ඔස්තාර්ලා

  👤  3359 readers have read this article !
2017-10-19

මතක තියාගන්න ඩඩ්ලිගේ ආණ්ඩුව ගෙදර ගියේ ඩඩ්ලි හින්දා නෙවේ. ජේ. ආර්. හින්දා.. ඔන්න බලන්න මහත්තයෝ මේ ආණ්ඩුව ගෙදර යන්නේ ජනාධිපති හින්දා නෙවේ අගමැති හින්දා'

යමක් කමක් තේරෙන, රටේ ලෝකේ දේවල් ගැන අවදියෙන් ඉන්න තලතුනා පුරවැසියෙක් එහෙම කීවේය. බලාගෙන ගියාම කතාව බොරු නොවේය. එදා ආණ්ඩුවේ ප්‍රධානියා ඩඩ්ලිය. ජේ.ආර්. දෙවැනියාය. මෙදා ආණ්ඩුවේ ප්‍රධානියා මෛත්‍රිය. දෙවැනියා රනිල්ය. එදා ආණ්ඩුව ගෙදර යවන වැඩේ ජේ.ආර්. කළේය. මෙදා රනිල් කරමින් ඉන්නේය. එදා ජේ.ආර්. ලෝක බැංකුවේ පදේට නටා ආණ්ඩුව කැඩුවේය. මෙදා ඔහුගේ පක්ෂය බැංකුවක්ම කැඩුවේය.

1977 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝදලා දාපු ජේ.ආර්. එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක බලයකින් ඔසවා තැබුවේය. ධර්මිෂ්ඨ රටක් හදනවාය කියා ටික දවසකින් විධායක ජනාධිපති ධුරය හඳුන්වා දුන්නේය. එහෙම කරපු ජේ.ආර්. කීවේ තමන් 'ඔටුනු නොපලන් රජෙක්' කියලාය. මහින්දට රජෙක් කීවේ මිනිස්සුය. ජේ.ආර්. ඔටුනු නොපලන් රජෙක් කියා ගත්තේ තමන්ටමය.

තමන්ට රකින්න පරපුරක් නෑ කියා ඒ දවස්වල ජේ.ආර්. නිතරම කීවේය.
ඔහු එහෙම කියන කොටත් ඔහුගේ ඥාතියා වෙච්ච එඩ්මන් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයෙක්ය. නිකං සාමාජිකයෙක් නොවේ. ජේ.ආර්. ගේ කිට්ටුවන්තම විශ්වාසවන්ත සාමාජිකයෙක්ය. ඒ විතරක් නොවේ. එඩ්මන් වික්‍රමසිංහගේ පුතා වෙච්ච රනිල් වික්‍රමසිංහද ඔය කෘත්‍යාධිකාරියේ වැඩ පුරුදු වෙමින් සිටියේය. ඔහුට කීවේ 'ඔටුන්න හිමි කුමාරයා' කියලාය. තමන්ට රකින්න පරපුරක් නෑ කීව ජේ.ආර්.ගේ ඥාතියා අද පක්ෂයේ නායකයාය. ඒ මදිවට රටේ අගමැතිය. තමන්ට රකින්න පරපුරක් නෑ කීව ජේ.ආර්. අපූරුවට ඇමෙරිකාවයි ලෝක බැංකුවයි නම් රැක්කා කියා ඒ දවස්වල වාමාංශිකයෝ වේදිකාවල කීහ. ඩඩ්ලිගේ ආණ්ඩුවේ මුදල් ඇමැති විදියට ලෝක බැංකු පදේට නටපු නිසාත් හැම විටකම ඇමෙරිකාව වෙනුවෙන් පෙනී සිටිය නිසාත් පනස් ගණන්වල ඉඳලාම ජේ.ආර්.ට 'යැංකි ඩිකී' කියා නමක්ද පටබැන්දේය. තමන්ට රකින්න පරපුරක් නෑ කියන කතාව රනිල්ද වේදිකාවල කීවේය. ඒක ඇත්ත වුණත් සමහරු කියන්නේ 'මාමා වගේම බෑනත් ඇමෙරිකාව නම් අපූරුවට රකිනවා' කියලාය.

ජේ.ආර්.ට කුමක්දෝ 'හිතුවක්කාරකමක්' තිබුණේය. රනිල්ටත් එහෙමය. ජේ.ආර්.ගේ ඇඟේ ලේවලට දිය වෙලා තිබ්බ කොමියුනිස්ට් විරෝධය තමන්ගේ කැබිනට්ටුවේ සාමාජිකයන් හරහා ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ පෑ අවධියේ රතු චීනය හා ලංකාව අතර රබර් සහල් ගිවිසුමට අස්සන් කරන්නට චීනයට ගියේ ආර්.ජී. සේනානායකය 1952 පාර්ලිමේන්තුවේ වාණිජ හා වෙළෙඳ ඇමැති ධුරයට පත් වෙච්ච ආර්.ජී. සේනානායක එක්ක ජේ.ආර්. හිටියේ හිතේ නොහොඳින්ය.

එක අතකින් ජේ.ආර්. කොමියුනිස්ට් විරොධීය. අනෙක් අතින් ඇමෙරිකන් ගැතිය. මේ හින්දාම කැබිනට් මණ්ඩලය රත් වෙන සිද්ධි ඒ දවස්වල ඕන තරම් තිබුණේය. චීන _ ශ්‍රී ලංකා රබර් - සහල් ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට බලපෑ උග්‍ර ආර්ථික අර්බුදයෙන් රට මුදාගැනීම ගැන රට ආර්.ජී. සේනානායකට ප්‍රශංසා කරද්දී ජේ.ආර්. ඔහුට එරෙහිව වැඩ කළේය.
මේ නොසැලකිල්ල දරා ගන්න බැරි වෙච්ච ආර්.ජී. සේනානායක 1954දී ඇමැති පදවියෙන් ඉල්ලා අස්වූයේය.

ඒ වෙනකොට රට තිබුණේ බලවත් ආර්ථික අගාධයකය. ආණ්ඩු විරෝධීන්, ගෝල්ෆේස් වටලලා 'ආණ්ඩුවට ගෙදර යන්න' කීවේය.
ලංකාව ඇමෙරිකන් කරන්න ජේ.ආර්.ට පුදුම වුවමනාවක් තිබුණේය. ඒ වෙනුවෙන් ඔහු උපරිම වෙහෙසක් ගත්තේය. හැබැයි ජේ.ආර්.ට ඇමෙරිකන් ජානාධිපතිවරයෙක් මුණගැහෙන්නවත් බැරි වුණේය. රනිල්, මෛත්‍රි දෙන්නා ජේ.ආර්.ට බැරි වෙච්ච දේ කළත්, රටක් විදිහට ලැබිච්ච දෙයක් නම් පේන්නට නැත. එහෙම බැලුවම ඇමෙරිකාවට වඩා බංග්ලාදේශය අපිට උදවු කරලාය.
දවසින් දවස ආණ්ඩුව 'ඇන ගන්නකොට' හිනා වෙන්නේ විපක්ෂය ය. මිනිස්සුය. ආණ්ඩුවේ තෙවසරක ශේෂ පත්‍රය උරුම කොට තිබෙන්නේ 'හරිගස්සා ගැනීම්' වෙනුවට 'වරද්දා ගැනීම්'ය.

'ආර්ථික ඔස්තාර්ලා මොනවද කරලා තියෙන්නේ. ප්ලාස්ටික් බත් කාලා, ඉන්න තමයි වෙන්නේ'
මිනිස්සු එහෙම කියන්නේ උපහාසෙන් වගේම, කෝපයෙන්ය. දේශීය ගොවිතැන සුරක්ෂා කරන බව කියා බලයට ආ ආණ්ඩුව මිනිස්සුන්ට ප්ලාස්ටික් හාල් කවන්නේ පිට රටින් ගෙන්වලාය කියා කියන තැනට රට පත්වෙලාය.

යුද්දෙ ඉවර කරපු එක ජාතික අපරාධයක් වගේ හැසිරෙන සමහරු බි්‍රතාන්‍යයට ත්‍රස්ත ප්‍රහාර එල්ල වෙනකොට කලබල වෙන්නේය. එහෙට ගහන්නේ ත්‍රස්තවාදීන්ය. මෙහේ ගැහුවේ විමුක්තිකාමීන්ය. මැතිවරණය ආසන්නව සුප්‍රසිද්ධ ලන්ඩන් බි්‍රජ් අසල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය මෑතකදී එක පිට සිදුවූ තෙවැනි ප්‍රහාරය ය. දැන් බි්‍රතාන්‍ය භීතියෙන්ය.
බි්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් 'චෝගම්' එකට ලංකාවට ඇවිත් 'තග' දාලා වගේ කීවේ යුද්ධය ඉවර කරපු එක වැරැදියි කියලාය. ඒ මදිවට ඔහු ලංකාවට එරෙහිව මානව හිමිකම් ප්‍රශ්න එම කවුන්සිලයට ගෙනියන්නත් උදවු කළේය. ඡන්ද විමසීම්වලදී ලංකාව පරාජය කරන්නත් කටයුතු කළේය. 2009 අප්‍රේල් මාසයේ හමුදාව ත්‍රස්තවාදය පරාජය කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී කොටි බේරා ගැනීම සඳහා සටන් විරාමයක් ලබා දෙන්න කියා බල කරන්න ලංකාවට විදේශ ඇමැතිවරු දෙදෙනකු ආහ. එහෙම ආව ඩේවිඩ් මිලිබෑන්ඩ් එක්සත් රාජධානියේ විදේශ ඇමැතිය. බර්නාඩ් කෘෂ්ණ ප්‍රංශයේ විදේශ ඇමැතිය.
හැබැයි පසුගියදා තමන්ගේ රටවල බෝම්බ පිපිරෙනකොට ඒ අය කම්පා වෙලාය.

බි්‍රතාන්‍යය දැන් නොකියා කියන්නේ 'අපේ ඉවසීම හොඳටම ඇති මීට වඩා ඉවසිය නොහැකි' කියාය. බි්‍රතාන්‍යයේ ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න අවශ්‍ය නම් දැනට බි්‍රතාන්‍යයේ තිබෙන මානව හිමිකම් නීති උල්ලංඝනය කිරීමට සූදානම් බවත් ඒ සඳහා අවශ්‍යනම් දැනට තිබෙන නීති සංශෝධනය කිරීමට සූදානම් බවත් එරට රජය කියන්නේය. 2011.09.11 වනතුරු ඇමෙරිකාව කීවෙත් එහෙමය. හැබැයි ත්‍රස්තවාදියා පෙන්ටගනය සුන් කරනකොට ඇමෙරිකාවට ඇහැරුණේය. ඉන්දියාව උතුරට ගුවනින් ආහාර දමා 'රාජ්‍ය තාන්ත්‍රික' තක්කඩිකමක් කළේය. ඉන්දු ලංකා ගිවිසුම හදා ප්‍රභාකරන්ට උදවු කළේය. හැබැයි ත්‍රස්තවාදීන් රජීව් ගාන්ධිව සාහසික ලෙස ඝාතනය කළේය. ඉන්දියාව යුද්දෙට අත නොදැම්මේ ඊට පස්සේය.

'ප්‍රශ්නය තමන්ගේ වනතුරු පිළිතුරු දාර්ශනික වේ' කියන කතාව හරියටම හරිය.
රටේ පැත්ත නොව රටින් පිට පැත්ත ගත්ත හැමදාම රටට වෙන්නේ විනාසය ය. ජේ. ආර්.ලාගේ ඉතිහාසයත්, වික්‍රමසිංහලාගේ වර්තමානයත් කියාපාන්නේ ඒකය.
අද මේ ආණ්ඩුවේ වැඩ කරන්නේ ආණ්ඩුව මායිම් නොකරන මිනිස්සුය. කළුතර එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ව රැකගෙන හිටිය පාලිත තෙවරප්පෙරුම මේ දවස්වල සුපිරි තරුවක් තරම් ජනප්‍රිය ය. ආපදා දිනවල ඔහු නොසෑහෙන්න වැඩ කළේය. එහෙත් ඔහු කලක සිටම ආණ්ඩුව එක්ක ඉන්නේ රණ්ඩුවෙන්ය. වැඩ කරන්න අපිට ඉඩ දෙන්නේ නෑ කියලා ඔහු නිතරම කීවේය. 'යහපාලන ආණ්ඩුව මෙලෝ රහක් නැති බව' කියන්නේ ඔහුය.

'විකිණීමෙන් තොර පැවැත්මක් නැති බවත් තියෙන සේරම විකුණාගෙන යෑම මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය' කියා නොකියන කෙනෙක් නැත.
ආණ්ඩුවට චෝදනා බොහෝය. ඒවා බොරු කියන්නටවත් ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැති ගානය. මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට විකුණා දැමීම, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පැවරීම, වරාය චීනයට දීම, මොනරාගල අක්කර දසදහස් ගාණක් පිටරටට පැවරීම වැනි බෝහෝ දේ ගැන විපක්ෂය නඟන තාර්කික චෝදනාවලට ආණ්ඩුව 'නෝ කමෙන්ට්ස්' ගානය.

ලෝකයේ හැම රටක්ම තමන්ගේ ජාතිකත්වයෙන් නැඟී සිටින්න සහ න්‍යාය පත්‍ර හදන්න වෑයම් කරද්දීත්, ඒ වෑයමේ ඵල නෙළද්දීත් ශ්‍රී ලංකාව තාමත් ඇමෙරිකන් 'සිස්ටම්' හොයමින්ය.

56 ආණ්ඩුව හදන්න බණ්ඩාරනායකට උදවු කරන කිහිපදෙනා අතරේ එදා ජේ.ආර්.ට විරුද්ධව තනතුරු අත්හැරිය ආර්.ජී. සේනානායකද සිටියේය. ඔහු එදා ජේ.ආර්.ට පාඩම් ඉගැන්නුවේ බණ්ඩාරනායකගේ ආශීර්වාදයෙන් කැලණියට තරග කරලාය. කැලණි ආසනය වැඩි ඡන්ද 22,836කින් ජයග්‍රහණය කරවලා ජේ.ආර්. ගෙදර යවලා ආර්.ජී. සේනානායක දියවන්නාවට ගේන්න තරම් එදා මිනිස්සුන්ට ජේ.ආර්. එපා වෙලා සිටියහ. ඒ මදිවට ඔහුගේ පුරුදු ආසනය වෙච්ච දඹදෙණිය අසුන වැඩි ඡන්ද 24,907කින්ම දිනුවේය. ආසන දෙකක් නියෝජනය කරලා ඒ ආසන දෙකම දිනපු ආර්.ජී. සේනානායක හැර වෙන ජගතෙක් කවදාවත් හිටියේ නැත. මිනිස්සු පාඩම් උගන්වන්නේ එහෙමය. කෘතගුණ සලකන්නේත් එහෙමය. එනිසා මේ ආණ්ඩුවට එරෙහිව ගල් ලෙන බිඳින කෙනා කවුද කියා දැන්ම කියන්න බැරිය. හැබැයි ඔහු ආර්.ජී. සේනානායක වගේ කෙනෙක් නොවෙන්නත් බැරි නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්