රොටිය සහ තැටිය

  👤  3804 readers have read this article !
2017-11-10

ජනාධිපතිතුමනි, දුෂ්කරම දේ අපි කළා. තැටිය රත් කරන්න අපි අවුරුදු ගාණක් දුම් පිම්බා. තැටිය රත් කරලා දුන්නේ රොටිය පුච්චන්න. දැන් බැලුවම ගිනි තපිනවා. දැන් අපි මේ කියන්න ආවේ ඕක හැදුවේ ගිනි තපින්න නෙවෙයි ඕයි. ඕක හැදුවේ රොටිය පුච්චන්න. ඒ රොටිය පුච්චනවා"

2015 මාර්තු 1 වැනිදා එහෙම කියන්නේ එසේ මෙසේ කෙනෙක් නොවේය. එහෙම කියන්නේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝය. ආණ්ඩුවක් වෙනස් කරන්න සේම සාධාරණ සමාජයක් හදන්න අප්‍රමාණව කැපවූ සෝභිත හිමියෝ, අපවත් වෙන්නට පෙරාතුව ආණ්ඩුවට කළ අවසන් "විධානය" ඒකය. සත්‍ය වශයෙන්ම මේ ආණ්ඩුව සිල්ලටම වඩා අනුගත විය යුතුව තිබුණේ සෝභිත හිමියන්ගේ වැඩපිළිවෙළටය. උන්වහන්සේ මේ ආණ්ඩුව බිහිකිරීම වෙනුවෙන් බළමුළු තර කළ අභීත යතිවරයාණන් වහන්සේ වූහ.
ජනවාරි 8 වෙනසින් පස්සේ මාදුළුවාවේ සෝභිත හිමි සිවිල් සමාජය නියෝජනය කරමින් එජාප සමඟ ගිවිසුමකට එළැඹියේය.

කරුණු 14 මත එළැඹි ගිවිසුමේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් පහත සඳහන් ප්‍රතිසංස්කරණයන් ඇති කිරීම, අලුත් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක සභාවක් බවට පත්කොට පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට වග කියන කැබිනට් ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීමට ප්‍රමුඛත්වය දීම, පාර්ලිමේන්තුවට පත්වීමෙන් පසු එම වරම හිමිකර ගත් පක්ෂය මාරුකළ නොහැකි බවට නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම, වැනි ප්‍රමුඛ කරුණු එහි විය.

පක්ෂ දෙකම එක්වී එකඟතාවකට ආවේ එකී ගිවිසුම් ප්‍රකාරවය. දැන් ඒකාබද්ධය කැරැලි ගහන්නේ එහෙව් ගිවිසුමට එරෙහිවය. විධායක ජනපතිකම අහෝසි කිරීම මෛත්‍රි එකඟ වූ මූලික කාරණාවය. දැන් ශ්‍රී ලනිපය කියන්නේ "මෛත්‍රි එහෙම කීවාට පක්ෂයේ මතය ඒක නොවේ" කියලාය. පක්ෂය යන්නේ වෙනතක බවත් තමා ඉන්නේ තව තැනක බවත් මෛත්‍රිට තේරුම් ගන්න බැරිකමක් නැත.

"ඕනෑම අවස්ථාවක ජාතිය මත පදනම්ව කරන සියලු බෙදීම්වලට මම දැඩි සේ වෛර කරනවා. මම මගේ මුළු ජීවිතය පුරාම එයට එරෙහිව සටන් කළා. මම දැනුත් සටන් කරනවා. මගේ ජීවිතයේ අන්තිම දවස දක්වා මම එය කරනවා."
එහෙම කියන්නේ නෙල්සන් මැන්ඩෙලාය. වසර සිය ගණනක් තිස්සේ යුරෝපයේ කොලනියක් වූ දකුණු අප්‍රිකාවේ පැවැති වහල් වර්ණ භේදවාදයට එරෙහි නිදහස් සටනේ පෙරමුණ ගත් ඔහු වර්ගවාදයෙන් තොර ලෝකයක් වෙනුවෙන් සිහින දුටුවේය.

"ආරම්භයේදී අප සතුව ජාතියකට තිබිය යුතු මූලික සාධක වූ ස්වකීය ජනගහනයක්, පොදු භාෂාවක්, පොදු සංස්කෘතියක්, පොදු ඉරණමක් මේ කිසිවක් අප සතු නොවීය. අප හුදෙක් දකුණු චීනයෙන්, දකුණු ඉන්දියාවෙන්, පාකිස්තානයෙන්, බංග්ලාදේශයෙන් (එය බෙදීමට පෙර) ලංකාවෙන් සහ දූපත් සමූහයකින් පැමිණි සංක්‍රමණිකයන් විය. එබැවින් ප්‍රධාන ගැටලුව වූයේ මේ සියලුම ජාතීන්ට අයත් මිනිසුන් එකට තැබිය හැකිද යන්නයි."
මෙහෙම කියන්නේ සිංගප්පූරුව හැදූ ලී ක්වාන් යූය. රටක් හදන්නට පුළුවන් එකට එක්වීමෙන් මිස තුනට බෙදීමෙන් නොවේ කියා ලී ඔප්පු කළේය. "හැමෝම සිංගප්පූරු ජාතිකයෝ" කියන හැඟීම මිනිසුන්ට ආරෝපණය කරන ඔහු සිංගප්පූරුවේ විවිධ ජනවර්ග සිංගප්පූරු ජාතික අනන්‍යතාව ඔස්සේ එක්කිරීමට ඔහු උනන්දු වන්නේය. ලොව දිනන රටක් හැදුණේ එහෙමය.

1948 වෙනකොට ආසියාවේ දියුණුම රට ජපානය. දෙවැනි තැනට හිටියේ ශ්‍රී ලංකාවය. සිංගප්පූරුව හදන්න මහන්සි වෙච්ච ලීක්වාන් යූ ලංකාවට ඇවිත් කීවේ "මගේ සිහිනය ලංකාව වගේ සිංගප්පූරුවක් හදන එක" කියලාය. එහෙම කී ඔහුම පස්සේ කාලෙක කියන්නේ මේ තරම් අනාගත බලාපොරොත්තු තබා සිටි ලංකාව නිදහසින් පසු කඩා වැටෙන ආකාරය දුටු බවය.

ඒ ජාති ආගම්, කුල, මල ලෙස බෙදී වෙන් වීමේ ප්‍රතිඵලයය.
1953 දී උතුරට ගිය එ.ජා.ප. අගමැති ජෝන් කොතලාවල සිංහල, දෙමළ දෙබසටම සමතැන දෙන බව කීවම දකුණ කුලප්පු විය. ජෝන් ජාතිය පාවා දෙන්නෙක්ය කියා විපක්ෂය චෝදනා කළේය. භික්ෂුන් වහන්සේ ජෝන්ට එරෙහිව පෙරට ආව අතර බණ්ඩාරනායක, පිලිප් ගුණවර්ධනලා එක්ක එකතුව "නැඟෙන ගින්නට පිදුරු දැම්මේය."
"හාමුදුරුවෝ නෙවේ කවුරු කීවත් මම මගේ මතය වෙනස් කරගන්නේ නෑ"


ජෝන් හිටියේ එහෙම මතයකය.
"අපි සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනවා."
56 ඡන්දේ කට උඩ තියාගෙන බණ්ඩාරනායක ජෝන්ට කට උත්තර නැති වෙන්න ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ගෙනාවේය.
රැල්ල ගැහුවේ බණ්ඩාරනායකගේ පැත්තටය. ජෝන්ට ඉතිරි වුණේ ආසන අටට බැස්ස යූ.එන්. පීයක්ය. යූ.එන්.පී.ය පැරදුණේ ජෝන්ගේ උද්ධච්චකම් හින්දා බවත්, ජාතිය ගැන නොහිතුව හින්දා බවත්, ආගම තුට්ටුවකට මායිම් නොකළ හින්දා බවත් හැමෝම කීහ. මේ කිසිවකට උත්තර දෙන්න නොගිය ජෝන් බණ්ඩාරනායකට ආණ්ඩුව දීලා වලව්වට ගියේය.

"කෙළවුණේ කාටද කියලා ළඟදීම පෙනෙයි" ජෝන් තනියම හිතුවේය.
කාලේ ගෙවිලා ගියේය. බණ්ඩාරනායකගේ ආණ්ඩුව "හෙල්ලෙන්න" පටන් ගත්තේය. ලොකුම අර්බුදය ආවේ ඡන්දෙට කලින් දුන්න "ජනප්‍රියම" පොරොන්දුව හින්දාය.
"සිංහලය රාජ්‍ය බස කරනු."

බණ්ඩාරනායක අගමැතිට හතර වටෙන් බලපෑම්ය. දවසින් දවස පොරොන්දුව කල් යනකොට රටම කුලප්පු වුණේය. භික්ෂුන් වහන්සේ පවා බණ්ඩාරනායකට එරෙහිව පෙරට එන්න ලෑස්ති වූහ. කොහොම කොහොම හරි ඔය අතරේ චීවරධාරියකුගේ වෙඩි ප්‍රහාරයකින් බණ්ඩාරනායක මිය ගියේය.
අවමඟුල දා බණ්ඩාරනායක දේහයට අවසන් ගෞරව පුද කරන්නට ආ ජෝන් මෙහෙම කීවේය.

"මම දැනගෙන හිටියා මෙහෙම වෙන බව. මම බැඳලා දැම්ම බල්ලෝ බණ්ඩා ලෙහලා දැම්මා. උන් බණ්ඩව හපා කෑවා."
ජෝන් එහෙම කීවේ ජාතිවාදීන්ටය. ජාතිවාදී කුලප්පුවකින් ඉතිරි වන්නේ විනාශයක් විතරක් බව ජෝන් තේරුම් අරන් හිටියේය. ඒ හින්දාම ඔහු ඕනවට වඩා ජාතිවාදී වුණේ නැත. යහපාලන ආණ්ඩුවට සමහරු බනින්නේ මැදමාවතක යනවාය කියලාය. ජාතිවාදය නොවෙනවා කියලාය. දකුණට වගේම උතුරටත් සලකනවාය කියලාය.
නායකයෝ ඕනවට වඩා මිනිස්සුන්ට කිට්ටු නෑ කියලාය. දරුවන් වඩාගෙන හුරතල් කරන්නේ නෑ කියලාය.
"මහින්ද මහත්තයා ඔහොම නෑ. මතකද කොටි කැබිතිගොල්ලෑවෙ බෝම්බෙ ගහපු වෙලාවේ, ජීවිතේ පැත්තක තියලා මහින්ද මහත්තයා එහෙට ගිහින් දුක සැප ඇහුවේ. අන්න එහෙමයි නායකයෝ"
සමහරු කියන්නේ එහෙමය.
ඒ දවස්වල විපක්ෂය ජෝන්ට බැන්නේ රට ගැන හැඟීමක් නැති කුකුළු කේන්තිකාරයා කියලාය.

හැබැයි අවුරුදු එකහමාරක් වගේ කාලයක් අගමැති හැටියට හිටිය ජෝන් රට ගැන හිතලා කරපු දේ වෙන කවුරුත් නොකරපු තරම්ය. 1954දී ශ්‍රී මත් ඔලිවර් ගුණතිලක ආණ්ඩුකාර පදවියට පත්කරමින් මෙරට ආණ්ඩුකාර පදවියට ශ්‍රී ලාංකිකයකු පත් කිරීමේ පිළිවෙත හඳුන්වා දෙන්නේ සර් ජෝන් කොතලාවලය. සෑම නිදහස් දිනයකම රටේ ජාතික කොඩිය සමඟ ඉංගී්‍රසි කොඩිය එසවීමේ පිළිවෙත ඉවතට දමන්නේ කොතලාවලය. ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට මූලික වෙන්නේ කොතලාවලය. ඒ අතරේ දෙවැනි එළිසබත් මහ රැජනත්, වල්ලභ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුත් මුල්වරට ලංකාවේ සංචාරයක නියැළුණේ කොතලාවල අගමැතිවරයාව සිටියදීය.

එහෙම බැලුවම කොතලාවල කියන්නේ පුදුම නායකයෙක්ය.
එදා වගේම අද යහපාලන ආණ්ඩුවට විපක්ෂය චෝදනා කරන්නේ ජාතිකත්වය ගැන හිතන්නේ නෑ කියලාය. හැබැයි දළදා මාලිගාව ඉදිරියේ නයිට් රේස් පදිනතුරු බලාගෙන හිටපු අය එහෙම කියද්දී හතර හිනාය. ඇමෙරිකන් පුරවැසියෝ රංචුවක් හිටපු ආණ්ඩුවක අය විපක්ෂයට වෙලා දැන් කියන කතා විහිළු බව කියන්නේ මිනිස්සුය.
ඒ දවස්වල ජෝන් කොතලාවලගේ වැඩපිළිවෙළ වටහා නොගත් පිරිස් ඔහුව පරාජය කොට කඳවල වලව්වට තල්ලුකොට දැම්මේය. හැබැයි ඊට පස්සේ ආව ආණ්ඩුව රටට ඉතිරි කළේ ප්‍රගතිශීලී ලොසින්ජරය යටින් වූ විෂ බව කියන්නේ මිනිස්සුය.

යහපාලන ආණ්ඩුවට එරෙහිව කැරැලි ගසමින් විපක්ෂය හදන්නේ "ජෝන්" යැව්වා වගේ යවන්නද කියා කියන්න නම් දන්නේ නැත.

සෝභිත හිමි
"එන පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් කරලා අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරන්න. සියලු පක්ෂ ඒකට එකතු වෙන්න. පක්ෂ ගැන න්‍යාය පත්‍ර පැත්තකින් තියන්න. ආයේ සම්මජ්ජාතියට මෙහෙම අවස්ථාවක් එන්නේ නෑ. ඔබේ ඡන්දය, විධායකය අහෝසි කිරීම වෙනුවෙන් පාවිච්චි කරන්න. සියලු මන්ත්‍රිවරු ඒක අහෝසි කරන්න අත් ඔසවන්න."
දැන් අමතක අයත් ඒක ආපහු හිතනවා නම් හොඳය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්