අධිවේගයෙන් කේතුමතියට

  👤  1912 readers have read this article !
2017-10-22

නිරාහාරව පාසලට පැමිණි සිසුවියක වමනය කළ බැවින් ඇය ගැබිනියකැයි සැක කොට පාසලෙන් අස් කිරීමේ ඛේදජනක පුවතක් සති අන්තයේ වාර්තා විය. ලංකාවේ බොහෝ දිළිඳු ජනයා තුන්වේල ආහාර නොගන්නා බව තවදුරටත් රහසක් නොවේ. හිසට සෙවණක්, අඳින්නට වතක් නැති මිනිස්සු කොතෙකුක් සිටිති. ලංකාවේ බහුතර ජනයා තවමත් ජීවත් වන්නේ ඉතාමත් ප්‍රාථමික, අවම අධ්‍යාපන, සෞඛ්‍ය පහසුකම් යටතේය. ලොව දරිද්‍රතාව අනුව ගත් කල රටවල් 188කින් ලංකාව සිටින්නේ 73 වැනි ස්ථානයේය.
එහෙත් අපේ පාර්ලිමේන්තුව ඉකුත් සතියේ විවාදයක් පැවැත්වූයේ අධිවේගී මාර්ග සඳහා මුදල් යෙදවීම ගැනය. ආණ්ඩුවේ සැලැසුමට අනුව 2015-25 දක්වා කාලය තුළ අධිවේගී මාර්ග කිලෝමීටර් 356ක් සඳහා රු. බිලියන 1,644ක් වියදම් කිරීමට ආණ්ඩුව සූදානම්ව සිටී. මෙම මුදල් අප දළ ජාතික නිෂ්පාදනයෙන් උපයා ගන්නා මුදල් නොවේ. විදේශ ණය මඟින් අදාළ රටවලින් අධික පොලියට ලබා ගන්නා ණය මුදල්ය.

පසුගිය 2016 වසර අවසන් වන විට මෙරට විදේශ ණය ප්‍රමාණය ඇ.ඩො. මිලියන 46,586ක්ව තිබිණි. එය කෝටි ලක්ෂ 9ක් යැයි ආණ්ඩුවම ප්‍රකාශ කරයි. එසේ තිබියදී අධිවේගී මාර්ග සඳහා මේ ගන්නා ණය මුදල්ද එක්වන්නේ විදේශ ණය සංචිතයටම බව අමුතුවෙන් කිවයුතු නැත.

අධිවේගී මාර්ග සඳහා යොදවන මෙම විශාල ණය කන්දරාව රටේ සංවර්ධන මූලෝපායයන් සමඟ සැසඳෙන්නේ කෙසේදැයි ආණ්ඩුව රටට කියන්නේ නැත. අවශ්‍ය මූලික යටිතල පහසුකම් නොලැබීම නිසා ග්‍රාමීය ආර්ථිකය බිඳ වැටෙමින් තිබේ. නිසි ලෙස ග්‍රාමීය මාර්ග නඩත්තු නොකිරීම නිසා කෘෂි භෝග ප්‍රවාහනය කරගත නොහැකිව ගම්වල මිනිසුන් පාරේ ටයර් පුලුස්සමින් උද්ඝෝෂණ කරනු කොතෙකුත් අසන්නට, දකින්නට ලැබේ. ලංකාවේ ඒ සහ බී ගණයට වැටෙන මාර්ග කිලෝ මීටර් 12,210ක් තිබේ. අවම වශයෙන් ඒවා හරියාකාර නඩත්තු නොකරන ආණ්ඩු අධිවේගී මාර්ග ගැන පුන පුනා සුරංගනා කතා කීම තුළින් මෙම ඊනියා සංවර්ධනයේ වාසිය කාටදැයි මොනවට පැහැදිලි වේ.
දැනට ලංකාවේ අධිවේගී මාර්ග කිලෝමීටර් 170ක් තිබේ. ඉන් වසරකට ලැබෙන්නේ නඩත්තුව සඳහා වන මුදල පමණය. අධිවේගී මාර්ග ස¼දහා ගත් ණය ගෙවිය යුත්තේ මහජන බදු මුදල්වලිනි.

අධිවේගී මාර්ග සඳහා ලෝකයේ වැඩිම ඇස්තමේන්තු ඉදිරිපත් කරන රට වන්නේද ලංකාවය. ඉතා දුෂ්කර භූ විසමතා ඇති රටක පවා කි.මී. 1ක් ඉදිකිරීමට බිලියන 2.5-3 සීමාවේ වැය කරද්දී ලංකාව කි.මී. 1 සඳහා මිලියන 4,000ත් 5,000ත් අතර වැය කරයි. ඉකුත් ආණ්ඩුව විවෘත කළ දක්ෂිණ අධිවේගී මාර්ගය රත්රනින් හැදුවා දැයි විවේචන එල්ල වූයේ ඒ නිසාය. දැනට හැදෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ ඇස්තමේන්තුව පිළිබඳව පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී හෙළි වූ කරුණු අනුව අධිවේගී මාර්ග සඳහා කිලෝ මීටර් 6කට යන වියදමින් කටුනායක ගුවන්තොටුපොළේ දෙවැනි ගුවන් පථය ඉදිකළ හැකිය. අධිවේගයේ කි.මී. 1ක් සඳහා වැය කරන මුදලින් කෝටි 10 බැගින් වැය වන ග්‍රාමීය රෝහල් 50ක වැඩ අවසන් කළ හැකිය. කි.මී. 2කට යන වියදමින් අපේ රටට තවත් අංග සම්පූර්ණ විශ්වවිද්‍යාලයක් ඉදිකළ හැකිය. කි.මී. 12කට යන වියදමින් කොළඹ නගරයේ සියලුම ගුවන් පාලම් උමං මාර්ග ඉදිකොට කොළඹ මාර්ග තදබදය අවසන් කළ හැකිය. මෙවැනි උදාහරණ කොතෙකුත් පෙන්විය හැකිය. කොටින්ම නිශ්චිත ඉලක්ක සහිතව දැනට 4.4% මට්ටමේ ඇති ආර්ථික වර්ධනය දෙගුණයකින් ඉහළ නැංවිය හැකිය.

එහෙත් ලංකාව වැනි දූපත් රාජ්‍යයකට කිසිසේත් ඔරොත්තු නොදෙන, රටේ ස්වාභාවික පරිසරය විනාශ කරන යෝජිත අධිවේගී මාර්ගවල අරමුණ දළදා වඳින්නට නුවර යෑම හෝ දෙවි පුදට කතරගම යෑමට එහා ගිය එකක් බව ජනතාව වටහා ගත යුතුය. රටේ ණයවලින් 40%ක්ම දූෂණයටත් නාස්තියටත් ගොදුරු වන රටක දිගින් දිගටම මහා පරිමාණ ව්‍යාපෘති යෝජනා වන්නේ මන්දැයි වටහා ගන්නට ජනතාවට සිහි බුද්ධිය තිබිය යුතුය. සංවර්ධනය යනු කොන්ක්‍රීට් පාරාදීසයක් නොව රටේ පුරවැසියන්ගේ ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුළු ජීවන තත්ත්වය ඉහළ යෑම බව වටහා ගත යුතුය. කෝටි ගණනින් මහජන මුදල් සොරාකන, කළු සල්ලිවලින් පිරුණු රටක් කිසි දිනෙක කේතුමතී රාජධානියක් වන්නේ නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්