මෛත්‍රිගේ පැත්තෙන් මහින්දට ලියුමක්

  👤  3130 readers have read this article !
2017-10-22

කැබිනට් හමුව මෙවරද සුපුරුදු පරිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. කෙසේ වෙතත් බොහෝ ඇමැතිවරුන් ඊට සහභාගි වී සිටියේ නැත. බොහෝ දෙනා එතෙර සංචාරවලට ගොස් සිටියහ. "මේක ලොකු ප්‍රශ්නයක්. මේ විදියට ඇමැතිවරු නිතරම රට ගියාම වැඩ කරන්නේ කොහොමද?"
ජනපති මෛත්‍රි තරමක් තදින් කීවේය.

"මේ ඇමැතිවරු හින්දා මටත් එපොයිමන්ට් දින වෙනස් කරන්න වෙලා. මේකට තීන්දුවක් ගන්න ඕන."
අගමැති රනිල්ද මෛත්‍රිගේ මතයට එකඟව කතා කළේය.
"මේ ගමන් වහාම නවත්වමු. අත්‍යවශ්‍ය කාරණයකට හැර විදෙස් සංචාර සීමා කරවමු"
මෛත්‍රි කීය.

මේ අතර කැබිනට්ටුවේ උණුසුම් කතාබහට මුල පිරුවේ ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපාය.
"ජීවන වියදම දවසින් දවස ඉහළ යනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ බොහොමයකම මිල අහස උසට නැඟලා, මේ බඩු මිල පාලනය කරන්න ඕනේ. ජනතාව අපහසුතාවට පත් වෙලා ඉන්නේ."
යාපා මහතා අසල සිටි ශ්‍රී ලනිපයේ අමාත්‍යවරු කිහිප දෙනකුම එම අදහස අනුමත කරමින් කෙටියෙන් අදහස් දැක්වූහ.
මෙහිදී යළිත් වරක් තම හඬ අවදි කළ යාපා මහතා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉලක්ක කොට චෝදනාවක්ද එල්ල කළේය.
"ජීවන වියදම පාලනය කරන්න පියවර ගන්නවා කියලා බදියුදීන් ඇමැතිතුමා හැමදාම කියනවා. ඒත් තවම මුකුත් වෙලා නැහැ. මේක බරපතළ තත්ත්වයක්. බැරිනම් ඇමැති අස් කරලා හරි ජීවන වියදම අඩු කරන්න ඕනා."
මේ කතාවට රිෂාඩ්ට යකා නැග්ගේය.
"එහෙම කොහොමද අස් කරන්නේ?"

රිෂාඩ් අසුනින් නැඟිටිමින් ඇසුවේ මහ හ¾ඩින්ය.
ඒ එක්කම අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද කතාබහට එක්විය.
"බඩු මිල පාලනය කරන්න බදියුදීන් අමාත්‍යවරයා නිසි පියවර අරගෙන නැහැ. ගත්තත් ඒවා අසාර්ථක වෙලා. බඩු මිල තවදුරටත් පාලනය කරන්න බැරි නම් ඒ සඳහා පවතින ආයතනවලින් වැඩක් නැහැනේ. ඒවා විසුරුවලා දාන එක තමා කරන්න වෙන්නේ." සුසිල් කීවේ වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය
භාණ්ඩ කිහිපයක මේ දිනවල පවතින මිල ගණන් පිළිබඳ විස්තරයක්ද කැබිනට් මණ්ඩලය වෙත ගෙනහැර දක්වමින්ය.

"ඔය චෝදනා මම පිළිගන්නේ නැහැ. අපි බඩු මිල අඩු කරන්න පියවර රාශියක් ගෙන තියෙනවා. ඒ සඳහා කමිටුවක්ද පත්කර තියෙනවනේ." මෙහිදී තමාට එල්ල වන චෝදනාවන්ට පිළිතුරක් ලෙස රිෂාඩ් බදියුදීන් මහතාද තරමක දැඩි ස්වරයකින් පැවැසීය. "කමිටු තිබුණට බඩු මිල අඩු වෙලා නැහැනේ. ඒ කමිටුත් විසුරුවා හරින එක තමයි වඩා සුදුසු. පාරිභෝගික අධිකාරියත් මෙතැනදී අසාර්ථකයිනේ" මෙහිදී අනුර යාපා මහතාද තරමක උස් හඬකින් ප්‍රතිචාර දැක්වීය.
යළිත් පිළිතුරු දෙමින් ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා දිගින් දිගටම කියා සිටියේ මෙම චෝදනා පදනම් විරහිත බවත් ජීවන වියදම ඉහළ යෑම පාලනය කරන්නට රජයට හැකිවී තිබෙන බවත්ය.
නමුත් මෙහිදී ජනාධිපතිවරයාද මෙම විවාදයට එක් වෙමින් සඳහන් කර සිටියේ බඩු මිල ඉහළ යෑම පාලනයට ගෙන ඇති පියවරයන් ප්‍රමාණවත් පරිදි සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන නොමැති බවයි.

"මම මේ ගැටලුව ගැන මේ දවස්වල හොඳින් නිරීක්ෂණය කළා. බඩු මිල ඉහළ යන එක පාලනය කරන්න රජය ගත්ත පියවර අපි හිතුව තරම් සාර්ථක වෙලා නැහැ. ඒ ගැන වැඩි අවධානයක් ඉදිරියේදී යොමු කරන්න වෙනවා" ජනපතිවරයා මෙහිදී පැවැසීය.
මෝර මත්ස්‍යයන් පිළිබඳව කතාබහක් ඇතිවූයේ ජයවික්‍රම පෙරේරා සහ මහින්ද අමරවීර අතරේය.
"ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුව මේවා කරන්න ඕන. මෝරු මරන්න බෑ"
ජයවික්‍රම එහෙම කියද්දී අමරවීර කීවේ "ඇමැතිතුමා කියන විදියට කරන්න ගියොත් ධීවරයෝ පාරට බහී" කියලාය. අදාළ ගිවිසුම අස්සන් කරනුයේ පිලිපීනයේදීය. කතාබහට මැදිහත්වූ මෛත්‍රි කීවේ "දෙන්නම පිලිපීන් ගිහින් ඕක අස්සන් කරන්න" කියලාය.

විටින් විට කල් ගිය පුංචි ඡන්දය තව මාස තුනක් ඇතුළත පැවැත්වෙන බව ආරංචිය. කුමන මැතිවරණයක් ආවද ඉතා තීරණාත්මක "සටනක්" ඒකාන්ත බවට "පිටිය" සැකසී තිබේ. මේ වන කොටත් දේශපාලන ක්ෂේත්‍රය උණුසුම්ව ඇත. එක්සත් ජාතික පක්ෂය අගමැති රනිල් පෙරටු කරගෙන මැතිවරණයට මුහුණ දෙන්නට පිඹුරුපත් සකසමින් සිටී. කෙසේ වෙතත් තීරණාත්මක "සටන" තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් දෙක අතරය. මේ වන විටත් පක්ෂයේ දෙදරා යෑම "වළක්වන්නට බැරි" තැනට ඇවිත්ය.
මෛත්‍රි වෑයම් කරන්නේ තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක් ඉලක්ක කොට ගෙන "සිය බලය" පෙන්වන්නටය. එහි මූලික පියවර "ගම්පහෙන්" පටන් ගෙන තිබේ.
ගම්පහ මෙරට දේශපාලනයේ "බරටම" කතාබහට ලක්වෙන දිස්ත්‍රික්කයක්ය. හිටපු ජනපතිනි චන්ද්‍රිකාට අත්තනගල්ල සංවිධායක ධුරය ලබාදීම පිටුපස ප්‍රබල න්‍යාය පත්‍රයක් තිබේ. විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ "බණ්ඩාරනායක බලකොටුව"ට ඊළඟ අනුප්‍රාප්තිකයා සූදානම් කිරීම චන්ද්‍රිකා විසින් සිදු කරමින් ඉන්න බවය. ඒ අනුව "විමුක්ති කුමාරතුංග" ගම්පහින් කරළියට එන කතාවට නව පණක් ලැබී තිබේ.

වසර කිහිපයක සිට විමුක්ති දේශපාලනයට එන බවට රාවයක් ගිය අතර මෙවර එය රාවයක් විතරක් නොවන බව පෙනෙමින් තිබේ. ඒ අනුව විමුක්ති කුමාරතුංග නිශ්චිතවම ගම්පහින් දේශපාලනයට එනු ඇති බව තතු දත් ආරංචි මාර්ග පවසයි. මෛත්‍රි ගම්පහ ශක්තිමත් කරන්න තවත් "බර අවියක්" යොදා ගනිමින් සිටී. ඒ හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධනගේ මුනුපුරා වන ප්‍රදීප්
ජයවර්ධනය. ඔහු ගැන ඉකුත් දිනවල රාවයක් ගියේ ඔහු බැසිල් හරහා පොහොට්ටුවට එක් වුණා කියලාය. හැබැයි ඒ කතාව අසත්‍යයක්ද නොවේ. එහෙත් ඔහු නැවත මෛත්‍රි සමඟ එක්ව වැඩ කරන්නට සූදානමින් සිටී. ඔහු දැන් ගම්පහ ශ්‍රී ලනිප සංවිධායකය.
එහෙම බැලුවම විධායක ජනපතිවරු දෙදෙනෙක්ගේ පුතෙක් සහ මුනුපුරෙක් යොදාගෙන මෛත්‍රි "ගම්පහ" බලය අල්ලන්නට සැරසී සිටී. මේ අතර
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හිටපු ජනපතිවරුන් දෙදෙනකුගේ පුතුන්

දේශපාලනය රත් කරමින් සිටී. ඒ නාමල් සහ සජිත්ය. ඒ අනුව ඉදිරි වකවානුව හිටපු ජනාධිපතිවරුන්ගේ පුතුන්ගේ භූමිකා රඟදැක්වෙන වකවානුවක් වන බවට ඉඟි පළවෙමින් තිබේ. ඉදිරියේදී දේශපාලන ක්ෂේත්‍රය මූලිකව දිස්ත්‍රික්ක දෙකක් අතරේ උණුසුම් මුහුණුවරක් ගනු ඇත.
මේ අතර මහින්ද ගමට බැස ගමේ බලය අල්ලන්නට පියවර ගෙන සිටී. ප්‍රාදේශීය සභා බොහොමයක බහුතරයක් ශ්‍රී ලනිප නියෝජිතයෝ මහින්ද සමඟ එක්ව සිටිති. ඔවුන් පොහොට්ටුව මුල් කරගෙන මැතිවරණයට එන්න ලෑස්තිය. බැසිල් කරන්නේ ඊට වඩා වෙනස් වැඩක්ය. ඔහු ගිය මැතිවරණයේදී මහින්දට ගිලිහුණු සුළු ජාතික ඡන්ද බලය දිනා ගැනීමේ සටන දියත් කොට තිබේ.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් ළඟදී පැවැත්වෙන විශේෂ සාකච්ඡාවට සහභාගි වන ලෙස දන්වා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ට හා ආසන සංවිධායකයන්ට ලිපියක් යැවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
එම ලිපිය ඉකුත් සිකුරාදා වනවිට සකස් කෙරෙමින් තිබූ අතර, එය මේ සතියේදී ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් ඇතුළු පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හා ආසන සංවිධායකයන්ට ලියාපදිංචි තැපෑලෙන් යැවීමට පක්ෂය තීරණය කර ඇත. ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමට පක්ෂය සූදානම් බැවින්

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ටද පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් වන ලෙස දන්වමින් මෙම ලිපිය යැවෙනු ඇතැයි දැනගන්නට තිබේ.
ඒ අනුව එම ලිපිය හිටපු ජනපති මහින්දටද යැවෙනු ඇත.

පළාත් පාලන මැතිවරණයට සන්ධානයෙන් තරග කිරීම සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නේද අපේක්ෂක ලැයිස්තු සකස් කරන්නේද හා පක්ෂය සමඟ ඉදිරියට කටයුතු කිරීමට සූදානම්ද යන්න මෙමඟින් විමසීමක් කෙරෙනු ඇතැයි වාර්තා වේ. එම විශේෂ සාකච්ඡාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉතා නුදුරේදීම පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මල්වතු මහ නාහිමියන් ප්‍රකාශයක් කළා යැයි සඳහන් කරමින් එම නාහිමියන්ගේ ඡායාරූපය සහිතව ඇතැම් පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍යන්හි 19දා ප්‍රධාන පුවත් සිරස්තලය ලෙස පළකර තිබිණි. මේ පුවත දුටු සැණින් අගමැති රනිල් කළේ මේ ගැන විදෙස්ගතව වැඩ හිඳින මල්වතු මහ නාහිමියන්ගෙන් විමසීය. උන්වහන්සේ පවසා තිබුණේ තමන් වහන්සේ එවැන්නකට අනුමැතිය නොදුන් බවය. මේ ගැන දැනගත් සැණින් රනිල් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති උත්සවයකදී "මාධ්‍යට" දෙහි කැපුවේය.
මේ බොරු පළ කරන කතෘවරුන්ගෙන් අහන්න, දැන් මල්වතු මහ නාහිමි වැඩ ඉන්නේ කොහේද කියලා.
යනුවෙන් රනිල් කීවේ කිසියම් ආවේගයකිනි. එකින් එක පුවත්පත් අතට ගත් රනිල් සියලු සිරස්තල පෙන්වමින් චෝදනාත්මකව කතා කළේය. කෙසේ වෙතත් "මව්බිම" පුවත්පත එකී පුවත පළකොට තිබුණේ "මල්වතු - අස්ගිරි කාරක සංඝ සභා කියයි" යනුවෙන්ය. ඒ ගැන ඔහු කීවේ "නිවැරැදිව ප්‍රවෘත්තිය දාලා
තියෙන්නේ "මව්බිම" විතරයි" කියලාය. කෙසේ වෙතත් බොහෝ දෙනෙක් පවසන්නේ "අගමැතිවරයා මාධ්‍යට ඕනෑවට වඩා "සැරට" කතා කළ බවය. යහපාලන ආණ්ඩුව පැමිණියේ මාධ්‍ය නිදහස උපරිමව ලබාදෙන බව කියමින්ය.
මේ අතර එදිනම අරලියගහ මැඳුරේදී රනිල් මැති ඇමැතිවරුන් ඇතුළු පිරිස සමඟද පිළිසඳරක යෙදිණි.
"නව ව්‍යවස්ථාව ගැන අපේ සමහර හාමුදුරුවරුයි ජනමාධ්‍යයි මුහුදට හත් ගව්වක් තියෙද්දී කලබල වෙලා පුදුම දේවල් කියන්නේ" අගමැතිවරයා කීය.
"හාමුදුරුවොයි ජනමාධ්‍යයි කලබල වෙලා නෙවෙයි අවස්ථාවාදී දේශපාලකයන් ඔවුන් කලබල කරවන්නයි හදන්නේ. ඒක සාර්ථක වෙන්නේ නැහැ" සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
"හම්බන්තොට විරෝධය පවත්වලා තියෙන්නේ ගුවන්තොට බදු දීමට හෝ ආණ්ඩුවට විරුද්ධව නෙවෙයි තමන්ට විරුද්ධව බව අමරවීර කියනවා" දයා ගමගේ කීවේ සිනා මැදය.
"නව ව්‍යවස්ථාවක් ගැන අපි ජනතාවට මැතිවරණවලදී කිව්වා. ජනතාව වරම දුන්නා. ඒ වරමට හාමුදුරුවරුත් අයිතියි. ඒ නිසා ජනවරමට විරුද්ධව පටු දේශපාලකයන්ගේ ගාණට වැටිලා කතා කරන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේලා උත්සාහ කිරීම සුදුසුද කියලා හිතන්න ඕනෑ" අගමැතිවරයා කීවේ නළල රැලි ගන්වමිනි.
"කොමිසමට ගෙන්නන්න නීතිපති දෙපාර්තමේන්තුවේ අය නම් 16ක් කොමිසමට දීලලු. අගමැතිතුමාගේ නමත් ඒ අතර තිබිලා තියෙනවා කියලත් ආරංචියි. නීතිපති දෙපාර්තමේන්තුවේ අයයි කොමිසමේ අයයි කැඩිලා කියලත් කියනවා. ඔබතුමාගෙන් විමසපු කරුණුවලට ප්‍රතිචාර දක්වනවාද" ලක්ෂ්මන් කිරිඇල්ල විමසුවේ අගමැතිගෙනි.
"ඔව්, දිවුරුම් ප්‍රකාශයකුත් එක්ක උත්තර යවනවා. එකේ කරුණු 16-17ක් තියෙනවා. ඒවා සීරියස් ඒවාත් නෙවෙයි. පැහැදිලි කිරීම් ඉල්ලලා තියෙන්නේ. මාව කැඳෙව්වා නම් කොමිසමට මම යනවා. රාජපක්ෂලා වගේ සෙනඟ
ගෙනියන්නේ නෑ" අගමැතිවරයා කීවේ උස් හ¾ඩින් සිනාසෙමිනි.

ක්‍රමයෙන් ළඟා වෙමින් තියෙන්නේ මැතිවරණයක සේයාවය. දේශපාලන ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ තව මාස තුනක් තුළ ඒකාන්තවම
මැතිවරණයක් එන බවය. ඒ හින්දාමදෝ "නායකයෝ" ගමට බැහැලාය.
ගෙවුණු සතිය පුරාම අධික වැසි හේතුවෙන් කාලගුණ තත්ත්වය ව්‍යාකූල වුවද අගමැතිවරයා යොදාගෙන තිබූ සියලු කටයුතුවල නිරත වීමට වග බලා ගත්තේය. සතිය ආරම්භයේදී දකුණු පළාතේ දිස්ත්‍රික් තුන තුළම සංචාරය කළ ඔහු තේ කර්මාන්තය ඇතුළු ජනතා ගැටලු සාකච්ඡා කළ රැස්වීම් කිහිපයකට එක් විය. අනතුරුව සාගල රත්නායක සමඟ එක්ව දෙණියාය ආසනය තුළ ගෙන් ගෙට ඇවිදිමින් එජාප සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකටද එක් විය.

"හැම තැනම වතුර නිසා සපත්තු ගලවලා රබර් සෙරප්පු දෙකක් දාගනිමුද?" සාගල මෙන්ම ආරක්ෂක නිලධාරීන්ගේ යෝජනාවට අගමැතිවරයා අවනත විය. දෙණියායේ පාවහන් කඩයකින් අදාළ සෙරෙප්පු යුගල ලැබුණේ අනතුරුවය.

අගමැතිවරයා බදාදා නාත්තණ්ඩිය බලා ගියේ මේ රජය යටතේ ඉදිවූ 43 වැනි හා විශාලතම උදාගම වන අශෝකපුර නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමටය. සජිත් ප්‍රේමදාස හා ප්‍රදේශයේ එජාප පිරිස් එය සංවිධානය කර තිබිණි. උදා ගම්මාන ඉදිකිරීමට රජයේ ඉඩම් ලබාගැනීම ඉතා දුෂ්කර කාර්යයක් බවත් අශෝකපුර ඉදිකිරීමට ඉඩම් ලබා ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දරන්නට සජිත්ලාට සිදුවිය.
"සජිත් දැන් ගෙවල් කීයකට උදවු කරලා තියෙනවද?"
සමරු ඵලකය විවෘත කරමින් රනිල් සජිත්ගෙන් ඇසුවේය.
ගෙවුණු අවුරුදු 2 1/2දී නිවාස ප්‍රශ්නයෙන් දුක් වින්ඳ පවුල් දෙලක්ෂ තිස්දහසකට ඒ අයගේ ගෙවල් වැඩිදියුණු කරගන්නට උදවු කරලා තියෙනවා"
සජිත් උත්තර දුන්නේය.

"බොහොම හොඳයි, මේ වැඩේ තවත් වේගයෙන් කරගෙන යන්න. ඉලක්කය අලුත් ගම්මාන 2500ක් නේද?
රනිල් ඇසුවේ සමරු ඵලකය දෙස බලමින්ය.
"ඔව්, ටිකක් අමාරු ඉලක්කයක් සර්. ඒත් ජාතික වැඩසටහනේ ඉලක්කය හැටියට ඒක කරගෙන යනවා"
"එන අවුරුද්දේ ඔන්න වැඩිපුර සල්ලි වෙන්කරලා තියෙනවා"
රනිල් සජිත්ට කීවේ අයවැය ප්‍රතිපාදන ගැනය.

ජනතාවට ටිකක් අමාරු බව ඇත්ත. ජනතාවට නොවෙයි ආණ්ඩුවටත් රාජපක්ෂලා ගත්ත මහා ණය කන්ද නිසා හුඟක් අමාරුයි. අපි බලයට එන විට රටේ ආදායම් ණය හා පොලී ගෙවන්නත් මදියි. අපි ඒක වෙනස් කළා. දැන් ණය ගෙවලා රට සංවර්ධනය කරන්නත් මුදල් තියෙනවා. ඒත් ලබන වසර 2 තුළ තව රු. කෝටි ලක්ෂ 3ක මහා ණය කන්දක් ගෙවන්න තියෙනවා. අපි එය කරනවා. එවිටයි ණය කන්දේ මුදුනට අපි නැග්ගා වෙන්නේ. ඊට පස්සේ කන්දෙන් පහළට බහින එක ලේසියි. මොන අමාරුකම් තිබුණත් අපේ නොවැම්බර් අය-වැයෙන් ජනතාවට හා රටට සංවර්ධනය ගේන්න මුදල් අමැතිතුමා ක්‍රියා කරනවා." අගමැතිවරයා කීය.

ජපානයේ පෞද්ගලික සංචාරයක නිරත වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය සෙනසුරාදා යළි මෙරටට පැමිණියේය. ගුවන්තොටුපොළේ සිට මහින්ද තංගල්ල කාල්ටන් නිවෙසට ගියේය. ඉරිදා උදෑසනම මහින්ද තංගල්ල බන්ධනාගාරය වෙත ගියේ ඒ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි නාමල් ඇතුළු පිරිසගේ සුවදුක් බැලීමටය.
නාමල් ඇතුළු පිරිස සමඟ කතා කරමින් සිටි මහින්ද වෙත පැමිණි සම්පත් අතුකෝරාළ තමන් ලියූ කවි පන්තියක් දුන්නේය. ඒ සමඟ සිටි උපාලි කොඩිකාර තමන්ගේ අතෙහි මස් පිඬු පෙන්වමින් මහින්දට කීවේ 'සර් දැන් අපේ ඇඟත් හැදිලා තියෙන්නේ. නාමල් මන්ත්‍රිතුමා අපිට බර උස්සන්න කියලා දුන්නානේ. අපෙත් දැන් සික්ස් පැක් ඇවිත් තියෙන්නේ' කියාය.
'ඔයාලට හිරේ ඇතුළේ කොහෙන්ද බර උස්සන්න ඕනේ ඒවා? මහින්ද ඇසුවේය.
'අපි කොහු මිටකට වතුර කෑන් ගහලා බර උස්සන්න දේවල් හදා ගත්තා' නාමල් කීවේය.
'අනේ ඔව් සර් නාමල් මන්ත්‍රිතුමා හැමදාම උදේ 5.30 ඉඳලා 8.30 වෙනකම්ම අපි ලවා බර උස්සෝනවා. යෝග ව්‍යායාම කරවනවා' සම්පත් පැවැසීය.
මෙයා ඉතින් ගෙදර ඉන්න කොටත් මොනවා නැතත් ඕක නම් හරියටම කරනවානේ' මහින්ද නාමල් පෙන්වමින් පැවැසීය.
'සර් ආණ්ඩුවෙම මකුණෝ සෙට් එකක් තමයි මෙහේ ඉන්නේ' ප්‍රසන්න රණවීර පැවැසීය.
'ඒ මොකද?' මහින්ද ඇසුවේය.

'නෑ සර් උන් අපිවම හොය හොයා විදිනවා. හරියට ආණ්ඩුව වගේමයි' රණවීරගේ පිළිතුරට කවුරුත් සිනාසුණහ.
ඉරිදා සවස මහින්ද නීතිඥ කණ්ඩායමක් මුණගැසී නාමල් ඇතුළු පිරිසට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. මහාචාර්ය ජී.එල්. පීරිස්, සී.බී. සහ පවිත්‍රා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

'මං හිතන්නේ කට්ටියට ඇප දෙන එකක් නැහැ. දිගින් දිගටම රිමාන්ඩ් කරලා තියා ගන්න බලයි. ආණ්ඩුවට ඕනේ මේ අය රිමාන්ඩ් කරලා තියාගන්නයි' පවිත්‍රා කීවාය. අනතුරුව ඇය මහින්දගෙන් ඇසුවේ 'දැන් සර් හෙට උසාවියට එනවා නේද?' කියාය.
'නෑ මම එන්නේ නෑ. නාමල් කියන්නේ දේශපාලනඥයෙක්. එයා මේවට හුරුපුරුදු වෙන්න ඕනේ. දේශපාලනඥයෙක් වුණාම මේ වගේ පාඩම් ඉගෙන ගන්න ඕනෙ. මගේ පවුලේ වෙන කෙනෙක්ගේ නඩුවක් නම් මම අනිවාර්යයෙන්ම
උසාවි එනවා. මොකද එයාලව උසාවි ගේන්නේ දේශපාලනය කරපු හින්දා නෙවේ පළිගන්නයි. නාමල් මේවට මූණ දීලා අත්දැකීම් ලබා ගන්න එක එයාටම හොඳයි' මහින්ද පැවැසීය.

ජාතික සම්පත් විකුණා දැමීමට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින්
හම්බන්තොටදී පවත්වන ලද උද්ඝෝෂණයට සහභාගිවීම නිසා බන්ධනාගාරගතව සිටින නාමල් ඇතුළු පිරිස සඳුදා හම්බන්තොට උසාවියට ඉදිරිපත් කෙරිණි. ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වීම සඳහා උසාවිය වෙත පැමිණ සිටියහ.
නාමල් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ දිනයේම ඇප ලබා ගැනීමට ඇප අයැදුම්පත් ඉදිරිපත් කිරීමට නාමල්ලාගේ නීතිඥවරුන් පියවර ගෙන තිබිණි. ඒ අතරින් නාමල්, ඩී.වී. චානක සහ සම්පත් අතුකෝරාළ ඇප අපේක්‍ෂා කරමින් රුසියාවේ පැවැත්වෙන තරුණ
සම්මේලනයට සහභාගි වන්නැයි ලැබුණු ඇරැයුම්පත්ද ඉදිරිපත් කර තිබිණි.

නාමල්ලාගේ නීතිඥවරුන් කෙසේ හෝ නාමල්, ඩී.වී., සම්පත් යන තිදෙනාටත් තවත් තිදෙනකුටත් ඇප ලබා ගැනීමට සමත් වුවත් ප්‍රසන්න රණවීර, උපාලි කොඩිකාර සහ අජිත් ප්‍රසන්න ඇතුළු අනෙකුත් පිරිස 30 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.
ඇප අයැදුම සලකා බලන අතරතුර උසාවිය මඳකට කල් තැබූ අවස්ථාවේදී ප්‍රසන්න රණවීර ඇතුළු පිරිස උසාවි බංකු මත හිඳගෙන සිටියහ. ඒ වන විට ඇප ලබා සිටි නාමල්ද පිටතට නොගොස් රණවීරලා සමඟ රැඳී සිටියේය.
'නාමල් මන්ත්‍රිතුමා දැන් මං උඩ, ඔබතුමා යට' රණවීර කීවේය.
'නෑ නෑ මං යන්නේ නෑ. ඔයාලා ඔක්කොටම ඇප අරගෙන මිසක් මං යන්නේ නැහැ. එහෙම නැත්නම් මාත් ඔයාලා එක්කම ආපසු ඇතුළට යනවා' නාමල් පැවැසීය.
'ඒක කරන්න එපා. ඕක අධිකරණයට අපහාස කිරීමක් වෙන්න පුළුවන්' පවිත්‍රා පෙන්වා දුන්නාය.
'ඒක ඇත්ත. මේ වෙලාවේ අනවශ්‍ය ගැටලු හදාගන්න ඕනේ නැහැ. මේ වෙලාවේ වැඩ කරන්න ඕනේ හැඟුම්බරව නෙවෙයි' ඩලස්ද කීවේය. එසේ වුවත් නාමල් තමන්ගේ තීරණය වෙනස් කළේ නැත.

අවසානයේදී සියලු මන්ත්‍රිවරුන් එකතු වී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කිරීමෙන් පසුව පමණක් නාමල් ඇප ලබා එළියට යෑමට තීරණය කළේය.
"අහිංසක මිනිස්සු සිරගත කරලා අප හිරේ දමලා අපේ කටවල් වහන්න බෑ. එහෙම හිතනවා නම් ඒක මේ ආණ්ඩුවට වැරැදිලා. ආණ්ඩුව මොනවා කළත් අපි අපේ සටන අත්ඇරලා නැහැ" යැයි නාමල් පැවැසුවේය.

නාමල්ලා පිළිගන්නට බොහෝදෙනා පැමිණ සිටි අතර නාමල් සමීපයේ සිටි කුමාරසිරි හෙට්ටිගේ ඇසුවේ,
"දැන් මේ හිරගෙදරට පස්සේ තවත් හිරගෙවල්වලට ඔබතුමා යනවාද..?" කියාය.
"කියන්න බෑ. මීගමුව පැත්තේ හිරේකට නම් යන බව ආරංචියි"
අසල සිටි අයෙක් කීවේය.

අගමැති රනිල් වික්‍රමසිංහ පින්ලන්තයේ සංචාරයක නිරතව සිටින අතරවාරයේදී හිටපු ඇමැති රවි කරුණානායක වැඩක් පටන් ගෙන තිබිණි. ඒ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරු කැඳවා වැඩමුළුවක් පැවැත්වීමය. මෙම වැඩමුළුව පැවැත්වීමේ අරමුණ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට එල්ලවන
චෝදනාවලට පිළිතුරු දීම පිළිබඳව සාකච්ඡා කිරීම වුවත් වෙලා තියෙන්නේ වෙන දෙයකි.
අදාළ වැඩසටහනේදී රවි කරුණානායක මන්ත්‍රිවරයා මලික් සමරවික්‍රම ඇමැතිවරයා ඇතුළු අගමැතිවරයාට සමීප ඇමැතිවරු කිහිපදෙනෙක් දැඩි ලෙස විවේචනය කර තිබේ. මේ පිළිබඳව අගමැතිවරයාට මන්ත්‍රිවරු පිරිසක් දැනුම් දී ඇති අතර ඒ අනුව මෙම පරීක්ෂණය ක්‍රියාත්මක වේ.

මේ අතර කොල්ලුපිටියේ මොනාක් සුපිරි නිවාස සංකීර්ණයේ නිවෙසක් රවිට බදු දීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් බැඳුම්කර ජනාධිපති කොමිසමට හෙළි කරමින් සාක්ෂි දුන් එම නිවෙසේ හිමිකාරිය වූ අනිකා විජේසූරියට මරණ තර්ජන නිසා රට හැර යෑමට සිදුවිය. අනිකා විජේසූරිය මෙනෙවියගේ සොහොයුරකු වන විජිත් විජේසූරිය මහතා විසින් මේ ගැන පැමිණිල්ල ජනාධිපති බැඳුම්කර කොමිසමට සිදුකර ඇති බවද ඒ පැමිණිල්ලට අනුව එම මරණීය තර්ජන එල්ල කර ඇත්තේ රවි කරුණානායක මහතාට 'අන්කල් රවි' යනුවෙන් අමතන අනිල් නෙත්තිකුමාර නමැත්තකු විසින් බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

මිතුරකුගේ උපන්දින සාදයකදී හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා, හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී කුමාරසිරි හෙට්ටිගේ හමුවිය.
"ඔබතුමා හිරේ දාන බව මම කලින් ඉඳන්ම දැනගෙන හිටියා. මේකෙන් වුණේ රාජ්‍ය සේවය කඩාගෙන වැටුණු එක"
හිටපු අගවිනිසුරු කීවේය.

"මම ගියේ ආත්ම ශක්තියක් ඇතිව. මම දන්නවා මම වරදක් නොකළ බව, මේ සිදුවීමෙන් රාජ්‍ය සේවකයෝ ඉන්නේ ලොකු පීඩනේක" ලලිත් වීරතුංග කීය.
"ආණ්ඩුව හිරිකිතයක් නැතිව ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා"
සරත් නන්ද සිල්වා එහෙම කියද්දී කුමාරසිරි හෙට්ටිගේ කීවේ,
"ගමක මනුස්සයෙක් කෙසෙල් කැනක් කැපලා අහුවුණාම ලැජ්ජාවට එළියට එන්නේ නෑ. හැබැයි කෝටි ගණන් හොරකම් කරපු අය උජාරුවෙන් ඉන්නවා. ලැජ්ජාවක සේයාවක් නෑ"

ජර්මනියේ බර්ලින් නුවර පැවැති ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ‍ෙදාස්තර රාජිත සේනාරත්න මහතා පසුගිය සෙනසුරාදා ජර්මනිය බලා පිටත්ව ගියේය.
ජර්මනියේ බර්ලින් නුවර විහාරස්ථානයේ කඨින පිංකමට ඉරිදා දින සහභාගි වූ සෞඛ්‍ය අමාත්‍යවරයා එහි සිටි ශ්‍රී ලාංකිකයන් සමඟ සුහද කතාබහක නිරත විය. එහිදී ඔවුන් ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ විමසූ අතර සයිටම් අර්බුදය පිළිබඳව විමසීමට උනන්දු විය. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සයිටම් අර්බුදය පිළිබඳ කරුණු ඉදිරිපත් කළේය. එවිට එහි සිටි ශ්‍රී ලාංකිකයන් පෙන්වා දුන්නේ විදේශීය රටවල පෞද්ගලික වෛද්‍ය උපාධිය ලබාදෙන වෛද්‍ය විද්‍යාල බොහෝ සෙයින් ඇති බවයි. ඒ පිළිබඳ ශ්‍රී ලාංකිකයන් දැනුවත් විය යුතු බව ඔවුහු පෙන්වා දුන්හ.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි
මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට රාත්‍රි භෝජන සංග්‍රහයක්ද පිරිනමන ලදී. සඳුදා දින ලෝක සෞඛ්‍ය සමුළුව ජර්මනියේ බර්ලින් නුවරදී අති උත්කර්ෂවත්
ලෙස ආරම්භ වූ අතර එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපෙළ අසුනක්ද හිමිවීම විශේෂත්වයක් විය. මෙම සමුළුවට රටවල් 190ක සෞඛ්‍ය නියෝජිතයෝ 3000කට අධික පිරිසක් එක්ව සිටියහ. සමුළුවේදී බෝ නොවන රෝග පිළිබඳ සැසිවාරයට සෞඛ්‍ය අමාත්‍ය ‍ෙදාස්තර රාජිත සේනාරත්න මහතා එක්වූයේය. සැසිවාරයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ජෝර්දානයේ ඩීනා මෙරිඩ් කුමරිය ප්‍රකාශ කළේ බෝ නොවන රෝග පිළිබඳ ලෝක තානාපති ධුරය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබාදිය යුතු බවට තමන් යෝජනා කරන බවයි. ඉන්පසු එම කුමරිය සහ සැසිවාරයට එක්ව සිටි විදේශීය රටවල සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවී බෝ නොවන රෝග පාලනය කිරීම පිළිබඳ
ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරමින් කරුණු දැක්වූහ.

පසුගිය සතියේ නෙලුම් මාවතේ සිටි බැසිල්ට කාර්යබහුල සතියක් විය. පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වීම සඳහා පක්‍ෂ සහ කණ්ඩායම් ගණනාවක් නෙලුම් මාවතට ආහ. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රි දිනවන්නට කටයුතු කළ කඳුරට ජනතා පෙරමුණද ඒ අතර විය. එහි නායක ආචාර්ය සෙන්දිර් රාජ් කීවේ පොහොට්ටුව නුවරඑළියෙන් දිනවන්නට තමන්ට හැකි බවය.

'පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිය කියා ආණ්ඩුව ඡන්දය කල් දානවා. ඕවා අපේ කාලයේම ඉවර කරලා තිබුණේ. ආණ්ඩුව ඡන්දයට බයයි' බැසිල් කීවේය.
මේ අතර එක්සත් දෙමළ නිදහස් පෙරමුණේ නායක කරුණා අම්මාන් තමන්ගේ පක්‍ෂයේ පිරිසක් සමඟ පැමිණ බැසිල් මුණගැසුණේය. ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ, ලිබරල් පක්‍ෂය, ජනතා සේවක පක්‍ෂය, සාධාරණ සමාජයක් සඳහා වූ පුරවැසි හඬ, ශ්‍රී ලංකා මුස්ලිම් උලමා පක්‍ෂය, කඳුරට මුස්ලිම් කවුන්සිලය ඇතුළු පක්‍ෂ රැසක් පසුගිය සතියේ බැසිල්, ජී.එල්. ඇතුළු පිරිස මුණගැසී සන්ධානගත වීම ගැන සාකච්ඡා කළහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්