අඟුණුකොළපැලැස්සේ සුපිරි සිපිරි ගෙදර

  👤  2829 readers have read this article !
2017-10-18

පාසලක් විවෘත කිරීම බන්ධනාගාර සියයක් වසා දැමීමට සමාන යැයි කියමනක් ඇත. 'අධ්‍යාපනය' තුළින් නැණවත් මෙන්ම ගුණවත් මිනිසකු නිර්මාණය කෙරෙන්නේය යන්න එහි අර්ථය වේ.

එහෙත් ලෝකයේ කවදත් කොතැනත් බන්ධනාගාරවලින් අඩුවක් තිබුණේ නැත. පාසල් වැසී ගිය අවස්ථා ඕනෑ තරම් තිබුණද බන්ධනාගාර වැසී ගියේ ඊට සාපේක්ෂව අඩුවෙන්ය. ලංකාවේ කියා වෙනසක් නැත. බන්ධනාගාර විවෘත වූවා මිස වසා දැමුණේ නැත.
අලුත්ම බන්ධනාගාරයක් ඉකුත් 16 වැනිදා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ඩී.එම්. ස්වාමිනාදන් අතින් විවෘත කෙරිණි. බන්ධනාගාරය විවෘත කිරීමට මේ වසර මුලදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ආරාධනා කෙරුණද එතුමා ප්‍රසිද්ධියේම එය ප්‍රතික්ෂේප කළේය. පාසල් විවෘත කර බන්ධනාගාර වසා දැමිය යුතු තත්ත්වයක් රට තුළ ඇති කළ යුතු බව ජනාධිපතිවරයාගේ මතය වී ඇත.

ඇත්ත වශයෙන්ම රටක විය යුත්තේද එයය. එහෙත් අපරාධ, දූෂණ, වංචා පිරුණු රටක බන්ධනාගාර වසා දැමීම යථාර්ථයක් වන්නේ නැත. ප්‍රධාන බන්ධනාගාර වන වැලිකඩ, බෝගම්බර ඇතුළු දිවයිනේ පිහිටුවා ඇති බන්ධනාගාර අද සිරකරුවන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබේ. හම්බන්තොට අඟුණුකොළපැලැස්සේදී විවෘත කෙරුණු නවීන පහසුකම්වලින් සමන්විත නව බන්ධනාගාරයට තංගල්ල බන්ධනාගාරයේ සිටින සිරකරුවන් මාරු කිරීමට තීරණය කර තිබේ. අනතුරුව තංගල්ල බන්ධනාගාරය වසා දැමෙනු ඇත. වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක්ද මේ නව බන්ධනාගාරයට මාරු කර යැවීමට නියමිත බව පැවැසේ.

රාජපක්ෂ ආණ්ඩු සමයේ ඉදිකිරීම් කටයුතු ඇරැඹුණු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට රුපියල් මිලියන 4,996ක් වියදම් කර ඇත. අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව සිරකරුවන්ට සැපයිය යුතු සියලු පහසුකම්වලින් මේ බන්ධනාගාරය සමන්විතය. අක්කර 65ක් පුරා විහිදී තිබෙන බන්ධනාගාර සංකීර්ණයේ රැඳවූවන් 1,500කට ඉඩ පහසුකම් ඇත. රෝහලක්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්, අවන්හලක්, භෝජනාගාරයක්, අමුත්තන්ගේ කාමර හා දේශන ශාලාද මීට ඇතුළත්ය. විශේෂත්වය වන්නේ මීටර් 400ක ධාවන පථයක් සහිත නවීන ක්‍රීඩාපිටියක්, ගෘහස්ථ ක්‍රීඩාගාරයක් හා පිහිනුම් තටාකයක්ද බන්ධනාගාරයට ලබාදී තිබීමයි.

සිරකරුවෝද මනුෂ්‍යයෝ වෙති. ඔවුන්ට තිරිසනුන්ට මෙන් සැලැකිය යුතු නැත. මෙවැනි බන්ධනාගාර විවෘත කිරීම සතුටට කරුණක් වන්නේ එනිසාය. නීතිය හමුවේ වැරැදිකරුවකු වූ මනුෂ්‍යයකු සිරගත කළ යුත්තේ ඔහු හෝ ඇය ශෝධනය කිරීමේ අරමුණින්ය. එහෙත් අපේ රටේ බොහෝ බන්ධනාගාරවල ඇත්තේ මනුෂ්‍යයන් අමනුස්සයන් කරන වටපිටාවකි. අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය සැප පහසුකම් සහිතව විවෘත කිරීම විශේෂ කාරණයක් වන්නේ එනිසාය.

සිරකරුවන්ට 'සැප' දිය යුතුද යන්න කුහක ප්‍රශ්නයකි. සැප දිය යුත්තේ ඉහළ පන්තියේ සිරකරුවන්ට පමණක්ද යන ප්‍රශ්නය "නරුම" යැයි කිව හැකිද? බන්ධනාගාර වැසී යන තරමට හොඳය. එහෙත් සිරකරුවන් සිටී නම් අඟුණුකොළපැලැස්ස වැනි බන්ධනාගාර විවෘත කිරීම නරක නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්