පාසල් ඇඳුමට යටින් ගෙල පැලඳි සයනයිඩ් කරල

  👤  4707 readers have read this article !
2017-11-12

අම්මාගේ හිතවතියෝ නොයෙක් ආකාරයෙන් මා සනසන්නට උත්සාහ කළහ.
'මගේ පුතා නිමල් හරි කැමැත්තෙන් ඉන්නෙ දුව මුණගැහෙන්ඩ'
කෙනෙක් පැවැසුවේය.

'අසංක අද රෑට යාළුවෙක් එක්ක පිටට යනවා. ඔයත් යන්නකෝ.'
අම්මාගේ තවත් යෙහෙළියක් කීවාය.

අලංකාර ඇඳුම් පැලඳුම් හෝ ගමන් බිමන් මා එතරම් ප්‍රිය කළේ නැත. ඔවුන් මා පොලඹවන්නට නොයක් දේ කළද මට අවැසිව තිබුණේ ආපසු යාපනයට යෑමටයි. නැවත යුද්ධය පටන් ගන්නා විට ප්‍රභාකරන්, අජන්ති, මුරලි හෝ දිලීපන් සමඟ එක්වන්නට මා යා යුතුව ඇත. ඔවුන් හට දුන් ප්‍රතිඥාවන් කඩ කළ නොහැකිය. මම ඔවුන්ට විනීතව මඳ සිනා පෙන්වා පොතක් හෝ පුවත්පතක් කියවන්නට මගේ කාලය වැය කළෙමි.

ගුවන් තොටුපොළේදී තාත්තා අත වනා සමුගත්තේ කඳුළු සඟවා ගනිමිනි. ඔහු වඩා කැමැති ලංකාවේ රැඳෙන්නට බව මම දැන සිටියෙමි. ඔහු පිටත්ව යෑමේ සහනය අවුරමින් සිතෙහි මතු වූයේ ශෝකයකි.
තාත්තා ගුවන්තොටුපොළ රේගු අංශයට ඇතුළු විය. එහි වූ ‍ෙදාර වැසී ගියේය. අපේම කියා මවුබිමක් තිබුණා නම් අපට මෙලෙස වෙන්ව ජීවත් වන්නට අවශ්‍යතාවක් නොමැත්තේ නොවේ දැයි මම කල්පනා කළෙමි.

තාත්තා පිටත්ව ගිය විගස අම්මාට අවශ්‍ය වූයේ යාපනය බලා යන්නටය. ඇය 'සාමය' පිළිබඳ සම්පූර්ණ විශ්වාසයෙන් පසු වූවාය. අවසානයේදී යාපනය බලා යන රථයට නැඟුණු පසු මට දැනුණේ මහත් සහනයකි. එහෙත් මම එය පිටතට නොපෙන්වා සිටියෙමි.
යාපනයට ආ විගම මම මුරලි මුණගැසෙන්නට ගියෙමි.
'මං හිතුවේ ඔයා අපිට නැතිවුණාය කියලයි.'
මුරලි කීවේ සතුටිනි.

තාත්තා නොසිටියා නම් ඉන් පෙර මා එහි පැමිණෙන්නට තිබූ බව මම පැවැසුවෙමි.
මුරලිගේ උපකාරය නොමැතිව මට නැවත පාසලට ඇතුළත් විය නොහැකිය. අම්මා මා කැටුව විදුහල්පතිතුමිය මුණගැසෙන්නට ගියද හමුදා පුහුණුව ලද අයෙක් තම ගෞරවනීය පාසලට ඇතුළත් කර ගැනීම ඇය එක හෙළාම ප්‍රතික්ෂේප කළාය. වසරකට පෙරාතුව පාසලේ ආදර්ශවත් ශිෂ්‍යාවක ලෙස ගුරුවරුන් මෙන්ම මගේ සමකාලීන මිතුරියන්ද මා අගය කළ හැටි සිහිව අම්මා කඳුළු සැලුවාය.

'අම්මා කලබල නොවී ඉන්ඩකො. මේ වැඩේට හොඳටම ගැළපෙන කෙනෙක් ඉන්නවා.'
මම මුරලි සොයා ගියෙමි. වැසූ ‍ෙදාරින් පිටත මා සිටියදී ඔහු විදුහල්පතිනිය මුණගැසුණේය. විනාඩි දහයකින් ප්‍රශ්නය නිමාවට පත්විය.
කිසිවක් සිදු නොවූවා සේ මගේ මිතුරියෝ මා පිළිගත්හ. සමහර අය කොටි සෙබළියක් ලෙස මා ගෙවූ ජීවිතය පිළිබඳව කුතුහලයෙන් විමසූහ. තවත් අය උනන්දු වූයේ මා ඒ වන විටත් කළු ඝන නූලක අමුණා නිල ඇඳුමට යටින් පැලැඳ සිටි සයනයිඩ් කරල බලන්නටය.

මම පාසල් බෑගය ගෙනෙන්නට යද්දී පිටතින් බයිසිකල් සීනු හඬක් ඇසිණි.
'මුරලි අයියගේ ගෝලයා. රාජන්'

'මුරලි අයියා කිව්වා ශිෂ්‍ය සංවිධානෙ ඔෆිස් එකට එන්ඩ කියලා දැන්මම.'
මම එහි ගියෙමි.
'තව දවස් දෙකකින් දිලීපන් උපවාසය පටන් ගන්නවා. එතෙන්දී මිනිස්සුන්ව දැනුවත් කරන්න අපිට ශිෂ්‍ය සංවිධානෙ සාමාජිකයන් ඕන. නිල ලාංඡන බෙදා දෙන්න, වැඩිදුර උපදෙස් දෙන්න ඔයාවත් දාල තියෙනවා.'

ඉන් දින කිහිපයකට පෙර මම දිලීපන්ගේ රැස්වීමකට සහභාගි වීමි. ෆ්‍රීඩම් බර්ඩ්ස් ප්‍රධාන කාර්යාලයේ පැවැත් වූ රැස්වීම ගැන ආරාධනාව මට ගෙන ආවේ රූබි ආන්ටිගේ දියණිය චිත්‍රාය. ඇය ද මා මෙන්ම සාමය හේතුවෙන් සටන් පුහුණු කඳවුරේ සිට නිවෙසට පැමිණි අයකු විය. අජන්ති, කාංචනා හා අකිලා වැනි මගේ යෙහෙළියන් එහිදී මුණගැසෙනු ඇතැයි මා බලාපොරොත්තු වූ නමුදු ඔවුන් කිසිවකු එහි පැමිණ සිටියේ නැත. යාපනයට කිලෝමීටර් විස්සක් පමණ දුරින් වූ චාවාකච්චේරි නගරයේ නිවාසයක ඔවුන් රඳවා ඇති බව මට ආරංචි විය. යාපනය හා චාවාකච්චේරි අතර ගමනාගමනය ඉතා දුෂ්කර බව මම දැන සිටියෙමි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්