ජීවිතයට ආදරය කරමු!

  👤  3674 readers have read this article !
2017-10-13

ගාල්ලේ පෝද්දල, වටරැක ප්‍රදේශයේ ජීවත් වූ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු ඉකුත් 10 වැනිදා සිය ව්‍යාපාරික පියා සතුව තිබූ ගිනි අවියකින් වෙඩි තබාගෙන දිවි නසාගෙන තිබුණේ මවුපියන්ට ලිපියක්ද ලියා තබාය.

ඒ ලිපියේ සඳහන්ව ඇත්තේ පෙම් සබඳතාවක් නිසා ඇතිවූ කලකිරීමත් ඒනිසා මේ වසරේ දෙසැම්බර්වල මුහුණදීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට සාර්ථකව මුහුණ දීමට නොහැකි යැයි ඇතිවු විශ්වාසයත්ය. මවුපියන්ගේ විශ්වාසය දෙවරක්ම කඩකළ බවත් මේ ශිෂ්‍යයා සිය ලිපියේ සඳහන් කර ඇතැයි දැනගන්නට ඇත.
29 හැවිරිදි නළුවකු දිවි නසාගෙන තවමත් මාසයක් ගතවී නැත. සිය ජීවිතයට දැනෙන පීඩනය දරාගත නොහැකිවීම ඔහුගේ මරණයට හේතුවී තිබුණ බව දිවි නසාගැනීමට පෙර ලියූ සටහනකින් හෙළිවිය.

මේ වසරේ පළමුවැනි හය මාසය තුළ දිවි නසාගෙන ඇති සංඛ්‍යාව 1597කි. ඒ අතර පිරිමින් 1275ක් සිටින අතර 322ක් කාන්තාවන්ය. ඉකුත් වසරේද 3025ක් දිවි නසාගෙන ඇත. ඉන් බහුතරය පිරිමින්ය. සංඛ්‍යාව 2339කි. 686ක් කාන්තාවෝ වෙති. වයස අවුරුදු 71ට වැඩි පුද්ගලයන් 336ක්ද අවුරුදු 21-25 අතර වයසේ පසුවන්නන් 293 දෙනකුද එම වසර තුළදී සියදිවි හානිකර ගෙන ඇත.

මේ වසරේ පළමු මාස හය තුළදි දිවි හානිකරගෙන ඇති සංඛ්‍යාවෙන් 159 දෙනකු අවුරුදු 26-30ත් අතර පසුවන තරුණ තරුණියන් වීම විශේෂත්වයකි. වයස අවුරුදු 71ට වැඩි පුද්ගලයන් 150 දෙනකු පමණ එම කාල සීමාව තුළ සියදිවි හානි කරගෙන ඇත.
පවුල් ආරවුල්, ප්‍රේම සබඳතා, අධ්‍යාපන ගැටලු, ආර්ථික හේතු, නිදන්ගත රෝග යන හේතුන් මත මේ දිවි නසා ගැනීම් සිදුවී තිබේ. ළාබාල තරුණ තරුණියන් හා වියපත් වැඩිහිටියන් වැඩි වශයෙන් දිවි නසා ගැනීම අවධානයට ලක්විය යුත්තකි. ලෝකයේ වසරකට දසලක්ෂයක් පමණ දිවි නසා ගන්නා අතර ඊට සාපේක්ෂව මෙරට දිවි නසා ගැනීම් ඉහළය. දිවි නසා ගැනීම්වලින් කලක් ලෝකයේ අංක එකට සිටියේද ලංකාවය.

දිවි නසා ගැනීම්වලින් 50%කටත් වැඩි සංඛ්‍යාවකට හේතු වී ඇත්තේ මානසික අවපීඩනයට. මේ නිසා මත්පැන් පානයට යොමුවන්නන්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත. දිවි නසා ගැනීමට මත්ද්‍රව්‍යද උත්තේජනයක් ලෙස ක්‍රියා කරයි. මෙරට දිවි නසා ගැනීමේ සංඛ්‍යා ලේඛන පරීක්ෂා කිරීමේදී උගත් _ නූගත්, දුප්පත් - පොහොසත් බව දිවි නසා ගැනීමට බාධාවක් වී නැති බව පැහැදිලිය. උගත් බුද්ධිමත් තරුණ තරුණියන් දිවි නසා ගැනීමට පෙලඹීම කනගාටුදායක ලෙස ඉහළ ගොස් ඇත. මිනිස් සබඳතා ලිහිල් වී, එකිනෙකා හුදෙකලා වීම, පසුගාමී තරගකාරී වාණිජ සමාජයකට පොදු ධර්මතාය. ජීවිතය දෙස සුබවාදීව බැලීමට වඩා මෙවැනි සමාජයක මිනිසාව පොලඹවන්නේ අසුබවාදීව බැලීමටය. දිවි නසා ගැනීම එහි තර්කානුකූල ප්‍රතිඵලයකි.

දකුණේ තරුණ තරුණියන් 1971 හා 88-89 ජීවිතය පරදුවට තැබුවේ රාජ්‍ය බලය අල්ලා ගැනීමටය. වෙනම රාජ්‍යයක් ලබාගැනීම සඳහා උතුරේ තරුණ තරුණියෝ තිස් වසරක් පුරා එවැනි දේශපාලනයක නිරත වූහ. ඔවුහු අරමුණක් වෙනුවෙන් දිවි පරදුවට තැබූ අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් වී දිවි නසා ගත්හ. වර්තමානයේ තරුණ තරුණියන් දිවි නසා ගන්නේ ජීවිතයට අරමුණක් නොමැති වීම නිසාය. එය ඛේදවාචකයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්