කතිරය සහ මොනරු

  👤  2581 readers have read this article !
2017-10-19

නව ඡන්ද ක්‍රමයක් ඡන්ද දායකයන්ට ලැබී තිබේ 1981 ප්‍රථමවරට පැවැති සංවර්ධන සභා ඡන්දයේදී මුල් වරට ක්‍රියාත්මක වූ 'සමානුපාතික' ඡන්ද ක්‍රමය හා 1988 ප්‍රථමවරට පැවැති පළාත් සභා ඡන්දයේදී මුල් වරට ක්‍රියාත්මක වූ 'මනාප' ක්‍රමය ඒ අනුව අහෝසි වී ඇත.

40 දශකයේ සිට මෙරට පැවැති කේවල ඡන්ද ක්‍රමය හා 80 දශකයේ ඇරැඹි සමානුපාතික ඡන්ද ක්‍රමය එකතු කර සකස් කර ඇති මිශ්‍ර ඡන්ද ක්‍රමය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී බව බැලූ බැල්මට පෙනේ. ප්‍රංශය වැනි දියුණු බටහිර රටවල ක්‍රියාත්මක මේ මිශ්‍ර ක්‍රමය තුළින් ඡන්ද දායකයන්ගේ කැමැත්ත වඩාත් හොඳින් පිළිබිඹු වේ. කුඩා පක්ෂ හා වාර්ගික කණ්ඩායම්වලටද මින් සාධාරණය ඉටුකළ හැකිය.

කේවල ක්‍රමයේදී මෙන්ම සමානුපාතික ක්‍රමයේදී නියෝජනයේ ගැටලු මතුවීම නිසා මිශ්‍ර ක්‍රමයක් හඳුන්වාදීම ප්‍රගතිශීලී පියවරක් බව නොකිවමනාය. එහෙත් 'මනාප' ක්‍රමය හෙවත් 'මනාප බලු පොරය' අවසන් වූ පමණින් ඡන්දය සුපිරිසුදු වන්නේ නැත. ඊට හේතුව මෙරට ක්‍රියාකාරී දේශපාලනය අවස්ථාවාදීන්ගෙන් හා බඩ වඩා ගන්නන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබීමය.

'මනාප' ක්‍රමය 'බලු පොරයක්' වූයේ අන් කිසිවක් නිසා නොව පක්ෂ ප්‍රතිපත්ති වෙනුවට පෞද්ගලික න්‍යායපත්‍ර දිනවීමට යෑම නිසාය. සමානුපාතික රටාව යටතේ මනාපය ලබා ගැනීමට මැතිවරණ දිස්ත්‍රික්කය පුරා දුව පැන ඇවිදීමට අපේක්ෂකයන්ට සිදුවිය. එහි ප්‍රතිඵලය වූයේ අතමිට නැති අපේක්ෂකයන් හැලී ගොස් අතමිට සරු අපේක්ෂකයන් පෙරට පැමිණීමය. අවසානයේ සිදුවූයේ සල්ලිකාරයන් මන්ත්‍රිවරුන් වීමය. නොඑසේනම් සල්ලිකාරයන්ගේ අතකොළු මන්ත්‍රිවරුන් වීමය. බොහෝ දෙනා මීට විසඳුම ලෙස යෝජනා කළේ ආසනයට මන්ත්‍රිවරයකු තෝරන සරල කේවල ක්‍රමය යි. ආසනයේ මන්ත්‍රිවරයා සෘජුව ඡන්ද දායකයන්ට වගකියන කේවල ක්‍රමය නිරවුල් බව ඔවුන්ගේ මතය විය. එහි සත්‍යතාවක් ඇත.

කාරණය අනෙකකි.
කොටන කුකුළට කොතැනත් එකයි න්‍යායයට අනුව මේ කුමන ක්‍රමය ගෙනාවත් සල්ලි වපුරා මන්ත්‍රිවරයකු වීමේ ජරාජීර්ණ ක්‍රමය අත්හදා බලා ඇති දේශපාලන නරුමයන් පෙරට ඒම වැළැක්විය නොහැකිය. සමානුපාතික ක්‍රමය යටතේ 'මනාප' හිඟා කමින් දිස්ත්‍රික්කය පුරා කරක් ගැසීම වෙනුවට ඊට වඩා බොහෝ කුඩා ආසනය වටා කරක් ගසමින් සල්ලි වපුරා ඡන්ද බහුතරයක් දිනා ගැනීමට ඔවුන් නොපැකිළෙනු ඇත. ප්‍රාදේශීය සභාවක හෝ නගර සභාවක කුඩා ආසනයක් දිනාගැනීමට මුදල් බලය යොදා ගත හැකිය. 'මුදල' අධිනිශ්චය වී ඇති සමාජයක සල්ලිවලට සිය ඡන්ද අයිතිය වුවද පාවා දෙන්නන් නොසිටී යැයි සිතිය නොහැකිය. ඒ සම්බන්ධ අතීත අත්දැකීම් ඕනෑ තරම්ය.
80 දශකයේ මුල නව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදීමට ප්‍රථම මෙරට පැවැති මැතිවරණ නීති, මිශ්‍ර ක්‍රමය යටතේ යළි ක්‍රියාත්මක කළ යුත්තේය. නොඑසේනම් මේ මිශ්‍ර ක්‍රමය යටතේද සැබෑ දේශපාලන ක්‍රියාකාරීන්ට ඉඩක් නොලැබීමට ඉඩ ඇති නිසාය. ඡන්දයකට එක් අපේක්ෂකයකු වියදම් කරන මුදල් ප්‍රමාණය සම්බන්ධ නීති එකල අකුරට ක්‍රියාත්මක වී ඇත. ඇතැම් ජයග්‍රාහී මන්ත්‍රිවරුන්ට ඡන්ද පෙත්සම්වලින් සිය ධුරය අහිමිවීමට බලපෑ ප්‍රධාන හේතුවක් වී තිබුණේ ඡන්දයට වැය කළ මුදල් සම්බන්ධව මතුවූ ගැටලුය. එනම්, අය වැය පිළිබඳ ප්‍රශ්නය ය.

ජනාධිපතිවරයාගේ අස්සනින් ඉකුත් 17 වැනිදා අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඒකමතිකව සම්මත වූ මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන සැලසීමේ නීති සම්පාදන කැබිනට් පත්‍රිකාව මේ ප්‍රශ්නයට අගනා පිළිතුරක් සපයන්නකි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම අදාළ කැබිනට් පත්‍රිකාවේ මූලික අරමුණ වන බව පැවැසේ. ඕනෑම ඡන්දයකදී මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා නව නීති මෙහිදී සකස් කෙරෙනු ඇත.

ඡන්ද විමසීමකදී යම් පක්ෂයක්, යම් අපේක්ෂකයකු හෝ කණ්ඩායමක් ඡන්ද දායකයන්ගේ කැමැත්ත ලබාගැනීමට කිසිදු පාලනයකින් තොරව අධික ලෙස මුදල් වැය කිරීමෙන් ඔවුන්ගේ ස්වාධීන හා නිදහස් කැමැත්තට බාධා එල්ලවන බව අත්දුටු සත්‍යයකි. නව නීති හඳුන්වාදී ස්වාධීන මැතිවරණ කොමිසමට තවත් බලතල ලබාදෙමින් ඉන්දියාව ආදර්ශයට ගනිමින් කටයුතු කර ඒ ප්‍රශ්නය ලත් තැනම ලොප් කළ යුතුය.

පළාත් පාලන ඡන්දයේ සිට මහ මැතිවරණය දක්වා සියලු ඡන්ද මිශ්‍ර ක්‍රමයට පැවැත්වීම තරමටම මැතිවරණ වියදම් පාලනය කිරීමද අත්‍යවශ්‍යය. ඊට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ අවධානය යොමුවීම ප්‍රශංසා කටයුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්