මේ අඩවිය බාර දෙවියෝ ගම් බාර ඕනෑලු අත නෑර ලබනට උපහාර

  👤  4121 readers have read this article !
2017-11-12

වයඹ පළාතේ බිංගිරිය ප්‍රදේශයේ තාරණ _ උඩවෙල රජයේ මිශ්‍ර පාඨශාලාවේ සේවය කළ අමරදාස දිසානායක මුල් ගුරුන්නාන්සේ හා ඔහුගේ ගුරු බිරියට එක්දහස් නවසිය පනස් තුනේ වර්ෂයේ පස්දුන් කෝරලේ වැලිපැන්න ප්‍රදේශයේ දුෂ්කර පාසලකට හදිසි ස්ථාන මාරුවක් ලැබුණේය. ඒ අනුව එහි ගොස් වැඩ භාර ගත් පළමු දිනයේදීම දිසානායක මුල් ගුරුන්නාන්සේට එහි වැඩ බැලූ මුල් ගුරුවරයා කාරණාවක් කීවේය. ඒ එම විදුහලට අලුතින් පැමිණෙන සෑම ගුරුවරයෙක්ම පළාතේ එක්තරා ප්‍රභූවරයකුට බුලත් හුරුල්ලක් දී වැඳ පාසලේ වැඩ භාර ගත යුතු බවය.

මින් කෝපාවිෂ්ට වූ මුල් ගුරුන්නාන්සේ "ඔහු මේ අඩවියේ ගම්භාර දෙවියාදැයි" ප්‍රශ්න කරමින් "මම පාසලට ආවේ දෙපාර්තමේන්තු නියෝගය පරිදි පාසලේ රාජකාරියට මිස ගමේ එක එක්කෙනාට වැඳ දණ්ඩ නමස්කාර කිරීමට නොවන" බැව් පැවසුවේය. එසේ පැවසූ මුල් ගුරුන්නාන්සේ පාසලේ තම රාජකාරි නිසි පරිදි අකුරටම කරගෙන ගියේ කිසිම හැලහොල්මනක් නොමැතිවය. මෙම ආරංචිය කන වැකීමෙන් තදබල ලෙස කෝපයට පත් ප්‍රභූවරයා දිසානායක මුල් ගුරුන්නාන්සේ කෙරෙහි වෛරයෙන් පසුවූ අතර මුල් ගුරුන්නාන්සේගෙන් ඒ නොවැන්ද පළිය ගැනීමට නිතරම කූට උපක්‍රම යොදමින් මාන බැලුවේය.

මේ අතර දිනක් මුල් ගුරුන්නාන්සේ සහ ආචාර්ය මණ්ඩලයද පාසල් සිසුන් සමඟ අලුත්ගම නගරයේ පාසලක පැවැති ක්‍රීඩා උත්සවයකට ගොස් එන අතරතුර දක්නට ලැබුණේ මුල්ගුරු නිවාසය බිඳ එහිවූ මුල් ගුරුන්නාන්සේට අයත් සියලුම බඩුබාහිරාදිය හා මිල මුදල්ද සොරාගෙන ගොස් ඇති බවය. මේ පිළිබඳව ප්‍රදේශයේ පොලිසියටද පැමිණිල්ලක් කළ දිසානායක මුල් ගුරුන්නාන්සේ එයින්ද පලක් නොවූයෙන් මහත්සේ කෝපයට පත්ව සිටියේ මෙම සොරකම පිළිබඳව සියලු තොරතුරු සොයමිනි.
වස්කවි ලිවීමේ හා කීමේ හසළ

පළපුරුද්දක් හා අත්දැකීම් ඇති දිසානායක මුල් ගුරුන්නාන්සේ මින් මහත්සේ කෝපයට පත්ව මල් බුලත් පුටුවක් සාදා හො½ද හැටි පේවී දින හතක්ම වස්කවි හතක් කීවේ මෙම සිද්ධියට සම්බන්ධ සියලු දෙනාටම අගනා "ඉතිහාස" පාඩමක් ඉගැන්වීමේ අටියෙනි. කාලය මෙසේ ගෙවී යන අතුරතුර ගමේ නමගිය සොරකු කිතුල් ගසකින් වැටී අත් අපා බිඳී අබ්බගාතයකු වූ අතර තවකෙක් ගසක එල්ලී සිය දිවි නසා ගත්තේය. අවසානයේ ඉහත කී ප්‍රදේශයේ ප්‍රභූවරයා අංශභාග රෝගියකු බවට පත්වූ අතර දිසානායක මුල්ගුරුන්නාන්සේගේ වස්කවිවල බලය හරියට තුන් මසක් ඇතුළත මෙම තිදෙනාටම හොඳ හැටි පෙන්නුම් කළේ බොහෝ කඩිනමින්ය.

මේ සිද්ධියෙන් පසු දිසානායක මුල් ගුරුන්නාන්සේ එම ප්‍රදේශය පුරා පාසලේ ගුරුකමට අමතර "වස්කවි ගුරුකමෙන්"ද මහත්සේ ප්‍රසිද්ධියට පත්වූ අතර ප්‍රදේශයේ සොරමැරකම්ද බෙහෙවින් අඩුවිය. මෙය සත්‍ය සිදුවීමකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්