මීගහපිටියේ හිටි හාමි උප තානාපති විල්සන්ට හීයෙන් විද මරා දමයි

  👤  4393 readers have read this article !
2017-11-12

මෙතෙක් කතාව

1815 උඩරට ගිවිසුමේ කුමක් සඳහන් වුවද එවකට මෙරට බි්‍රතාන්‍ය ආණ්ඩුකාරයා වූ රොබට් බ්‍රවුන්රිග්ට අවශ්‍ය වූවේ ඉංග්‍රීසීන්ට ගැති රදලයන් හා සුළු ජන කොටස් මඟින් ලංකාව පාලනය කිරීමටය. ගිවිසුමට එරෙහිව වෙල්ස්සේ ජනයා නැඟී සිටිවිට බදු එකතු කිරීම පිණිස හජ්ජි මුහන්දිරම් නම් මුස්ලිම් ජාතිකයා උෟවට පත් කර යවන ලද්දේ එක් වැදගත් පියවරක් වශයෙනි.

මෙයින් වෙල්ලස්සේ ප්‍රාදේශීය සිංහල රදල නායකයන් කුපිත විය. ඔහුන්ගේ අණසක යටතේ සිටි ග්‍රාමීය ප්‍රධානීන්ද අමනාප විය. එසේම හජ්ජි මරික්කාර්ට බදු එකතු කර ගැනීමට යාන්ත්‍රණයක්ද නොතිබිණි. විහාරස්ථාන සහ ගම් ප්‍රධානීන් මහමදිකයකු හට බදු ගෙවීම ප්‍රතික්ෂේප කරන ලදී. කමතට විත් බදු එකතු කරගැනීමද කළ නොහැකි කාර්යයකි. එයට ප්‍රධාන හේතුව මහමදිකයන් කමතට කෙතට පෙරමඟට ඒම අසුබ පෙරනිමිත්තක් ලෙස සිංහලේ පිළිගැනීමය. (යොන්දනා දැකීම)

තවද ඔහුට පාරේ යෑම සඳහාද ආරක්ෂාව අවශ්‍ය වන තරමට විරෝධයද ඇති විය. මෙම තතු බදුල්ලේ සිටින උඩරට උප තානාපති සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් සෙන්පතියාට දන්වන ලදින් හජ්ජි මරික්කාර්ගේ සොහොයුරා සමඟ ජා සහ මැලේ හමුදා කණ්ඩායමක් හජ්ජි සමඟ බදු එකතු කිරීමට වෙල්ලස්සට එවන ලදී. මොවුන්ට වෙල්ලස්සේ කොටබෝවේ සහ බකිණිගහවෙල, මල්අත්තාවෙල (මැදගම) සිටි මුස්ලිම් ජනයාද එක් වී විශාල යුද හමුදාවක් ලෙස බදු කොල්ලකෑමට පටන් ගත්හ.
මෙම කාලයේදී අල්ගම උන්නාන්සේ, ඉහගම උන්නාන්සේ, දුම්බර උන්නාන්සේ, දම්බරාවේ මහතෙරුන්නාන්සේ, ඊතණවත්තේ මහතෙරුන්නාසේ, නාපේ රේවත හිමි, මොනරවානේ බුද්ධ රක්ඛිත හිමි, තඹානේ තෙරුන්නාන්සේ, මැදගම තෙරුන්නාන්සේ, වත්තේගම තෙරුන්නාන්සේ, මොනරාගල තෙරුන්නාන්සේ, මුප්පනේ තෙරුන්නාන්සේ, බදුලුවෙල තෙරුන්නාන්සේ, අඹගොල්ලේ තෙරුන්නාන්සේ, පල්ලේගම තෙරුන්නාන්සේ සමඟ කිව්ලේගෙදර මොහොට්ටාල, කැන්දවින්නේ දිසාවේ මොහොට්ටාල, පල්ලේහිරුවේ දිසාවේ මොහොට්ටාල, කුඩා බදුල්ල ගම්මන රටේරාල, බූටැවේ රටේරාල, කොහුකුඹුරේ රටේරාල, කොටබෝවේ මහඅරාවේ මොහොට්ටාල, කතරගම මහබෙත්මේ කරාතේ රාල, මඩුගම රටේ රාල, නිකවැටියේ විදානේ, කවුඩාවේ රටේරාල, ප්‍රධාන ප්‍රභූන් කණ්ඩායමක් බකිණිගහවෙල අධිකාරම්ගේ වලව්වට එක් වී උඩරට කිරුළ නැවත උඩරට සිංහල රාජවංශයට (ඇහැළේපොළ මහනිලමේට) ලබාදීමේ සටන මෙහෙයවන සැලැසුම් සාකච්ඡා කෙරිණි.

මෙහිදී වැදිමුත්තා ලෙස ප්‍රචලිත බූටෑවේ රටේ රාල ප්‍රධාන දානිගලබණ්ඩාර, හාමාපොළ දුරයා, සෝටාවේ දේවයා යන නායකයන්ගෙන් සැදුම්ලත් වැදිරට දුනු හමුදාවක්ද, කොහුකුඹුරේ රටේ රාල, කැන්දමිත්තේ දිසාවේ මොහොට්ටාල, කරාතේ රටේ රාල ප්‍රධාන මරුවලියේ සටන් සහිත හමුදාවක්, කිව්ලේගෙදර මොහොට්ටාල, බදුල්ලගම්මන රටේ රාල පල්ලේතිරුවේ මොහොට්ටාල නිකවැටියේ විදානේ, මඩුගම රටේ රාල ප්‍රධාන සුදලියේ සටන් පුහුණු හමුදාවක්ද කොටබෝවේ මහ අරාවේ මොහොට්ටාල කවුඩාවේ රටේ රාල, බකිණිගමවෙල මද්දුම අප්පු, බකිණිගහවෙල හීන් අප්පු, බකිණිගහවෙල උපසේකර මුදියන්සේ, තක්කල රටේරාල, බටුගම්මන විදානේ ප්‍රධාන කොඩිතුවක්කු හමුදාවක්ද, වශයෙන් එක කණ්ඩායමකට 250-500ක් අතර කණ්ඩායමක් සූදානම් කරන ලෙසත් ඔවුන් පුහුණු කරන ලෙසත් උපදෙස් ලබා දී තිබිණි. සංඝරත්නය ප්‍රධාන දේශීය වෛද්‍ය කණ්ඩායමක් (මොනරවානේ බුද්ධරක්ඛිත හිමි නොහොත් වෙද හාමුදුරුවෝ ප්‍රධාන) සමඟ උන්වහන්සේට ආරක්ෂාව සැපයීම සඳහා අංගම් සටන් කරුවන් වන පිටදෙණියේ තිසාහාමි, කවුඩැල්ලේ රාල, මප්පනේ රටේරාල යන අයගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක බළඇණියක් සූදානම් කරන ලදී.

මෙම අවධියේ (1817 සැප්තැම්බර් මස) කිව්ලේගෙදර මොහොට්ටාලගේ සහ බූටෑවේ රටේරාලගේ ආරක්ෂාව යටතේ ඊතණවත්තේ පත්තිනි දේවාලය අසල ඇස්වැද්දුම කුඹුරු ඉස්මත්තේ සාදන ලද ගමන් මාලිගයේ ප්‍රධාන කණ්ඩායම නතර වී සිටියහ. කොහුකුඹුරේ රටේරාලට හජ්ජි මුහන්දිරම් ඇතුළු කණ්ඩායම අල්ලාගෙන යෑමට අණ කරන ලදී. මල්ලත්තාවෙල සටනේදී සියලුම ජා, මැලේ සහ මුසාමිල් හමුදාව සියලු දෙනා මැරුම් කෑහ. හජ්ජිගේ හිතවතුන් බදුල්ලට ගොස් තොරතුරු දන්වන ලදින් ජා, මැලේ, කාපිරි, ඉංග්‍රීසි හමුදා ඊතණවත්තට පැමිණියහ. එගොඩ වීමට තිබූ තැනදී මුර කපොල්ලේ සිටි බදුල්ලගම්මන රටේ රාලගේ සෙබළ මීගහපිටියේ හිටිහාමි මුදියන්සේ විසින් විදින ලද හී පහරින් සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් සේනාපති මරු වැලඳ ගත්තේය. වෙනත් මුරපොළවල සිටි ගරිල්ලා හමුදාව විල්සන්ගේ භට කණ්ඩායම විනාශ කර දමා ඔහුගේ හිසද මහා භද්‍රකාලී යක්ෂාධිපතිට කැප කළේය.

මෙයින් ඉංග්‍රීසීහු තැති ගත්හ. ඔවුන්ගේ ප්‍රාදේශීය හිතවත් සිංහල නායකයෝද බියෙන් පලා ගියහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්