ආනන්ද සේනාරත්න අභාවය සහ කිරිඳිවැල පොලිසියේ අතීත කතාව

  👤  4509 readers have read this article !
2017-11-12

කිරිඳිවැල ආනන්ද සේනාරත්න මාමා පසුගිය සති අන්තයේ මිය ගියේය. ඔහු මියයන විට 88 හැවිරිදි වියේ පසුවිය. මාමාගේ අභාවය මට දැනෙන්නේ බොහෝ ඇසුරු කළ පුස්තකාලයක් කිසියම් හේතුවක් නිසා විනාශ වූ විට පාඨකයකුට දැනෙන දුක සංතාපය පරිද්දෙනි. කොටින්ම කියනවා නම් මාමා කතා සරිත් සාගරයකි.

ඔහු උපන්නේ සියනෑ කෝරලේ කිරිඳිවැල බෝගහවත්ත වලව්වේ බාලපුත්‍රයා ලෙසය. මාමාගේ ජීවිතය වටා දිවෙන අපූර්වත්වයෙන් යුතු කතා රැසක් ඇති බැවින් මාමා ගැන යමක් ලියා තැබිය යුතුම යැයි හැඟේ. මගේ මව කිරිඳිවැල ශ්‍රී මති සේනාරත්න. ඔහුගේ වැඩිමල් සහෝදරියයි.

ආනන්ද සේනාරත්න මාමා උපන්නේ 1929 මාර්තු 7 දින කිරිඳිවැල නගරයේ සිට රදාවාන පැත්තට දිවෙන පාරේ සුන්දර පරිසරයක කුඩා කඳු හිසක් මත පිහිටා ඇති බෝගහවත්ත වලව්වේය. බෝගහවත්ත වලව්ව අද කිරිඳිවැල පොලිස් ස්ථානයයි. උස් ආරුක්කු සහිත මැද මිදුලකින් යුතු සිංහල උළු සෙවිලි කළ විසල් ගොඩනැඟිල්ල අක්කර 4ක පමණ භූමියක පිහිටා තිබේ. ප්‍රධාන පාරේ සිට වලස් ඇඳිරිය දෙවැටකින් වැටුණු පාර වලව්වේ පිවිසුම් ‍ෙදාරටුවට මහත් අභිමානයක් එක් කරවයි. මහගෙදර පොලිසියක් වූ කතාවද අසාමාන්‍ය එකකි.

විසිවන සියවසේ මුල 1900 දී පමණ බෝගවත්ත වලව්ව ඉදිකරන ලද්දේ ‍ෙදාන් බාරොන් සේනාරත්න නම් වූ ආනන්ද මාමාගේ සීයා විසිනි. ඔහු ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ ප්‍රදේශයේ පොලිස් මුලාදෑනියා විය. නිවසේ වැඩ කටයුතු අවසන් කරන්නේ අපේ සීයා ‍ෙදාන් එඩ්වඩ් සේනාරත්න විසිනි. ඔහු ගම්මුලාදෑනි රාජකාරිය කළේය. බෝගවත්ත වලව්ව සහ අක්කර 4ක ඉඩම සීයා විසින් ආනන්ද මාමා නමට ලියන විට මාමා පසු වූයේ 18 හැවිරිදි වියේය.

මාමා ගම්පහ ලෝරන්ස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර පවුලේ සහෝදරියන් දෙදෙනා වූ ශ්‍රී මතී සහ ඉන්ද්‍රානි ගම්පහ හෝලි කෘෘස් කන්‍යාරාමයේ අධ්‍යාපනය ලැබුවෝය. දිනපතා තිරික්කලයෙන් කිරිඳිවැල සිට ගම්පහ යෑම කළ නොහැකි දුෂ්කර කටයුත්තක් වූ විට සීයා දරුවන් ගම්පහින්ම නිවෙසක් ගෙන එහි නතර කළේය.

එකල මෙකල මෙන් නොව සියනෑ කෝරලයටම තිබුණේ පොලිස් ස්ථාන තුනකි. ඒ සෙනරත්ගොඩ, පූගොඩ සහ වේයන්ගොඩය. කිරිඳිවැලට සම්බන්ධ වූයේ පූගොඩ පොලිස් ස්ථානයයි. පොලිසියේ සේවය ලබා ගැනීමට කිරිඳිවැල මිනිසුන් පූගොඩ යායුතු විය. කිරිඳිවැල වෑකේ ප්‍රදේශයට පොලිස් ස්ථානයක් ලබා ගැනීමට බි්‍රතාන්‍ය ආණ්ඩුවට කළ ඉල්ලීම නිෂ්ප්‍රභ වූයේ ඊට සුදුසු ගොඩනැඟිල්ලක් කිරිඳිවැලින් සොයා ගත නොහැකි වූ නිසාය. මේ අවස්ථාවේ ඉදිරිපත් වූ සීයා කිරිඳිවැලට පොලිස් ස්ථානයක් ලබා දෙන ලෙසත් ඒ සඳහා තම නිවෙස වූ බෝගහවත්ත වලව්ව ලබා දිය හැකි බවත් දන්වමින් පොලිස්පති රිචඩ් අලුවිහාරේට 1947 දී ලිපියක් යොමුකර තිබේ. ඒ අනුව කිරිඳිවැල බෝගහවත්තේ පොලිස් ස්ථානය ආරම්භ කර ඇත. ඒ සඳහා නියෝජ්‍ය පොලිස්පති ජී.කේ. ප්‍රිපට් මහතා මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට නිවෙස ලබාදීමේ බදු ගිවිසුමක් අස්සන් කර ඇති අතර එහි වාර්ෂික බදු කුලිය වශයෙන් රුපියල් 50ක් ආනන්ද සේනාරත්න නමට ගෙවා ඇත. පසුව එම බදු මුදල රුපියල් 80ක් කර තිබේ. පොලිස් ස්ථානයට නිවෙස ලබාදීම ගැන එඩ්වඩ් සේනාරත්න සීයා නිතර අභිමානයෙන් කතා කළ අතර එය නැවත ලබා නොගත යුතුය යන මතයේ ඔහු සිටියේය.

අපි ඉන්ද්‍රානි නැන්දත් මමත් පුංචි කාලෙ නිදා ගත්තු කාමරේ දැන් හිර කූඩුවක් හදාලා යැයි පොලිසිය ගැන කතා කරද්දී අම්මා සිනාසෙමින් කියන්නීය. 1949දී බදු ගිවිසුම අහෝසි කොට රුපියල් 35,000කට බෝගහවත්ත වලව්ව රජයට පවරා දුන් අතර එවකට 20 හැවිරිදි වියේ පසුවූ මාමාට වයස 21 සම්පූර්ණ වනතුරු එම මුදල්ද ගම්පහ කච්චේරියේම තිබූ බව මාමා කීවේය.

කෙසේ වුවද මාමාගේ අවමඟුල් පෙරහරට පොලිස් ආරක්ෂාව ලබාදුන් කිරිඳිවැල පොලිසියේ මහත්වරුන් අවමංගල සභාවේදීද ගෞරවය පුද කළ බවද කෘතවේදීව සඳහන් කළ යුතුය. මාමා තමා විසින් පොලීසියට ආසන්න ඉඩමක ඉදිකළ නිවෙසේ මියෙන තුරා සතුටින් ජීවත් විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්