පාට පාට මිනිස්සු

  👤  4075 readers have read this article !
2017-10-13

"ඕනෑම අවස්ථාවක ජාතිය මත පදනම්ව කරන සියලු බෙදීම්වලට මම දැඩි සේ වෛර කරනවා. මම මගේ මුළු ජීවිතය පුරාම එයට එරෙහිව සටන් කළා. මම දැනුත් සටන් කරනවා. මගේ ජීවිතයේ අන්තිම දවස දක්වා මම එය කරනවා."

එහෙම කියන්නේ නෙල්සන් මැන්ඩෙලාය. වසර සිය ගණනක් තිස්සේ යුරෝපයේ කොලනියක් වූ දකුණු අප්‍රිකාවේ පැවැති වහල් වර්ණභේදවාදයට එරෙහි නිදහස් සටනේ පෙරමුණ ගත් ඔහු වර්ගවාදයෙන් තොර ලෝකයක් වෙනුවෙන් සිහින දුටුවේය.

"ආරම්භයේ දී අප සතුව ජාතියකට තිබිය යුතු මූලික සාධක වූ ස්වකීය ජනගහනයක්, පොදු භාෂාවක් පොදු සංස්කෘතියක්, පොදු ඉරණමක් මේ කිසිවක් අප සතු නොවීය. අප හුදෙක් දකුණු චීනයෙන්, දකුණු ඉන්දියාවෙන්, පාකිස්තානයෙන්, බංග්ලාදේශයෙන් (එය බෙදීමට පෙර) ලංකාවෙන් සහ දූපත් සමූහයකින් පැමිණි සංක්‍රමණිකයන් විය. එබැවින් ප්‍රධාන ගැටලුව වූයේ මේ සියලුම ජාතීන්ට අයත් මිනිසුන් එකට තැබිය හැකිද යන්නයි.

මෙහෙම කියන්නේ සිංගප්පූරුව හැදූ ලී ක්වාන් යූ ය. රටක් හදන්නට පුළුවන් එකට එක්වීමෙන් මිස තුනට බෙදීමෙන් නොවේ කියා ලී ඔප්පු කළේය. හැමෝම සිංගප්පූරු ජාතිකයෝ කියන හැඟීම මිනිස්සුන්ට ආරෝපණය කරන ඔහු සිංගප්පූරුවේ විවිධ ජනවර්ග සිංගප්පූරු ජාතික අනන්‍යතාව ඔස්සේ එක් කිරීමට ඔහු උනන්දු වන්නේය. ලොව දිනන රටක් හැදුණේ එහෙමය.

1948 වෙනකොට ආසියාවේ දියුණුම රට ජපානයය. දෙවැනි තැනට හිටියේ ශ්‍රී ලංකාවය. සිංගප්පූරුව හදන්න මහන්සි වෙච්ච ලී ක්වාන් යූ ලංකාවට ඇවිත් කීවේ "මගේ සිහිනය ලංකාව වගේ සිංගප්පූරුවක් හදන එක කියලා"ය. එහෙම කී ඔහුම පස්සේ කාලෙක කියන්නේ මේ තරම් අනාගත බලාපොරොත්තු තබා සිටි ලංකාව නිදහසින් පසු කඩා වැටෙන ආකාරය දුටු බවය.

ඒ ජාති ආගම් කුල මල ලෙස බෙදී වෙන්වීමේ ප්‍රතිඵලය.
1953 දී උතුරට ගිය එ.ජා.ප. අගමැති ජෝන් කොතලාවල සිංහල, දෙමළ දෙබසම රාජ්‍ය භාෂාවන් කරන බව කීවාම දකුණ කුලප්පු විය. ජෝන් ජාතිය පාවා දෙන්නෙක්ය කියා විපක්‍ෂය චෝදනා කළේය. භික්‍ෂුන් වහන්සේ ජෝන්ට එරෙහිව පෙරට ආව අතර බණ්ඩාරනායක පිලිප් ගුණවර්ධනලා එක්ක එකතුව නැඟෙන ගින්නට පිදුරු දැම්මේය.
"හාමුදුරුවෝ නොවේ කවුරු කීවත් මම මගේ මතය වෙනස් කරගන්නේ නෑ."

ජෝන් හිටියේ එහෙම මතයකය.
"අපි සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනවා."
56 ඡන්දේ කට උඩ තියාගෙන බණ්ඩාරනායක ජෝන්ට කට උත්තර නැති වෙන්න ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ගෙනාවේය.
රැල්ල ගැහුවේ බණ්ඩාරනායකගේ පැත්තටය. ජෝන්ට ඉතිරි වුණේ ආසන අටට බැස්ස යූ.න්.පී.යක්ය. යූ.න්.පී.ය පැරදුණේ ජෝන්ගේ උද්ධච්චකම් හින්දා බවත් ජාතිය ගැන නොහිතුව හින්දා බවත් ආගම තුට්ටුවකට මායිම් නොකළ හින්දා බවත් හැමෝම කීය.

මේ කිසිවකට උත්තර දෙන්න නොගිය ජෝන් බණ්ඩාරනායකට ආණ්ඩුව දීලා වලව්වට ගියේය.
"කෙළවුණේ කාටද කියලා ළඟදීම පෙනෙයි." ජෝන් තනියම හිතුවේය. කාලේ ගෙවිලා ගියේය. බණ්ඩාරනායකගේ ආණ්ඩුව හෙල්ලෙන්න පටන් ගත්තේය. ලොකුම අර්බුදය ආවේ ඡන්දෙට කලින් දුන්න "ජනප්‍රියම" පොරොන්දුව හින්දාය.

"සිංහලය රාජ්‍ය බස කරනු"
බණ්ඩාරනායක අගමැතිට හතර වටෙන් බලපෑම්ය. දවසින් දවස පොරොන්දුව කල් යනකොට රටම කුලප්පු වුණේය. භික්‍ෂුන් වහන්සේ පවා බණ්ඩාරනායකට එරෙහිව පෙරට එන්න ලෑස්ති විය. කොහොම කොහොම හරි ඔය අතරේ චීවරධාරියකුගේ වෙඩි ප්‍රහාරයකින් බණ්ඩාරනායක මිය ගියේය.
අවමඟුලදා බණ්ඩාරණායක දේහයට අවසන් ගෞරව පුද කරන්නට ආ ජෝන් මෙහෙම කීවේය.

"මම දැනගෙන හිටියා මෙහෙම වෙන බව. මම බැඳලා දැම්ම බල්ලෝ බණ්ඩා ලෙහලා දැම්මා. උන් බණ්ඩව හපා කෑවා"
ජෝන් එහෙම කීවේ ජාතිවාදීන්ටය. ජාතිවාදී කුලප්පුවකින් ඉතිරි වන්නේ විනාශයක් විතරක් බව ජෝන් තේරුම් අරන් හිටියේය. ඒ හින්දාම ඔහු ඕනවට වඩා ජාතිවාදී වුණෙත් නැත. යහපාලන ආණ්ඩුවට සමහරු බනින්නේ මැද මාවතක යනවාය කියලාය. ජාතිවාදී නොවෙනවා කියලාය. දකුණට වගේම උතුරටත් සලකනවාය කියලාය.
නායකයෝ ඕනවට වඩා මිනිසුන්ට කිට්ටු නෑ කියලාය. දරුවන් වඩාගෙන හුරතල් කරන්නේ නෑ කියලාය.

"මහින්ද මහත්තයා ඔහොම නෑ. මතකද කොටි කැබිතිගොල්ලෑවේ බෝම්බ ගහපු වෙලාවේ ජීවිතේ පැත්තක තියලා මහින්ද මහත්තයා එහෙට ගිහින් දුක සැප ඇහුවේ අන්න එහෙමයි නායකයෝ."
සමහරු කියන්නේ එහෙමය.

ඒ දවස්වල විපක්‍ෂය ජෝන්ට බැන්නේ රට ගැන හැඟීමක් නැති කුකුල් කේන්තිකාරයා කියලාය.
හැබැයි අවුරුදු එකහමාරක් වගේ කාලයක් අගමැති හැටියට හිටිය ජෝන් රට ගැන හිතලා කරපු දේ වෙන කවුරුත් නොකරපු තරම්ය.
1954දී ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක ආණ්ඩුකාර පදවියට පත්කරමින් මෙරට ආණ්ඩුකාර පදවියට ශ්‍රී ලාංකිකයකු පත් කිරීමේ පිළිවෙත හඳුන්වා දෙන්නේ සර් ජෝන් කොතලාවලය. සෑම නිදහස් දිනයකම රටේ ජාතික කොඩිය සමඟ ඉංගී්‍රසි කොඩිය එසවීමේ පිළිවෙත ඉවතට දමන්නේ කොතලාවලය. ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට මූලික වෙන්නේ කොතලාවලය. ඒ අතරේ දෙවැනි එළිසබත් මහා රැජනත්, වල්ලභ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුත් මුල්වරට ලංකාවේ සංචාරයක නියැළුණේ කොතලාවල අගමැතිවරයාව සිටියදීය.

එහෙම බැලුවම කොතලාවල කියන්නේ පුදුම නායකයෙක්ය.

එදා වගේම අද යහපාලන ආණ්ඩුවට විපක්‍ෂය චෝදනා කරන්නේ ජාතිකත්වය ගැන හිතන්නේ නෑ කියලාය. හැබැයි දළදා මාලිගාව ඉදිරියේ නයිට් රේස් පදින තුරු බලාගෙන හිටපු අය එහෙම කියද්දී හතර හිනාය. ඇමෙරිකන් පුරවැසියෝ රංචුවක් හිටපු ආණ්ඩුවක අය විපක්‍ෂයට වෙලා දැන් කියන කතා විහිළු බව කියන්නේ මිනිසුන්ය.
ජාතික සංහිඳියාව වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවා ආණ්ඩුව වැඩ කරන්නේ ජනවාර්ගික ඒකාබද්ධතාවයෙන් යුතුව රට පෙරට ගෙනියන්නටය.
1954 සර් ජෝන් කොතලාවල ඕස්ට්‍රේලියාවේ කළ නිල සංචාරයෙන් පසු වසර 58ක් යනතුරු කිසිම නායකයකුට ඕස්ට්‍රේලියාවෙන් ආරාධනා ලැබී නැත. අද වන විට ලෝකයේ බලවත් සියලු රටවල් ශ්‍රී ලංකාව සමඟ හිතවත්ය.

ඒ දවස්වල ජෝන් කොතලාවලගේ වැඩපිළිවෙළ වටහා නොගත් පිරිස් ඔහුව පරාජය කොට කඳවල වලව්වට තල්ලු කොට දැම්මේය. හැබැයි ඊට පස්සේ ආව ආණ්ඩුව රටට ඉතිරි කළේ ප්‍රගතිශීලී ලොසින්ජරය යටින් වූ විස බව කියන්නේ මිනිසුන්ය. යහපාලන ආණ්ඩුවට එරෙහිව කැරලි ගසමින් විපක්‍ෂය හදන්නේ ජෝන් යැව්වා වගේ යවන්නද කියා කියන්නනම් දන්නේ නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්