වී බද්දෙන් ගොවියා නිදහස් කර ගනී

  👤  4073 readers have read this article !
2017-11-12

දිනකට ගණනය කළ නොහැකි තරම් ජනතාවක් හා රථවාහන සංඛ්‍යාවක් එහා මෙහා යන ලිප්ටන් වටරවුම මධ්‍යයේ දක්නට ලැබෙන්නේ අඩි පහක් හයක් උසැති ගෝලාකාර මුදුනක් සහිත ස්මාරකයකි. අද දක්නට නැතත් එදා එම ස්මාරකය දක්නට ලැබුණේ දර්ශනීය වතුර මලක් මධ්‍යයේය. එම ස්මාරකය පාමුල 'පරාර්ථකාමී ජෝර්ජ් වෝල්' යැයි සඳහන් පුවරුවකි. ජෝර්ජ් වෝල් මිය ගිය පසු ඔහු ලාංකික ජනතාව වෙනුවෙන් ඉටු කළ මෙහෙවර අනුස්මරණය කිරීමට ඔහුගේ මිතුරන් විසින් සාදවන ලද එම ස්මාරකය වත්මන් පරපුරට නිහඬව පවසන්නේ බොහෝ දෙනා නොදන්නා කතාවකි.

ඉංග්‍රීසි යටත්විජිත සමයේ මෙරට අණ්ඩුකාරයා විසින් ලාංකිකයන් මත පනවා තිබූ මුඩුබිම් පනතටත්, ගොවියාට මරාලයක් වී තිබුණු වී බද්ද අහෝසි කර දැමීමටත් නොබියව ව්‍යවස්ථාදායක සභාවේදී ප්‍රබල හඬක් නැඟුවේ ඔහුය. මේ ඔහු ලාංකිකයන් වෙනුවෙන් ඉංග්‍රී්‍රසි අධිරාජ්‍යයට එරෙහිව කළ සටන පිළිබඳ සටහනකි.

උඩරට රාජධානිය යටත් කර ගත් පසු මෙරටට පැමිණ තේ වතු ඇතුළු විවිධ ව්‍යාපාර ඇරැඹූ බොහෝ ඉංග්‍රීසීන් එදා හැසිරුණේ මේ රට තම පෞද්ගලික දේපළක් ලෙස සිතමිනි. මෙරට ජනතාවට බදු බරදී ඉඩම් කොල්ලකා ගත් ඔවුන් අතරින් වැඩි පිරිසක් ගත කෙළේ සෙල්ලක්කාර ජීවිත බව ඉතිහාසයේ කියැවෙයි. එංගලන්තයේ වේල්ස් කුමරුගේ පුතුන් දෙදෙනා වූ ඇල්බට් වික්ටර් සහ ජෝර්ජ් ඇල්බඩ් දෙදෙනා 1882දී මෙරට පැමිණ මහනුවරට ගිය අවස්ථාවේදී එදා වතු සුද්දන් හැසිරුණු ආකාරය එම වසරේ 'සරසවි සඳරැස' පත්‍රය වාර්තා කර තිබුණේ 'වනචර වතුකාර යුරෝපීයයන් තිහ හතළිහක් බීගෙන පිස්සන් මෙන් ක්‍රියා කිරීමෙන් පෙළහර සහ මහනුවරත් කිලිටි කර දැමූ' බවයි.
එදා සුද්දන් මෙරටදී හැසිරුණු අයුරු දක්වන ඒ එක් උදාහරණයක් පමණකි.

එහෙත් යටත් විජිතයක වුවද ඉංග්‍රීසිකාරයකු හැසිරිය යුතු නියම මහත්මා ගතිය පෙන්වූ සුද්දන්ද ඉතිහාසය ගවේෂණයේදී අපට හමුවෙයි. ජෝර්ජ් වෝල් එවැනි දුර්ලභ ඉංග්‍රීසි ජාතිකයෙකි.

ජෝර්ජ් වෝල් තම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය දිගින් දිගටම කරගෙන ගියේය.
එවකට ආණ්ඩුකරු වූ සර් ආතර් ගෝඩන්ද වී බද්ද අවලංගු කිරීමට තදින්ම විරුද්ධ විය. එහෙත් එක් අවස්ථාවකදී ජෝර්ජ් වෝල්ගෙත් ගොවියන්ගෙත් වාසනාවට ඉංග්‍රීසි ආණ්ඩුවේ උප ඒජන්ත ලෙ මැසුරියර් මහතා වෝල්ගේ සටනට සහාය දෙමින් වී බද්ද නොගෙවීම නිසා කුඹුරු අහිමි වූ ගොවීන් 1048 දෙනෙක් නිරාහාරව මිය ගිය බව ආණ්ඩුවට වාර්තා කළේය.

ජෝර්ජ් වෝල් එම වාර්තාවෙන් පූර්ණ ප්‍රයෝජනය ගත්තේය. එංගලන්තයේ සිටි ඔහුගේ මිතුරෝ 'මැන්චෙස්ටර් ගාඩියන්' පත්‍රයේ ඒ බව පළ කර ඔහුට සහාය දුන්හ.
මෙය දුටු එංගලන්ත මන්ත්‍රි මණ්ඩලයේ ශ්‍රී මත් එඩ්වඩ් වොට්කින්ස් හා ශ්වෝට් දෙදෙනා ප්‍රදේශ භාර මහ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළේය. ඒ අනුව වී බද්ද පිළිබඳ තොරතුරු වාර්තා කරන ලෙස එංගලන්ත මන්ත්‍රි මණ්ඩලය ලංකාණ්ඩුවේ භාණ්ඩාගාරික මොයර් මහතාට නියම කළේය.

1890 නොවැම්බර් මාසයේදී මොයර් සාක්ෂි විභාග කිරීම ඇරැඹුවේය. මතුරට භාරව සිටි දක්ෂ සිවිල් නිලධාරියකු වූ ලෙ මැසුරියර් මහතා ඇතුළු ප්‍රදේශවාසීහු එහිදී සාක්ෂි දුන්හ. මැසුරියර් මහතා තම ප්‍රදේශයේ ඉඩම් අහිමි වූ පවුල්වල නාම ලේඛනයක් සමඟ ඔවුන්ට අත්වූ ඉරණම ලේඛනවලින් දක්වනු ලැබීය.

රෝගී වූ, ඇට කටු පෑදුණු ගොවීහු මොයර් මහතා හමුවට ආහ. එවන් එක් කාන්තාවක් සාක්ෂි දීමට පැමිණ එහි ‍ෙදාර අසල මැරී වැටුණද මොයර් ඒ බව වාර්තා කෙළේ නැත.
වී බද්ද නොගෙවීම නිසා කුඹුරු විකිණීමෙන් පසු දිළිඳු වීමත්, රෝගී වීමත් නිසා 573 දෙනෙක් මැරෙන්නට ඇතැයි අවසානයේ ඔහු එංගලන්තයට වාර්තා කළේය.
ඒ හේතුවෙන් එංගලන්තයේ යටත් විජිත භාර මහ ලේකම්වරයාව සිටි නස්ෆර්ඩ් සාමිවරයා 1892 ජනවාරි 01දා සිට මෙරට ගොවියාට පනවා තිබූ වී බද්ද අහෝසි කළ බව ආණ්ඩුකාර ආතර් ඊ. හැව්ලොක්ට දැනුම් දුන්නේය. වසර ගණනාවක් තිස්සේ ජෝර්ජ් වෝල් මෙරට ගොවියන් වෙනුවෙන් ගෙන ගිය සටන ජය ගත්තේ එලෙසිනි.
වී බද්ද අහෝසි කිරීමෙන් මෙරට ගොවියා විශාල බරකින් නිදහස් වූ අතර ඉංග්‍රීසි ආණ්ඩුවේ නිලධාරිවාදයෙන්ද නිදහස ලැබුවේය.

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්