මුදලාලි කඩේ වහමුද?

  👤  3110 readers have read this article !
2017-10-20

මාළු කඩයක් දැමූ වෙළෙන්දෙක් ගාවට ආව හිතවතුන් කිහිප දෙනකු කීවේ, 'ඇයි මේ මෙච්චර හොඳ මාළු විකුණද්දී පොඩි බෝඩ් ලෑල්ලක් දාන්නේ නැත්තේ?' කියාය.
හිතවතුන්ගේ ඉල්ලීමට ඇහුම්කන් දුන්න වෙළෙන්දා අලුත් බෝඩ් එකක් දැම්මේය. එහි තිබුණේ මෙවැන්නකි.
'මෙහි අලුත් මාළු විකිණීමට තිබේ.'

දවසක් එක්තරා පණ්ඩිතයෙක් ඇවිත් බෝඩ් එක දිහා බලා මෙහෙම කීවේය.
'මෙහි අලුත් මාළු විකිණීමට තිබේ කියලා' කියන්න ඕන නෑ. තියෙන්නේ මෙහෙ බව මිනිස්සු දන්නවනේ. ඒ හින්දා 'මෙහි' කියන කෑල්ල මකන්න.'
පණ්ඩිතයා කී පරිදිම වෙළෙන්දා 'මෙහි' වචනය කපා දැම්මේය. දැන් ඉතිරි 'අලුත් මාළු විකිණීමට තිබේ' කියලාය. ඊට පසුදා තවත් පණ්ඩිතයෙක් ආවේය.
'ඔහේ කොහොමත් පරණ මාළු විකුණන්නේ නෑනේ. ඉතින් 'අලුත්' කෑල්ල කපලා දාන්න.'
වෙළෙන්දා ඒ වචනෙත් කපා දැම්මේය.

දැන් ඉතිරි 'මාළු විකිණීමට තිබේ' යන්නය.
පසුදා තවත් පණ්ඩිතයෙක් බෝඩ් එකේ වරදක් දැක්කේය.
'මෙතන ඉතින් විකුණන්නේ මාළු විතරයිනේ. ඉතින් 'විකිණීමට තිබේ' කියලා තිබ්බම ඇතිනේ.'
එය ඇසූ වෙළෙන්¼දා 'මාළු' වචනය මකා දැම්මේය. දැන් ඉතිරි 'විකිණීමට තිබේ' විතරය.
ඊට පසුදා ආව තවත් පණ්ඩිතයෙක් මෙහෙම කීවේය.
'ඔහේ කොහොමත් නිකන් දෙන්නේ නෑනේ. ඉතින් 'විකිණීමට' කියලා ලියන්න ඕන නෑ.'
වෙළෙන්දා 'විකිණීමට' වචනය මකා 'තිබේ' වචනය ඉතිරි කළේය.
ඊට පසුදා ආව අති පණ්ඩිතයෙක් මෙහෙම කීවේය.

'තිබේ' කියලා බෝඩ් එකක් ඇයි මේ. තියෙන හින්දනේ කඩේ ඇරලා තියෙන්නේ. මේ විකාර බෝඩ් එක අයින් කරන්න.'
අන්තිම වෙළෙන්දා 'තිබේ' වචනයත් මකා දමා බෝඩ් එක වීසිකොට දැම්මේය. සතියකට විතර පස්සේ වෙළෙන්දා කඩෙත් වසා දැම්මේය.
ආණ්ඩුව ගේන්න යන ව්‍යවස්ථාවට 'බාල්දි' පෙරළන්නේත් මාළු මුදලාලිට කඩේ වහන්න 'පාර' හදපු වර්ගයේ කිහිප දෙනෙක්ය. නැති බිල්ලෙක් මවා පාමින්, එදාවේල දේශපාලනය උදෙසා 'ගේම්' ගසන මහින්ද පාර්ශ්වය 'තැන තැන' ව්‍යවස්ථා බිල්ලෝ මවන්නේ මෙරට ඉතිහාසයේ උදාවී ඇති ස්වර්ණමය අවස්ථාව 'ආපසු හරවන්නට'ය.
යහපාලන ආණ්ඩුවේ පොරොන්දු ප්‍රකාර ප්‍රමුඛතම කාර්යයක් වූයේ 'විධායක ජනාධිපති ක්‍රමය නැති නව ව්‍යවස්ථාවක්' ගෙන ඒමය. ඒ වෙනුවෙන් ලක්‍ෂ හැට දෙකක් ජනතාව ඡන්දය ලබා දුන්හ. බහුතර ජනතාව අනුමත කළ ආණ්ඩුවක් ගෙන එන්නට යන ව්‍යවස්ථාව 'එපා' කියන්නේ කොහොමද කියා කියන්නට දන්නේ නැත. මෙම ආණ්ඩුව බලයට පත්වීමට බලපෑ එක ප්‍රධාන කරුණක් වූයේ විධායක ජනාධිපති ධූරය නැති නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ පොරොන්දුවය. ඒ අනුව පාර්ලිමේන්තුව මඟින් ව්‍යවස්ථා මණ්ඩලයක් පත්කර අනු කමිටු වශයෙන් බෙදී ප්‍රධාන කාරණා සම්බන්ධ දීර්ඝ වශයෙන් කරුණු හදාරා ව්‍යවස්ථාවකට යෝජිත කරුණු ඉදිරිපත් කර තිබේ. මෙයට අමතරව ලාල් විජේනායක කමිටුව මඟින් නව ව්‍යවස්ථාවක් සඳහා දීර්ඝ වශයෙන් මහජනතාවගෙන් කරුණු විමසා වාර්තාවක්ද ඉදිරිපත් කරන ලදී. නව ව්‍යවස්ථාවක් සඳහා වන පාර්ලිමේන්තු අනු කමිටුවලට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුද සහභාගි වූහ. සමහර කමිටුවල සභාපතිත්වය දරන ලද්දේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් විසිනි.
'නව ව්‍යවස්ථාවක් එපා...'
අස්ගිරි - මල්වතු මහනාහිමිවරුන් මෙහෙම ප්‍රකාශයක් කළ බව හැඟවෙන පරිදි මාධ්‍ය රැසකම ප්‍රමුඛ පුවත් පළකර තිබිණි. හැබැයි 'මල්වතු' නාහිමි මේ වන විට ලංකාවේවත් නැත. උන්වහන්සේ විදෙස් රටක වැඩම කරලාය. එහෙම තිබියදී අර වගේ ප්‍රකාශයක් කළේ කෙසේද කියා දන්නේ නැත. එක්කෝ උන්වහන්සේට හොරෙන් කවුරුන් හෝ උන්වහන්සේ වෙනුවට ප්‍රකාශ දීලාය. නැත්නම් උන්වහන්සේවත් නොදැන වෙනකෙක් එහෙම කියලාය. කොහොම වෙතත්, මල්වතු නාහිමියන් කළ බව හැඟවෙන පරිදි ඇතැම් මාධ්‍ය පලකර ඇති අස්ගිරි - මල්වතු කාරක සංඝ සභා නිකුත් කළ නිවේදනය සෙවීම කළ යුතුම දෙයකි.

1972 සහ 1978 ව්‍යවස්ථාවන් සම්පාදනය කරන ලද්දේ ජනතා අදහස් විමසීමෙන් පසුව නොවේ. එමෙන්ම එම ව්‍යවස්ථාවන් එවකට බලයේ සිටි පක්‍ෂයේ අදහස් අනුව සකස් වුණ ව්‍යවස්ථාය. එවකට බලයේ සිටි පක්‍ෂවලට පාර්ලිමේන්තුවේ 2/3කට අධික බලයක් තිබූ බැවින් එලෙස කටයුතු කළ හැකිවිය. ඉදිරිපත් කර ඇති යෝජනා සියලුම පක්‍ෂවල සහභාගිත්වයෙන් ඉදිරිපත් කර ඇති අතර එකඟ විය නොහැකි කරුණුද දක්වා තිබේ.

ජේ.ආර්. 78 අලුත් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගේනකොට ඇන්.ඇම්. හිටියේ අසනීපෙන්ය. ඒත් මේ ව්‍යවස්ථාවේ තියෙන අනතුර ඇන්.ඇම්. හොඳටම දැක්කේය.
'ඔසී මේ මනුස්සයා කරන්න යන දේ කොච්චර භයානකද කියලා දන්නවද? සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ටික අල්ලාගෙන, අසීමිත බලයක් තනි පුද්ගලයකුට පවරා ගන්නට යන්නේ, ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම. ආයිත් පාර්ලිමේන්තුවට, අධිකරණයට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.'

ජේ.ආර්. ගෙනෙන ව්‍යවස්ථාව ගැන ලෙඩ ඇඳේ හිඳිමින් ඇන්.ඇම්. එහෙම කීවේ මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න එක්කය. ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවේ සිටි 'යක්‍ෂයා' මුලින්ම දැනගෙන හිටිය දෙන්නගෙන් එක්කෙනෙක් වන්නේ ඒක හැදූ ජේ.ආර්.ය. අනෙක් කෙනා වන්නේ එහි ආදීනව දැනගෙන හිටිය ඇන්.එම්.ය.
හැබැයි 78 ව්‍යවස්ථාව යක්‍ෂයෙක් බව ජේ.ආර්. කීවේ නැත. හේතුව ඒක හැදුවේ ඔහුගේ ඕනෑකමට හින්දාය. හැබැයි යක්‍ෂයා හඳුනාගත් ඇන්.ඇම්. එහි බියකරු බව රටටම කීවේය. ඒ විතරක් නොවේ 'නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විවේචනාත්මක විග්‍රහයක්' නමැති කෘතිය 1979 ලියා ව්‍යවස්ථා යක්‍ෂයාගේ 'බිහිසුණු' බව ලියා තැබුවේය.
'මට බැරි ගැහැනියෙක් පිරිමියෙක් කොරන්ඩත්, පිරිමියෙක් ගැහැනියෙක් කොරන්ඩත් විතරයි. අනෙක් සේරොම කොරන්ඩ පුළුවන්' කියා ජේ.ආර්. පාක්‍ෂිකයන් හුරේ දමද්දී එහෙම කීවේය.

එම ක්‍රියාවලිය, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මහින්ද රාජපක්‍ෂ කූටප්‍රාප්තියට පත්කර ගත්තේය. ජේ.ආර්. ප්‍රථමයෙන් කළේ, විධායක ජනාධිපති ක්‍රමයේ ඒකාධිපති බලතල තහවුරු කර ගැනීමය. ඊට පස්සේ ඔහු ඔහුට ඕනෑ හැටියට බලය පාවිච්චි කළේය.
හැබැයි කාත් කවුරුවත් එදා ඒ ඒකාධිපති වැඩේට විරුද්ධව පාරට බැස්සේ නැත. නිවේදන නිකුත් කළේද නැත.
78 ව්‍යවස්ථාව තරම් එපා වූ ලියවිල්ලක් මේ රටේ තවත් තිබුණේ නැති තරම්ය. අවුරුදු ගාණක් තිස්සේ හැම මැතිවරණයකදීම එකිනෙකා 'පට්ටා ගැසූ' මාතෘකාව 78 ව්‍යවස්ථාවය. අවුරුදු 17ක එක්සත් ජාතික පක්‍ෂ පාලනය පෙරළා දමා 94 පොදුජන එක්සත් පෙරමුණ බලයට එන්නේ, 'අලුත් ව්‍යවස්ථාවක්' ගෙන එන බව කියමින්ය. 'රටට පිළිලයක් වූ විධායක ජනාධිපති ධුරය අහෝසි කොට නව ව්‍යවස්ථාවක්' ගේන බව පොදු පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය විය. ජනාධිපතිනි චන්ද්‍රිකා කීවේ ජේ. ආර් ගේ බහුභූත ව්‍යවස්ථාව වෙනස් කරන බවය.

එහෙත් චන්ද්‍රිකා යුගයේදී ව්‍යවස්ථාවේ අකුරක්වත් වෙනස් කරන්නට බැරිවිය. පාර්ලිමේන්තුවට ගෙනා ව්‍යවස්ථා කෙටුම්පත විපක්‍ෂය ගිනි තැබුවේය.
ඊට පසුව ඊළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයද ව්‍යවස්ථාව වෙනස් කරන තැනට වෙනස් විය. තමන්ගේ නායකයෙක් ගෙනා ව්‍යවස්ථාව වෙනස් කරන්න ඔවුහුම එකඟ වූහ. ජනාධිපති මහින්ද රාජපක්ෂත් වරින් වර විධායකය අහෝසිකරන නව ව්‍යවස්ථාවක් ගැන පොරොන්දු දුන්නේය.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණයට එන්නේ වෙන කවරදාටත් වඩා 'වෙනස්' පසුබිමකින්ය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඔහු පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉල්ලුවේ 'අමුතු මාදිලියක්' හඳුන්වා දෙමින්ය.

'ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයක්' යනුවෙන් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙයි. ඒ අනුව ඔහු ජනාධිපතිවරණයට එන්නේම එය මුල් කරගෙනය. මිනිස්සු ඡන්දය දෙන්නේද ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයටය. එහි මුලින්ම ඇත්තේද මේ ගැනය.
1. ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයක්
* අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරේ
* කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක්
* මනාප ක්‍රමයේ සංශෝධනයෙන් සෑම මැතිවරණ කොට්ඨාසයකටම මන්ත්‍රිවරයෙක්
* යහ පාලනය අධීක්‍ෂණයට යාන්ත්‍රණයක්
* අධිකරණය, පොලිසිය, මැතිවරණ දෙපාර්තමේන්තුව, විගණකාධිපති දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සඳහා ස්වාධීන කොමිෂන් සභා

72 පළමු ජනරජය ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේදීත්, 78 ව්‍යවස්ථාව ජේ.ආර්. විසින් සම්මත කර ගැනීමේදීත්, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් 18 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේදීත්, ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාදාමයක් සිදුවුණේ නැත. එහෙත් මෙවර ගෙනෙන්නට කටයුතු කරන්නේ ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාදාමයක්ය.
ව්‍යවස්ථාවට මහජන අදහස් දෙන්න කියා කීවම මිනිස්සු ඒකට අදහස් දුන්හ. ඕන අදහසක් ඉදිරිපත් කරන්නට ඉඩකඩත් එතන තිබ්බේය. නානා ප්‍රකාර අදහස් මිනිස්සු ලබා දුන්හ. දැන් ආණ්ඩුවට වෙලා තියෙන්නේ 'මාළු මුදලාලිට' වෙච්ච අබග්ගයට සමාන අබග්ගයකට මුහුණ දෙන්නටය. ආණ්ඩුව එක්කෝ බෝඩ් එක තියා ගත යුතුය. එක්කෝ බෝඩ් එකත් ගලවා දමා කඩේ වසා දැමිය යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්