මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පිළිබඳ විවාදය

  👤  2521 readers have read this article !
2017-10-20

දක්ෂිණ අධිවේගි මාර්ගයේ වියදම වැඩිවුණේ දන්දෙණිය රක්‍ෂිතය ආරක්‍ෂා කිරීමට ගුවන් පාලම ඉදි කිරීමෙන්

"මාතර සිට මත්තල දක්වා දක්ෂිණ අධිවේගි මාර්ගය අදියර හතරකින් නිම කිරීමට සැලසුම් කොට තිබෙනවා.
මෙහි ප්‍රශ්නගත කොටස වන්නේ කිලෝමීටර 30ක දිගකින් යුතු මාතර සිට බෙලිඅත්ත දක්වා වන අදියරයි. මේ අදියර ඉදිකිරීම සඳහා මූලික ඇස්තමේන්තුගත මුදල වූයේ රුපියල් මිලියන 103.28ක්. ඉන් කිලෝමීටර 5.82ක දුරක් ගුවන් පාලම මතින් ඉදිකිරීමට සැලසුම් කොට තිබුණා
ආණ්ඩුව මාරු වුණාමයි විරෝධය ප්‍රකාශ කළේ. මෙම මාර්ගය ඉදිකිරීමෙන් දන්දෙණිය රක්ෂිතයට බලපෑමක් වන බවත් රක්ෂිතය දෙකට බෙදෙන බවත් ඉන් වන සතුන්ගේ ගමනාගමනයට බාධා වන බවටත් වන රක්ෂණ දෙපාර්තමේන්තුවත් පරිසර අධිකාරියත් වාර්තා කළා

කැබිනට් කමිටුව මැදිහත් වුණේ මේ ප්‍රශ්නය විසඳන්නයි. මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ක්‍රියාමාර්ග දෙකක් පමණයි ගත හැකිව තිබුණේ. එකක් රක්ෂිතය මඟහැර මාර්ගය සකස් කිරීම, අනෙක් විකල්පය වුණේ වනාන්තරය හරහා උමං මාර්ගයක් සකස් කිරීම. මේ විකල්ප දෙක සඳහා අති විශාල මුදලක් වැය වන බව වාර්තා වුණා"

ගුවන් පාලම 6.31ක් ලෙස දිග මීටර 500කින් වැඩි වුණා. අමතරව බිලියන 2.7ක් වැයවන බව ඇස්තමේන්තු කර තිබුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකිරීම් සිදුකරමින් සිටින අතරතුර තවත් ප්‍රශ්නයකට මුහුණ දුන්නා. මෙම මාර්ගයේ පස් තට්ටුව අපේක්ෂිත තත්ත්වයට වඩා ඝනකමින් වැඩි බව අදාළ ඉදිකිරීම් සමාගම මහාමාර්ග අමාත්‍යාංශයට වාර්තා කර තිබුණා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අධ්‍යයනය වාර්තා ලබාගැනීමට කටයුතු කළා. විශේෂඥ උපදෙස් සලකා බලා මාතර බෙලිඅත්ත කොටසේ ගුවන් පාලම්වල දිග තවත් 2.28කින් මුළු දුර 9.1 දක්වා වැඩි කිරීමට හා ණය කළමනාකරණය කරගැනීමට යෙදුණා. මෙය කැබිනට් මණ්ඩලය අනුමත කළා. මෙයයි ගත්ත පියවර.

පසුගිය ආණ්ඩුව කාලයේ
ක්‍රියාත්මක වූ දූෂිත වළල්ල,
මේ ආණ්ඩුව යටතේත් ක්‍රියාත්මකයි

'පසුගිය ආණ්ඩුව කාලයේ ක්‍රියාත්මක වුණ දූෂිත වළල්ල, මේ ආණ්ඩුව යටතේත් ක්‍රියාත්මක වනවා' යැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවැසීය.

මේ දූෂිත වළල්ලේ දේශපාලනඥයෝ රැසක් ඉන්නවා. ව්‍යාපාර සමාගම්, මාධ්‍ය හිමිකරුවෝ පවා මේ දූෂිත වළල්ල තුළ ඉන්නවා. රාජ්‍ය නිලධාරීන් හා පොලිස් නිලධාරීන්ද එම වළල්ල තුළ ඉන්නවා. ආණ්ඩුව වෙනස් වුණාට දූෂිත වළල්ල වෙනස් වෙලා නැහැ.
ඩීල්කරුවෝ, මේ දූෂිත වළල්ල තුළ ඉන්නවා. ඔවුන් මේකෙ නියමුවන් හැටියට හඳුන්වන්න පුළුවන්.
මහාමාර්ග අමාත්‍යාංශය තුළ දිගට හරහට ආහාර වවුචර් බෙදනවා. අවුරුද්ද ඉවර වෙලත් නැහැ. ආහාර වවුචර් බෙදනවා. මේ වවුචර් සභානායක කාර්යාලයෙත් බෙදලා. මම වගකීමෙන් කියන්නේ.

'මාර්ග කොන්ත්‍රාත්වල මුදල් ගන්න සමහර නිලධාරීන්ට කොමිස් ගෙවන්න වෙලා.
මාර්ග ඉදිකිරීම් සඳහා සමාගම් තෝරාගන්නේ, මරණාධාර සමිතිවලට පුටු ගන්න මිල ගණන් කැඳවනවා වගෙයි. ආණ්ඩුව කොන්ත්‍රාත්කරුවන් එවන්න ජපාන තානාපති කාර්යාලයෙන් ඉල්ලුවා. ඒක අපිට අයිති වැඩක් නොවන බව තානාපති කාර්යාලය ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.
මාර්ග පිළිබඳ රක්‍ෂණාවරණය රාජ්‍ය රක්‍ෂණ ආයතනයකට ලබාදිය යුතු බව මුදල් හා රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන ලිඛිතව දැනුම්දී තිබියදීත් මහාමාර්ග ඇමැතිවරයා ඔහුගේ උපදේශකයකුට අයත් රක්‍ෂණ ආයතනයකට ලබාදී තිබෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු දේශීය කොන්ත්‍රාත්කරුවකුට ලබාදෙන බවට කැබිනට් පත්‍රිකාවක් අනුමත කළ ඇමැතිවරයා එම මාර්ගයේ උමං මාර්ග ඉදිකර යුතුව ඇති බැවින් කලින් අනුමත කළ කැබිනට් පත්‍රිකාව අවලංගු කර තවත් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ආණ්ඩුවත්, කැබිනට් මණ්ඩලයත් ජනාධිපතිවරයාත්, මේ පාර්ලිමේන්තුවටත් ඉහළින් යන ආර්ථික කළමනාකරණ උප කමිටුවක් ඇති කිරීම තමයි තමුන්නාන්සේලා කරපු තවත් වැදගත්ම කාර්ය.

මේ කමිටුව තමයි කොන්ත්‍රාත් ලබා දෙන්නේ. දැන් තමුන්නාන්සේලා ජපානයෙන් සමාගම් තුනක්, ජපන් තානාපති කාර්යාලය හරහා කැඳවා ගත්තා.
ජපන් රාජ්‍ය ආයතනවලින් ආයතන කැඳවා නොගෙන පාලම් හදන සමාගමක්, නැව් හදන සමාගමක් හා ටයිසේ නම් ඉදිකිරීම් සමාගමක් කැඳවා ගත්තා.'
මේ ව්‍යාපෘතිය කෝටි විසිපන් දහසක් වියදම් කෙරෙන ව්‍යාපෘතියක්. එහෙම ව්‍යාපෘතියක් සඳහා තමයි ලංසු ඉදිරිපත් කිරීමේ කාලය තවත් සතියකින් දීර්ඝ කරන ලෙස අගමැති ලේකම්වරයා දැනුම් දෙන්නේ."

මට කාගෙවත් සල්ලි ඕන නැහැ: අපේ පරම්පරාවලට සල්ලි තියෙනවා: අදත් මිලියන 400ක් බැංකුවල තියෙනවා

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත් ලබාදීමේදී කිසිදු දූෂණයක් සිදුවී නැතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල පැවැසීය.
වර්තමාන රජය බලයට පත්වී ගතවූ වසර දෙකහමාරක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා විශේෂ කැපවීමකින් හා අවධානයකින් යුතුව කටයුතු කර තිබෙනවා.
චීන රජයට අයත් මාර්ග සංවර්ධන සමාගමකට ලබාදුන් කොන්ත්‍රාත්තුව අනුව ඔවුන් ප්‍රතිපාදන ඉක්මවා ඩොලර් මිලියන 11ක පමණ කටයුතු කර තිබුණා. මාගේ අමාත්‍යාංශය යටතේ මේ පිළිබඳ පරීක්‍ෂා කර බැලීමේදී අදාළ සමාගමට ගෙවීමට මුදල් නොමැති බව පෙනී ගියා. ඒ හේතුවෙන් වර්තමානයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව දේශීය බැංකුවකින් ණය මුදලක් ලබා ගනිමින් එසේ අතිරේකව දරා තිබූ මුදල ගෙවා දැමීමට අපි කටයුතු කරමින් සිටිනවා.
වර්තමාන රජය බලයට පත්වූ පසු අනාරාධිත ලංසු මතවූ නව සංවර්ධන ක්‍රියාවලි ආරම්භ කිරීම නවතනු ලැබුවා. පසුගිය රජය සමයේ බැඳීම් ඇති කරගෙන තිබූ ඇතැම් ව්‍යාපෘති එසේ අවලංගු කිරීමට පැවැති නෛතිකමය බාධා හේතුවෙන් සංශෝධන සහිතව ඉටු කිරීමට සිදුවුණා.'
වර්තමානයේ සියලුම මාර්ග සංවර්ධන කටයුතු තරගකාරී මිල ගණන් කැඳවා දේශීය හෝ විදේශීය කොන්ත්‍රාත්කරුවන් හරහා සිදු කරනු ලබනවා.
පසුගිය රජය කාලයේ ඉන්ජිනේරු ඇස්තමේන්තු සමඟ සසඳන විට කොන්ත්‍රාත් පිරිනැමූ මිල ගණන් බොහෝ අවස්ථාවල සියයට විස්සකට වැඩි අගයක් ගෙන තිබුණා. සමහර අවස්ථාවල මෙම අගය සියයට සියයකට වැඩි මට්ටමක පැවතුණා.'

ඉහළ වටිනාකමකින් යුතු මිලදී ගැනීම් ක්‍රියාවලීන්ට අමාත්‍යාංශය සම්බන්ධ වන නිසා මිලදී ගැනීම් ක්‍රියාවලිය ඉහළ ප්‍රමිතියකින්, පාරදෘශ්‍ය භාවයකින් හා සාධාරණත්වයකින් යුතුව ඉටු කිරීමට ක්‍රියාකරන බව සඳහන් කරනවා.

කොට්ටාව - මාතර මාර්ගයේ ජලය බසින එක තැනක් නැහැ. හැදුවේ පොකුණක්. අපි එහෙම කරන්නේ නෑ. බිලියන 15ක් අපි වන්දි ගෙව්වා. මේ පාරට සහයෝගය දෙන්න.'
මට කාගෙවත් සල්ලි ඕන නැහැ. අපේ පරම්පරාවලට සල්ලි තියෙනවා. අදත් මිලියන 400ක් බැංකුවල තියෙනවා. අපි තුත්තිරිගස් අල්ලගෙන ආපු අය නෙවේ. අපේ මුතුන්මිත්තන්ට අක්කර තිස් දහසක් තියෙනවා.

පාරවල් හදන්නේ රත්රන්වලින් දැයි එදා ඇහුවා:
දියමන්තිවලින් හදනවාදැයි අද අහන්න වෙලා

'ටෙන්ඩර්වලින් තොරව තමන්ගේ හිතවතුන්ට කොන්ත්‍රාත් දෙන්න ලිපි නිකුත් කරලා තියෙනවා. මම එවැනි ලිපියක් සභාගත කරනවා.'
ලක්ෂ්මන් කිරිඇල්ල
ඒ චෝදනාව මම පිළිගන්නේ නැහැ. ප්‍රතික්ෂේප කරනවා. මම කාටවත් ලියුම් දීලා නැහැ.

මහින්දානන්ද අලුත්ගමගේ
'මහින්ද රාජපක්ෂ මහතා පාරවල් හදද්දී ඇහුවා ඒවා රත්තරන්වලින්ද හදන්නේ කියලා. ඒක එහෙම නම් මම අහන්නේ දැන් හදන්නේ දියමන්තිවලින්ද කියලා. ජපානයේ තයිපේ සමාගමට ටෙන්ඩරය දීම ගැන ප්‍රශ්න තියෙනවා. මේ නිසා මෙම ව්‍යාපෘතිය අති දූෂිත ක්‍රියාවලියක් කියලා කියන්න ඕන. මහින්ද රාජපක්ෂ මහතා හිටියා නම් මේ පාර 2019දී හදල ඉවර කරනවා.'

මහාමාර්ග ඇමැතිට ආණ්ඩුවේ
වැටුප් ලබන උපදේශකයන් 63ක් ඉන්නවා

'අපි පාරවල් හැදීමට විරුද්ධ නැහැ. අපි විරුද්ධ පාරවල් නමින් මුදල් කොල්ලකනවාට' යැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා (එජනිස) පැවැසීය. 'මහාමාර්ග ඇමැතිවරයාට උපදේශකයන් 63 දෙනෙක් ඉන්නවා. ආණ්ඩුවේ සල්ලිවලින් ඒ සියලු දෙනාටම පඩි ගෙවනවා. සියයට පහ ගාණෙ කොමිස් ගන්න ඇමැතිතුමාගේ කාර්යාලයේ ඉන්න කිරිඇල්ල කවුද? ඒ කවුද කියලා මේ සභාවට හෙළි කරන්න.'

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්