්‍රසන්න කීවේය.
"නෝනගේ උප්පැන්නේ? ඒ මොකටද? මහින්දානන්ද උඩ බිම බලමින් ඇසුවේය.
"නෑ මේ සමහරු කියනවානේ මගේ නෝනා ඉන්දියාවේ කෙනෙක් කියලා. එයා ඉන්දියාවේ කෙනෙක් වුණත් ඉපදුණේ ලංකාවේ. ඉතින් මිනිස්සු මේවා ගැන අහනකොට නිකන් කියලා වැඩක් නැහැනේ. සාක්කි ඇතුවම කියන්න ඕනේ හින්දා දැන් යන යන තැන උප්පැන්නෙත් අරන් යන්න වෙලා" ප්‍රසන්න කියත්ම මහින්දානන්දට සිනාව නවතා ගත නොහැකි විය.

ප්‍රසන්නත් මහින්දානන්දත් ආහාර ගනිමින් සිටින අතරතුර කතාබහ කළේ පළාත් පාලන මැතිවරණය ගැනය.
"මොකද ගම් පැත්තේ තත්ත්වය? මැතිවරණය දිනන්න පුළුවන්ද?" මහින්දානන්ද ඇසුවේය.
"ගම්පහ නම් කිසිම අවුලක් නැහැ. ගිය ඡන්දයටත් වඩා මේ ඡන්දයේදී අපිට වාසියි. අපිට දැන් වෙලා තියෙන්නේ අපේක්ෂකයන් තෝරා ගන්න බැරිකමයි. ඒ තරමට අපිට ඉල්ලීම් ලැබෙනවා" ප්‍රසන්න පැවැසීය.

"චන්ද්‍රිකාගෙන් එහෙම බලපෑමක් නැද්ද? මහින්දානන්ද ඇසුවේය.
"මොන පිස්සුද ඉන්නවද නැද්ද කියලවත් ගානක් නැහැ" ප්‍රසන්න සිනාසෙමින් පැවැසීය. කතාව අතරතුර ප්‍රසන්න සිය ටැබ් උපාංගයෙහි මැතිවරණ ඡන්ද ප්‍රතිඵල වගුද පෙන්වමින් පැහැදිලි කළේ පසුගිය ජනාධිපතිවරණය මෙන්ම මහ මැතිවරණයේදීද උතුර නැඟෙනහිර හැර අනෙකුත් පළාත්වල බහුතර බලය මහින්ද පාර්ශ්වය සතුව තිබුණු බවය.
"මේ පාරත් බහුතර බලය තියෙන්නේ අපිට තමයි. ඒකනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය අපිට නිතරම එකතු වෙන්න එකතු වෙන්න කියලා ඉල්ලීම් කරන්නේ.
ඒ අයත් දැන් පක්ෂය වැටිලා තියෙන තැන නොදන්නවා නෙමේනේ" ප්‍රසන්න කියත්ම මහින්දානන්දද එය අනුමත කළේය.

එදින රැස්වීම පැවැත්වුණේ තලාතුඔය ශාන් උත්සව ශාලාවේදීය. රැස්වීම අමතමින් සිටි ප්‍රසන්න රැස්ව සිටි පිරිසගෙන් ඇසුවේ "මොකද කියන්නේ එකතු වෙනවද නැද්ද? කියාය. සියලුදෙනා උත්තර දුන්නේ එකතු වන්න එපා කියමිනි. "ඒකනේ මහින්දානන්ද ඇමැතිතුමා මම කියන්නේ. ගමේ පාක්ෂිකයෝ හැමෝම ඉන්නේ ඔය මතයේ තමයි" ප්‍රසන්න පැවසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්