කැබිනට් එක කඩිනමින් අංගොඩට !

  👤  4443 readers have read this article !
2017-10-15

"හැමෝම දුවන්නේ වෘත්තයක් වටේය. සමහරු වේගයෙන් දුවන අතර සමහරු හෙමින් දුවති. හැබැයි ඒ කොයි කවුරුත් මොන වෙලාවක හෝ වෘත්තයේදී
මුණගැසෙයි" දේශපාලන වෘත්තයද එසේමය.

දේශපාලන දිනපොතේ පිටු පෙරැළෙන්නේ ඇතැම් විට මුල මැද අග එකවිටම හිතාගන්නට බැරි විදියටය. විටෙක ඒවා ආන්දෝලනාත්මක
වන අතර තවත් විටෙක කුතුහලය, විමතිය, උපහාසය සේම ජුගුප්සාවෙන්ද යුක්තය.

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය පුන පුනා කීවේ නැවත තමන්
ක්‍රියාකාරී දේශපාලනයට නොඑන වගය. කෙසේ වෙතත් මේ වනවිට අෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ලේ සංවිධායිකාව වෙලාය. දින සියයේ ආණ්ඩුව කාලයේ අත්තනගල්ලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක වෙලා හිටියේ අර්ජුනය. ඊට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ නායකයා වෙලා හිටියේ බැසිල්ය. චන්ද්‍රිකාගේ ආගමනය ගම්පහ දේශපාලනයට අලුත් "මාතෘකා" එකතු කරනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය.
ජනපතිකම් කළ ජේ.ආර්. නැවත දේශපාලනයට ආවේ නැත. විජේතුංග ආවෙත් නැත. නමුත් මහින්ද ආවේය. එහි දිගුව චන්ද්‍රිකාය.
ඇය පනින්නට යන ඊළඟ පිම්ම කුමක්ද කියා තවමත් කියන්නට කල් වැඩිය.
චන්ද්‍රිකාට අත්තනගල්ල භාරදෙන ජනාධිපතිවරයා ඔය අතරේ "අපූරු" තෑග්ගක් දුන්නේ කුමාර වෙල්ගමට, පියංකර ජයරත්නට සහ මහින්දානන්ද අලුත්ගමගේටය. ඒ එතෙක් ඔවුන් දැරූ ආසන සංවිධායකකම් ඉවත් කරමින්ය. වෙල්ගම අවුරුදු 30ට වැඩි කලක සිට පක්ෂ සාමාජිකයෙකි. අපූරුම සිදුවීම වන්නේ පියංකර ජයරත්න වෙනුවට ආණමඩුවට පත් කරන්නේ ආනන්ද සරත් කුමාරය. ඔහු "ගුරුවරියක දණ ගැස්සූ" කතාවෙන් ප්‍රකට වූ තැනැත්තාය. මේ අතර තවත් ප්‍රබලයන් කිහිපදෙනකුගේම සංවිධායකකම් ඇත්තේ ගැලවෙන්න ඔන්න මෙන්නය. චමල් රාජපක්ෂ තිස්සමහාරාමයෙන්, විදුර වික්‍රමනායක හොරණින්, රන්ජිත් සොයිසා රක්වානෙන්, අරුන්දික ප්‍රනාන්දු වෙන්නප්පුවෙන් ඉවත් කරන්නට ඉඩ ඇති බව ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් වාර්තා වෙයි.
ඔය අතරේ සුසිල් ප්‍රේම්ජයන්ත් කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට දරදිය ඇදි ආසන සංවිධායකයන් ඉවත් කිරීමට අවශ්‍ය වී ඇත්තේ ඉතා මෑතකදී පක්ෂයට බැඳුණු, පක්ෂයේ ඉතිහාසය නොදන්නා පිරිසකට බවය. සුසිල්ගේ "ටොක්ක" කාට ඇන්න එකක්ද කියා දන්නේ නැත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හමුවේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ නව සංවිධායකවරුන් එන ප්‍රාදේශීය සභා ඡන්දෙට තරග කොට සභාපතිකම් ලබාගෙන පක්ෂය ශක්තිමත් කිරීම පටන් ගත යුතු බවය.
මෙවර කැබිනට් රැස්වීමට ජනපති මෛත්‍රි එක්ව සිටියද අගමැති රනිල් සිටියේ නැත. ඔහු හිටියේ පින්ලන්තයේය.
මුලින්ම කතාබහට ගත්තේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම පිළිබඳ කැබිනට් පත්‍රිකාවය. එය කලක සිට ආන්දෝලනාත්මක පුවත් මැවූ පත්‍රිකාවක් විය.
'පසුගිය ජනාධිපතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය අපි ජයග්‍රහණය කළා. එහිදී අපේ මැතිවරණ පොරොන්දුවක් තමයි මහනුවර දක්වා අධිවේගී මාර්ගයක් ඉදිකිරීම. එම පොරොන්දුව ඉටු කළ යුතුයි.'
කිරිඇල්ල කීවේය. අධිවේගී මාර්ගය ගැන කිරිඇල්ලට බොහෝ දෙනා ඇඟිලි දික් කළේ කලක සිටය.

'හිතූ මනාපෙට මේවා කරන්න බෑ. මේකට චෝදනා තියෙනවා.'
දයාසිරි කැබිනට් රැස්වීම 'රත්' කළේ එහෙම කියමින්ය.
'මොනවද චෝදනා, ඕවා අමූලික බොරු, සමහරු මේක කරනවට ඊර්ෂ්‍යයි.' කිරිඇල්ල කීවේ උපැස් යුගල අතට ගනිමින්ය. අනතුරුව නැවත උපැස් යුගල ලා ගත් කිරිඇල්ල මෙම අධිවේගී මාර්ගයේ ටෙන්ඩර් ක්‍රමය හා ජපාන රජය මැදිහත් වූ ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කරන්නට විය. අමාත්‍ය රවුෆ් හකීම් කතා කළේ කිරිඇල්ලගේ පැත්තටය.
'මේ අධිවේගී මාර්ගය අනිවාර්යයෙන්ම ඉදිකළ යුතුයි. නැතිනම් අපිට ගම්වලට යන්න බැහැ.' හකීම් කීය.
කොළඹ නගරයේ වාහන තදබදය වැඩියි. මේ අධිවේගී මාර්ගයට යන මුදල් කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීමට යොදවන එකයි පලදායක දයාසිරි කීවේය. ඒ ඇසූ කිරිඇල්ලට කේන්ති ගියේය.
'පසුගිය ජනාධිපතිවරණයේදී කුරුණෑගලින් අපි දිනුවේ නැහැනේ. ඒ නිසා ඔයාට නම් ප්‍රශ්නයක් නැහැ.' කිරිඇල්ල කීවේය.

මහින්ද අමරවීර ගත්තේත් දයාසිරිගේ පැත්තය.
'මේ මාර්ගය පිළිබඳව මාධ්‍යවල විවිධ විවේචන එල්ල වෙනවා. ඒ නිසා මේ මුදල් වෙනත් ව්‍යාපෘතියකට යොමු කරන එක හොඳයි.' අමරවීර කීය.
කිරිඇල්ලගේ කෝපය දෙගුණ තෙගුණ විය.
'පසුගිය ජනාධිපතිවරණයේදී අපි හම්බන්තොටත් පරාදයි. නමුත් මහනුවර දිස්ත්‍රික්කය දිනුම්. එම නිසා එම ජනතාවට සහන සැලසිය යුතුයි. කිරිඇල්ල කීවේය.

'අපේ රටේ ඕනෑම හොඳ දෙයක් කරන්න යනකොට විරෝධතා පවත්වනවා. විවිධ හේතු ඉදිරිපත් කරනවා. සංවර්ධනය කඩාකප්පල් කරනවා. වත්මන් කාලය තුළ ආරම්භ කළ සංවර්ධන වැඩසටහන් ඉදිරියට ගෙන යා යුතුයි. එම නිසා මෙම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කළ යුතුයි' කීවේ ඇමැති රාජිතය.
අමාත්‍ය සජිත් ප්‍රේමදාසද කතා කළේ කිරිඇල්ලගේ පැත්තටය.

'මහින්ද රාජපක්ෂ මහතා හොරා කන ගමන් ජනතාවට පේන්න සංවර්ධන ව්‍යාපෘති දියත් කළා. ඒවා ජනතාව දැක්කා. දැන් මිනිස්සු කියන්නේ එම සංවර්ධන ව්‍යාපෘති අපි නතර කරලා කියලා. එම චෝදනාවට වඩා අපි ඇහැට පෙනෙන සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කළ යුතුයි. එම නිසා සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල් කරන්න එපා යැයි පැවැසීය.' ඉන් පසු ජනාධිපතිවරයා විමසා සිටියේ මෙම මාර්ගය ආර්ථික කමිටුවෙන් සම්මත වූයේද යන්නයි. ඊට ආර්ථික කමිටුවෙන් අනුමැතිය හිමි වූ බව මලික් කීය. අවසානයේ ජනාධිපතිවයා ප්‍රකාශ කළේ මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරීම පිළිබඳව සියලු වාර්තා යළි සාකච්ඡා කරන බවත්, එතෙක් මෙම ව්‍යාපෘතිය අනුමත බවත්ය.
සාකච්ඡාව වෙනඅතකට හැරුණේ අංගොඩ ඉදිකරන මහල් නිවාස සංකීර්ණය ගැන කතාබහේදීය. ජනාධිපතිවරයා අපූරු කතාවක් කීවේය.
"ඒක ඉක්මනින් හැදුවොත් හොඳයි"

සියලු දෙනාම කුතුහලයෙන් ජනාධිපතිවරයා දෙස බැලූහ.
"නෑ එතකොට කැබිනට් රැස්වීම එහේ තියන්න පුළුවන්"
ජනාධිපතිගේ කතාවෙන් කැබිනට් මණ්ඩලයම සිනාසුණහ.

ජර්මනියේ හා පින්ලන්තයේ සති 1 1/2ක නිල සංචාරයකට එක්වූ අගමැතිවරයා යළි දිවයිනට පැමිණියේ බ්‍රහස්පතින්දා හිමිදිරියේ 02ටය. මේ අතර ඔහු අරලියගහ මැඳුරට පෙ.ව. 10ට පැමිණියේ සතියේ ආර්ථික කමිටු රැස්වීමටය. ඊට පෙර ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නවසීලන්ත ආයෝජකයකු වන බ්‍රයන් ස්ටෙප්ලර්ස් මෙන්ම සමීප මාධ්‍යවේදීන් දෙදෙනෙක්ද අගමැති හමුවූහ.

"මගේ පියාගේ පරම්පරා හතක් ලංකාවේ හිටපු අයයි. පියා ඉපදුණෙත් ලංකාවේ. මම ඉපදුණේ ඕස්ට්‍රේලියාවේ. දැන් පදිංචිය නවසීලන්තයෙයි. ලංකාවේ බැරක් ඔබාමා ඔබතුමා බව මගේ පියා නිතර කියනවා. ඔබ ගැන පොතපත හා වෙනත් දේ පරිශීලනය කරනවා. ඔබ හමුවීම විශාල සතුටක්" බ්‍රයන් ස්ටෙප්ලර්ස් අගමැතිවරයාට කීය.
"ලංකාවේ ව්‍යාපාර පටන් ගන්න අපි උදවු කරන්නම්. ඔබ ඉදිකරන ත්‍රි'මලේ හෝටලය ගැන නැඟෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම හා සංචාරක මණ්ඩල ප්‍රධානී කාවන් රත්නායක එක්ක කතා කරන්න" අගමැතිවරයා කීය.

අගමැති රනිල් ගැන ලියැවුණු ග්‍රන්ථ දෙකක් රැගෙනවිත් අගමැතිවරයාගේ අස්සන් ලබාගැනීමටද බ්‍රයන් ස්ටෙප්ලර්ස් ක්‍රියා කළේය. අනතුරුව සුබ පැතීමට පැමිණ සිටි මැති ඇමැතිවරු සමඟද අගමැතිවරයා පිළිසඳරක යෙදිණි.

"පින්ලන්ත සංචාරය ලංකාවට ඉතා වාසි බව පෙනුණා" සහානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
කැබිනට් මණ්ඩලයේදී නුවර අධිවේගී මාර්ගයට දයාසිරි ඇද්ද "කොක්ක" ගැන කතාව රනිල්ට මතක් කළේ කිරිඇල්ලය.
"නුවර අධිවේගය ජනාධිපතිවරණයේදී අපි දීපු පොරොන්දුවක්. ඒක නවත්තන්න බෑ. ජපානය, චීනය, ඉන්දියාව මුදල් දෙන්නේ ඔය පාරටයි. පාර නැවැත්තුවොත් සල්ලිත් නවතීවි. සියලු දෙනා හිටපු කැබිනට් එකකදී සම්මත වූ දෙයක් නවත්තන්න කියන්නේ කොහොමද..?" අගමැතිවරයා කීවේද මඳ නොසන්සුන් බවකින්ය.
"මම කට්ටියට ලුණු දෙහිවලින් හොඳට දුන්නා. මේ අධිවේගයට විරුද්ධ අය ඔක්කොම ජනාධිපතිවරණයේදී ඔබතුමා පරදවන්න දඟලපු අය බව ජනාධිපතිතුමාට කෙළින්ම කිව්වා. ජනපතිතුමා අන්තිමට කිව්වා පාර හදනවා කියලා" කිරිඇල්ල කීය.

"දයාසිරි විරුද්ධ වුණත් නාවින්න, අනුර යාපා විරුද්ධ නොවුණේ මේ අධිවේගය කුරුණෑගල හරහා යන නිසයි. මේ විරුද්ධ වීම දයාසිරිට පාඩුයි කියලා හුඟ දෙනෙක් මට කිව්වා" පී. හැරිසන් කීය.

"නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය බව හා බුදු දහම රකිනවා කියද්දී දිනේෂ්
මල්වතු නාහිමි හමුවුණාම උන්වහන්සේ කී දේට ඒකාබද්ධ අය පහර ගැසීම ගැන මිනිස්සු විරුද්ධයි" දයා ගමගේ කීවේ අගමැති දෙස බලාය.
"ව්‍යවස්ථාවේ මෙහෙයුම් කමිටු වාර්තාවේ තියෙන්නේ යෝජනා විතරයි. එජාප යෝජනා නැත්තේ ඇයි කියලා සමහරු අහනවා. මේ පිටු 12 තුළ තිබෙන බොහෝ දේට එජාපය එකඟයි. මල්වතු, අස්ගිරි හා රාමඤ්ඤ නිකායෙ මහ නාහිමිවරුන්ට මම පිටපත් පිළිගන්වලා සත්‍ය පැහැදිලි කළා. උන්වහන්සේලාගෙ ප්‍රශ්නයක් නෑ" ලක්ෂ්මන් කිරිඇල්ල කීය.
"මත්තල විකුණලා අපි ඒ සල්ලිවලින් නැව් ගන්නවා කියලා නාමල්ලා මාර කැම්පේන් ගෙනියනවා" නවීන් දිසානායක මෙන්ම දයා ගමගේද කීවේ එවැන්නකි.
"ඒවා පටු දේශපාලන කතානේ" අගමැති කීය.

නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහයෝගය දක්වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටයි. හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය හමු පවා පැවැත්වෙන්නේ අභයාරාමයේයි. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාට සහයෝගය දක්වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් තම චරිතාපදානය පිළිබඳව ලියූ පොතක්ද රැගෙන පසුගිය බදාදා සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණියේ සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවීමටය. එම කෘතිය සෞඛ්‍ය අමාත්‍යවරයාට පිළිගැන්වූ ආනන්ද හිමියෝ දේශපාලන වාතාවරණය පිළිබඳ අදහස් පළ කළහ. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසුවේ පොහොට්ටුවට සහයෝගය ලබාදෙන වැඩෙන් ඉවත් වෙලා ඔබ වහන්සේ ජාතික නායකත්වයේ හිමිනමක් ලෙස සියලු දෙනාටම අවවාද අනුශාසනා කරමින් සිටිය යුතු බවයි. ඔබ වහන්සේ ස්වාධීන බුද්ධ පුත්‍රයෙක් ලෙස කටයුතු කරන්න. මම හිතවත් නිසා කියන්නේ. ඔබ වහන්සේ
පොහොට්ටුවක් අරගෙන රට වටේ යන්නේ නැතිව අපිත් එක්ක වැඩ කරනවා නම් මම තවත් සහයෝගය ලබාදෙනවා. සෞඛ්‍ය ගැටලු විසඳීමටත් ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා ලබාගන්නවා යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

ඊට පිළිතුරු ලබාදුන් ආනන්ද හිමියන් සඳහන් කළේ 'පොහොට්ටුවට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මම උදවු කරන්නෙත් නැහැ. මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන හිතවත්කමට තමයි උදවු කරන්නේ. නමුත් මම එකක්
කියන්න ඕනි. ඔබතුමාට විරුද්ධව මම කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න එපා' යැයි ආනන්ද හිමියන් පැවැසීය. එවිට සෞඛ්‍ය අමාත්‍යවරයා විමසා සිටියේ 'විහාරස්ථානය ඉදිකිරීමට හිටපු ජනාධිපතිවරයා උදවු කළා නේද' කියලායි. එවිට ආනන්ද හිමියන් පැවැසුවේ හිටපු ජනාධිපතිවරයා පන්සල හදන්න වැලිකැටයක උදව්වක් කර නොමැති බවයි. 'මම ඕන තැනක ඒ බව කියනවා. ඔබතුමා ඕන නම් රැස්වීම්වලත් කියන්න. පන්සල හැදුවේ දායකයන් විසින්. ගාමිණී සෙනරත් මහතා විතරක් සහයෝගය ලබාදුන්නා' යැයි පැවැසූහ.

අතීතයේ ගෝඩියන් නමැති ගැටයක් තිබිණි. ඒ ගැටය සංකීර්ණ වූ අතර එය ලිහා දැමීම බෙහෙවින් අපහසු විණි. ජනතාව හිතුවෙ ගැටය ලිහන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවන්තයකුට පමණක් බවය. කෙසේ වෙතත්, මහා ඇලෙක්සැන්ඩර් රජු එම ගැටය ලිහා දැමුවේය. හැබැයි ඒ ලිහා දැමීමක් නොව කඩු පහරකින් ගැටය කපා දැමීමක්ය. මැතිවරණ කොමසාරිස් කියන්නේ තමන්ට සිදුවී
තිබෙන්නේත් ඒක කියාය.

'පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තුන්දෙනකුයි එක්තරා නීතිඥ මහත්තයකුයි මට ගහනවා. රටේ හිටපු ප්‍රධාන පුද්ගලයකුත් මේකට ගෑවිලා. මගේ සම්ප්‍රදායක් තියෙනවා මම ප්‍රතිපත්තියක් අනුව දේශපාලනඥයන්ට උත්තර දෙන්නේ නැහැ. උත්තර නොදෙන කෙනකුට දිගින් දිගටම පහර පිට පහර ගහන එක ඒක කරන කෙනාටම අන්තිමට හිසරදයක් වෙනවා. කනගාටුවක් වෙනවා. මට මතක් වෙන්නේ ධම්මපදයේ ගාථාවක්. ධම්මපදයේ 227 වැනි ගාථාව. ඒකෙන්
කියන්නේ කතා කළත් බනිනවා. කතා නොකළත් බනිනවා කියලයි. මේක මගේ හරි කොමිසමේ හරි ගැටලුවක් නෙවෙයි. පළාත් පාලන ආයතනවලට පත්වන සභිකයන් සංඛ්‍යාව ඇතුළත් කරලා ඇමැතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කරන තෙක් මට කරන්න දෙයක් නැහැ. ඕන නම් ඇමැතිට පුළුවන් ගැසට් පත්‍රය නිකුත් කිරීම තව තවත් පමා කරන්න. ඇත්තටම පළාත් පාලන ඡන්දය කල් දැම්මා. පළාත් සභා ඡන්දය කල් දැම්මා. හරියට මේක ගෝඩියන්ගේ ගැටේ වගෙයි. ඒ තරම් සංකීර්ණයි.

දින කිහිපයක සිට මහින්ද ඉන්නේ ජපානයේ සංචාරයකය. එහි සිටින
ක්‍රියාකාරීන් රැසක් ඉකුත් දිනවල පැමිණ මහින්ද හමුවිය. මේ අතර ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන යුකියෝ හතෝයාමා පැමිණ මහින්ද හමුවූ අතර එය අතිශය ළෙන්ගතු හමුවක් වී තිබේ. යුකියෝ එරට දැවැන්ත කර්මාන්ත රැසක හිමිකම් සහිත පවුලක සාමාජිකයෙක්ද වෙයි. ටෝකියෝවේ වෙස්ටින් හෝටලයට පැමිණි හිටපු ජපන් අගමැති මහින්දට කීවේ,
'ඔබතුමා බොහොම ක්‍රියාකාරීව වැඩ කරනවා' කියලාය.

'රටට වැඩ කරන එකෙන් පැන්ෂන් යන්න බෑනේ'
මහින්ද කීවේය.
'ඒක ඇත්ත. ඔබතුමාගේ කතාව ඇහුවම මටත් ආසාවක් හිතුණා ආපහු දේශපාලනේට එන්න' කියා ජපන් හිටපු අගමැති කීය.
'අපේ රටේ තරුණ ප්‍රජාවට තාක්ෂණික දැනුම ලබාගන්න ජපානයේ අවස්ථාවක් දෙන්න'
මහින්ද ඔහුට කියද්දී ඔහු එක පයින් ඊට කැමැති විය.

ධර්මදාස වන්නිආරච්චි ශ්‍රී ලනිපයේ හිටිය දැවැන්තයෙක්ය. ඔහු පවිත්‍රා වන්නිආරච්චිගේ පියාය. ඔහු සමරා පින්කමක් පසුගියදා පැවැත්විණි. ඔය අතර මත්තල ගුවන්තොටුපොළ විකුණා දැමීමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය 06 වැනිදා උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. උද්ඝෝෂණයට සහභාගිවීමට යන අතරතුර ඒකාබද්ධයේ මන්ත්‍රිවරුන් පිරිසක් 05 වැනිදා රාත්‍රියේ රත්නපුර බලා ගියේ පවිත්‍රාගේ නිවෙසේ පැවැති ධර්ම දේශනාවකට සහභාගිවීම සඳහාය. ඩලස් ඇතුළු මන්ත්‍රි කණ්ඩායමක් ඒ ගමනට එක්ව සිටියහ. පිරිසගේ අරමුණ වූයේ පින්කමෙන් පසු හම්බන්තොට යන එකය.
'මටත් ඔයාලා එක්ක එන්න තිබුණා නම් හොඳයි. ඒත් මේ පින්කම දාලා එන්න පුළුවන්කමක් නැහැනේ.' පවිත්‍රා කීවේ ශෝකයෙනි.
'ඒකට කමක් නැහැ අක්කේ, ඔයා පින්කමේ වැඩ ටික කරගන්න. අපි ඒ පින්කම කරන්නම්.' ෂෙහාන් සේමසිංහ කීවේය. ෂෙහාන් ඒ පින්කම කරන්නම් යැයි කීවේ මත්තල විකිණීමට එරෙහිව කරන උද්ඝෝෂණය ගැනය. කවුරුත් ෂෙහාන්ගේ කතාවට සිනාසුණහ.

පසුවදා උදෑසන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු ජනතාවද සමඟ
උද්ඝෝෂණයට සැරසුණහ. ඒ වනවිටත් හම්බන්තොට පොලිසිය නාමල්, ඩී. වී. චානක ඇතුළු කිහිපදෙනකුට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝගයක් ගෙන තිබිණි. එහෙත් කලින් සූදානම් කරගත් ආකාරයට නාමල්ලා උද්ඝෝෂණය පැවැත්වූහ. චමල්, ඩලස්, නාමල්, ෂෙහාන්, ඩී. වී., රණවීර ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ඊට එක්ව සිටියහ. උද්ඝෝෂණය අතරතුර කඳුළු ගෑස්, ජල සහ බැටන් ප්‍රහාර එල්ල විය.
ෂෙහාන්ගේ කතාවට අනුව නම් ප්‍රහාරය එල්ල වූයේ 'පින්කමට'ය.

ඉකුත් 07 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් පැවැති බැවින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම කමිටු කාමර අංක 04දී පැවැත්විණි. දිනේෂ්, ඩලස්, මහින්දානන්ද, ප්‍රසන්න, නාමල් ඇතුළු කණ්ඩායමක් ඊට සහභාගි වී සිටියහ.
'ආණ්ඩුව ජනමත විචාරණය හරි පළාත් පාලන මැතිවරණය හරි තියනවයි
කියලා නිශ්චිත තීන්දුවකට ඇවිත් නැහැ. හැබැයි කොයි වෙලාවේ හරි මොනයම් හෝ මැතිවරණයක් තියයි. ඒ නිසා අපි බිම්මට්ටම ශක්තිමත් කරමින් ඒකට ලැහැස්ති වෙලා ඉන්න ඕනේ' ඩලස් පෙන්වා දුන්නේය.
'ඒක නම් ඇත්ත. ආණ්ඩුව අපි නොහිතන වෙලාවක නොහිතන දෙයක් කරන්න වගෙයි ලැහැස්ති වෙන්නේ. අපි හැමදේකටම සූදානමින් හිටියොත් හොඳයි' දිනේෂ් ද පැවැසීය.
අඟහරුවාදා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් පොලිස් කොමිසම වෙත ගියහ. ඩලස්, මහින්දානන්ද, රමේෂ්, සිසිර සහ මහින්ද යාපා ඒ අතර වූහ. පොලිස් කොමිසම වෙත ගිය මන්ත්‍රිවරු එහි සභාපති ආරියදාස කුරේ හමුවී සාකච්ඡා කළහ.

එදින සවස පහට හම්බන්තොට පොලිසියට එන ලෙස නාමල් ඇතුළු පිරිසට යළිත් දැනුම් දී තිබිණි. ප්‍රසන්න රණවීර සවස පහටත් පෙර හම්බන්තොටට ගොස් අතරමඟ නැවතී සිටි අතර හරියටම සවස පහට පිරිස පොලිස් ස්ථානය වෙත ගියහ. ඔවුන් ඇතුළට යනවාත් සමඟ පොලිස් බස් රථයක්ද පොලිස් භූමියට ගෙන එන ලදී. එය දුටු පිටත සිටි ජොන්ස්ටන් තමා ළඟ සිටි කාංචන විජේසේකරට කීවේ 'අද නම් මෙයාලට එන්න වෙන්නේ නැහැ. දැක්කනේ ඇතුළට ගිය ගමන් බස් එකක් ගෙනැල්ලා ගැහුවා' කියාය.
පැය හතරකට වැඩි කාලයක් කටඋත්තර ලබා ගැනුණු අතර එය අවසන් වන විට රාත්‍රි 8.30 ද පසුව තිබිණි.

එහෙත් නාමල් ඇතුළු පිරිස මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරෙන විට රාත්‍රි එකොළහ පමණ වී තිබිණි. මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ පිරිස 16 වැනිදා දක්වා රිමාන්ඩ් ගත කරන ලෙසටය. නාමල්ලා තංගල්ල බන්ධනාගාරය වෙත ගෙන යන ලද මාර්ගයේ ටයර් පුච්චා මාර්ග අවහිර කර තිබිණි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් බදාදා තංගල්ල කාල්ටන් නිවෙසට පැමිණ සිටියේ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින නාමල්ලා බැලීමට යෑමටය. දිනේෂ්, ඩලස් ඇතුළු මන්ත්‍රිවරුන් පිරිස කාල්ටන් නිවෙසෙන් දිවා ආහාරයද ලබාගෙන බන්ධනාගාරය වෙත යෑමට සැරසෙන විට ප්‍රසන්න කෙළින්ම බන්ධනාගාරය වෙත ගොස් තිබිණි.
ප්‍රසන්න සමඟ පළාත් සභා මන්ත්‍රිවරුන් කිහිපදෙනකු පැමිණ සිටියද ඔවුන්ට බන්ධනාගාර ගේට්ටු විවෘත කෙරුණේ නැත. පසුව දිනේෂ්ලා ද පැමිණි පසු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රිවරුන්ට පමණක් බන්ධනාගාරය වෙත යෑමට අවසර ලැබිණි.
මන්ත්‍රිවරුන් පිරිසට නාමල්ලා ඇතුළු පිරිස මුණගස්වන ලද්දේ කාන්තා මැදිරියක් තුළය. මන්ත්‍රිවරුන් සියලුදෙනාම නාමල් ඇතුළු පිරිස වැලඳගනිමින් පිළිගත්හ.
'මේ ආණ්ඩුවට ප්‍රසන්නලා පේන්න බැහැ. මාවයි, ප්‍රසන්න රණවීරවයි දෙන්නම දැම්මා. දැන් ඉන්නේ ඔබතුමා තමයි' අජිත් ප්‍රසන්න තමා ළඟ සිටි ප්‍රසන්න රණතුංගට පැවැසීය.
'මම නම් ඕන දේකට ලැහැස්තියි' ප්‍රසන්න පැවැසීය.

ප්‍රසන්න නාමල්ගෙන් ඇසුවේ 'අර අලුත් එක විවෘත කරන්න පුළුවන් වෙයි වගේ නේද?' කියාය.
'ඒ මොකක්ද?' නාමල් ඇසුවේය.
'නෑ මං කිව්වේ අර අඟුණකොළපැලැස්සේ හදපු බන්ධනාගාරය' ඒක අපිවම දාලා විවෘත කරන්න වගෙයි ආණ්ඩුව හදන්නේ' ප්‍රසන්න කීවේය.
'ඒකේ වැඩ දැන් ඉවරයි. පහුගිය මැතිවරණ කාලේ මේ පැත්තේ සමහරු වේදිකාවල කිව්වෙම රාජපක්ෂ කෙනෙක් දාලාම මේක විවෘත කරනවා කියලයි.

42 වැනි උදා ගම්මානය 'සමුදිගම' ජනතා අයිතියට පැවැරීම සඳහා සූරියවැව, වැලිවැවට ගොස් සිටි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නව ගම්මානයේ සමරු ඵලකය විවෘත කර වේදිකාව වෙත යෑමට සැරසෙන විටම කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් පැමිණි ජංගම දුරකතන පණිවුඩයෙන් ලැබුණේ සුබ ආරංචියක්ය. නව උදා ගම්මාන 50ක් තැනීම සඳහා රුපියල් ලක්ෂ 6,000ක පරිත්‍යාගයක් කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇති බව ඒ ආරංචිය විය. ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝඩි ශ්‍රී ලංකාවේදී හමුවුණු දෙතුන්වරකදීම සජිත් ඔහු වෙත දන්වා තිබුණේ මෙවැනි උපකාරයක්
ඉන්දියාවෙන් ලැබේ නම් ඉතා අගය කරන බවය. පවුල් 22කට නිවාස
අයිතිය පවරමින්, පවුල 300කට 'විසිරි නිවාස ණය' පිරිනමමින්, පුද්ගලයන් 42 දෙනකුට සාම විනිසුරු පත්වීම් ලබා දෙමින් හා රණවිරු පවුල් 35කට 'විරු සුමිතුරු' වැඩසටහන යටතේ නිවාස ආධාර පිරිනමමින් වැඩසටහන නිම වෙද්දී සජිත් වටා රොක්ව සිටියේ 'විරු සුමිතුරු' නිවාස ආධාර ලැබූ රණවිරුවන්ගේ මවුපියන් පිරිසක්. සජිත් ඔවුන්ට කීවේ 'ඔන්න ඉන්දියාවෙනුත් අපට උදව්වක් කරන්න යනවා. එසේ මෙසේ නෙවෙයි. ලක්ෂ හය දාහක උදව්වක්' කියායි.

පසුගිය දහවැනිදා මන්ත්‍රි ඩොට් එල්කේ වෙබ් අඩවිය මඟින් සංවිධානය කළ විවෘත සංවාදයක් කදිරගාමර් මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මේ අවස්ථාවට ජවිපෙ නියෝජනය කරමින් සහභාගි වූයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්ය. ශ්‍රී ලනිපය නියෝජනය කරමින් දුමින්ද දිසානායක, එජාපය නියෝජනය කරමින් කබීර් හෂීම්, ටී.එන්.ඒ. නියෝජනය කරමින් සුමන්තිරන් යන දේශපාලනඥයෝ පැමිණ සිටි අතර ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම
පැමිණෙන බව දන්වා තිබුණද ඔහු පැමිණ සිටියේ නැත. එදින සංවාදයට බඳුන් වීමට තිබූ මාතෘකාව වූයේ ආණ්ඩුවේ පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශයන් යන්නය. එජාපය ශ්‍රී ලනිපය ජනතාවට පොරොන්දු ඉටු කළාද? නැද්ද? යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා විණි. කෙසේ වෙතත් සංවාදය ආරම්භ වීමට පෙර දුමින්ද දිසානායක ඇමැතිවරයා සිය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් අධ්‍යයනය කරමින් සිටින අතර විජිත හේරත් සමඟ කතාවකට මැදි වුණි.

'අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයක තියෙනවා සමෘද්ධි පවුලකට ගෑස් සිලින්ඩරයක් දෙනවා කියලා. ඒ වගේ දේවලුත් අපි පොරොන්දු වෙලානේ.' ඇමැතිවරයා කීය.
විවෘත සංවාදය ආරම්භ වූ අතර එහිදී ප්‍රධාන මාතෘකාව වූයේ විගණන පනත ප්‍රමාද වීමය. කෙසේ වෙතත් ශ්‍රී ලනිප ලේකම් හා එජාප ලේකම් විගණන පනත පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශ කළහ.

සංවාදය මෙහෙය වන නිවේදකයා විජිත හේරත් වෙත අපූරු ප්‍රශ්නයක් යොමු කෙළේය. 'ආණ්ඩුවට විවේචන කළාට ජවිපෙ මේ ගැන මොකුත් කළාද? මම මේක ඇහුවේ ජවිපෙ අමාරුවේ දාන්න නෙවෙයි' නිවේදකයා ඇසීය.

ඒක මාව අමාරුවේ වැටෙන එකක් නෙවෙයි. ඔබතුමා මට හොඳ පාස් එකක් දුන්නා ඩෑෂ් එකක් ගහන්න. අපි නිකන් හිටියෙ නැහැ. ආණ්ඩුව මේක කල්දාන නිසා අපි පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් විදියට මේක පාර්ලිමේන්තුවට ගේන්න අවශ්‍ය කටයුතු කළා' විජිත හේරත් පිළිතුරු දුන්නේය. මේ අතර මන්ත්‍රි ඩොට් එල්කේ වෙබ් අඩවිය මඟින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ කාර්යභාරය
සැලකිල්ලට ගෙන කරන ලද සමීපක්ෂණයෙන් තවමත් ප්‍රථම ස්ථානය ලබාගැනීමට ජවිපෙ නායක අනුර දිසානායක සමත්ව සිටි. එමෙන්ම ජවිපෙ අනෙකුත් මන්ත්‍රිවරු ක්‍රියාකාරීම මන්ත්‍රිවරුන් මුල් දස දෙනා අතර රැඳී සිටීමට සමත්ව සිටී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්