කොත්මලේ ගැන ජනහද බැඳි කතා

  👤  4172 readers have read this article !
2017-11-12

ප්‍රකට කොත්මලේ ඔය ප්‍රධාන ඔයවල් පහක් එකතු වී සෑදෙන සැතපුම් හතළිස් තුනක් දිග ප්‍රධාන අතු ගංගාවකි. හැටන් ගඟ හා කොත්මලේ ඔය නාවලපිටිය පොල්වතුර ගමේදී එකතු වී මහවැලි ගඟ නිර්මාණය වෙයි. මේ කොත්මලා අඩවිය පුරාම දිරාගිය හුනුගල හා දිරාගිය උමං කුහර බහුලය. කොත්මලේ ඔය ඉහළ සිට පහළට ගලන විට වටද්දර දෙසින් ගලන ජල ප්‍රමාණය ඔයේ පහළ දක්නට නැත. එයට හේතුව ඔය මැද පිහිටි විශාල දිරාගිය හුනුගල් කුහර ඔස්සේ ජලය පොළොව තුළට ගලා යෑමයි. ඔයෙන් ඉහළ කොටගේපිටිය ‍ෙදාරගල දෙසින් ගලා එන ජල මාර්ගවලද විශාල ප්‍රමාණයක් දිරාගිය හුනුගල් කුහරවල විවර දිගේ ඇතුළට ගලයි.

එමෙන්ම කොත්මලේ ජලාශයේ බිමට යටවී ඇති හඳපාන්ගම පතුලේ අධික පීඩනයකින් ජලාශය මැද උඩට විදින විශාල මිරිදිය උල්පතක් හමු වී ඇත. හඳපානාගල විශාල ජල බුබුළින් මතුවන ජලය දැඩි පීඩනයකින් ජලාශය පතුලෙන් මතුවෙයි.

කොත්මලේ බැම්ම බැඳීමට යොදා ගත් ස්ථානයේ පිහිටීම පිළිබඳව භූවිද්‍යා කැණීම් කරන කාලයේ මම හරංගල පර්ෂද විදුහල්පති ලෙස සේවය කළෙමි. එම කැණීම් කළ දමිළ ඉන්ජිනේරු පිරිස යන්ත්‍ර මඟින් විදගෙන උඩට ගත් පාෂාණ කැබලි ගැඹුර සටහන් කර විශාල පෙට්ටිවල සුරක්ෂිතව තැන්පත් කර ඇත. එම කැණීමේදී බැම්ම අසලම මීටර් දහතුනක් හෙවත් අඩි හතළිහක් පමණ භූ ප්‍රදේශයක් හමුවී ඇත. එයට හේතුව හුනුගල දිරා ගොස් එම ප්‍රදේශය නිර්මාණය වීමයි. එම හිස් ප්‍රදේශය යන්ත්‍ර මඟින් සිමෙන්ති විසුරුවා අවශ්‍ය ශක්තිය යොදා ගන්නා බව ඉන්ජිනේරුවරු ප්‍රකාශ කළහ. කොත්මලා ඔයට ඉහළින් ජලාශයට යට වූ කඩ‍ෙදාර ගමේ උඩුගබ්බල හා යටිගබ්බල නම් ගම් කොටස් දෙකක් විය. එහි ප්‍රකට පැරැණි දෙවොල් දේවාලයෙක් විය. පසු කල පැරැණි ගැමියකු සමඟ කතා කළ විට ඔහු කීවේ උඩුගබ්බල යනු > උඩින් කබල > හා යටිකබ්බල යනු > යටින් කබල > අර්ථය දෙන බවයි. මේ අනුව කොත්මලේ හුනුගල් කුහර ගැන පැරැණි ගැමියන් දැන සිටි අතර ඒ අතර ස්ථාන නාමද යොදා ඇත.

කොත්මලා ඔය ඉස්මත්තේ හැදුණු වැව ගමට ඉහළින් කොත්තුනුගොඩ ගම්මානය පිහිටා ඇත. කොත්තුනුගොඩට ඒ නම ලැබුණේ ඒ කන්දෙන් විශාල ගිනි ජාලා තුනක් වරින්වර නිකුත්වී ඒවා කුහර දිගේ කොත්මලා ඔයට ගලාගිය බව ගැමියන් දුටු බැවිනි. ජනප්‍රවාද කියන පරිදි කොත්තුනුගොඩ නිවී ගිය ගිනිකන්දකි. අදත් එහි විශාල ආවාට තුනක් හා ලෝදිය ගලා ගිය බව සිතිය හැකි විශාල අගලක් ඇත. මහනුවර මූලික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ විල්බට් කෙහෙල්පන්නල මහතා කියනුයේ කොත්තුනුගොඩ ගැඹුරු කුහර තුළ විශාල හුනුගල් පිපිරීම්වලට වර්ෂා ජලය එකතු වී ප්‍රතික්‍රියා ඇතිවීමෙන් ගිනි ගැනීම් සිදුවන බවය.

කොත්මලේ නව නගරය දක්වා කොත්මලේ පාර කපද්දී හරංගල ගමේද විශාල හුනුගල් ගුහාවක් මතු විය. කොත්තුනුගොඩ කන්ද සිට කොත්මලේ ඔය දක්වා සැතපුම් දෙකක් පමණ දිග උමං මාර්ගයක් ඇති බව හෙළි වී ඇත.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. කේ. ජයවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්