මඩේ ලගින හංසයෝ

  👤  3591 readers have read this article !
2017-10-12

"කවුද ඔය පොදු අපේක්ෂකයා?"
මහින්ද ඔය ප්‍රශ්නය ඇහුවේ 2015 විතරක් නොවේ. 2010ත් ඕකම ඇසීය. 2010 ආවේ සරත් ෆොන්සේකාය. 2015 ආවේ මෛත්‍රිපාල සිරිසේනය.
දෙන්නම මැතිවරණෙට එද්දී මිනිස්සු ඇහුවේ "එන්නේ මොකෙන්ද?" කියලාය.

"අලියගෙන් ඇවිත් දිනනවා බොරු"
සමහරු එහෙම කීය.

"අලියා ලකුණ ඉවත් කරන්න අපි ඉඩ දෙන්නේ නෑ" තවත් සමහරු කීවේ එහෙමය.
එහෙත් ෆොන්සේකා ආවේ හංසයාගෙන්ය. මෛත්‍රි ආවෙත් හංසයාගෙන්ය. හංසයාගෙන් ආව ෆොන්සේකා පැරදුණා විතරක් නෙවේ. හිරෙත් ගියේය. මෛත්‍රි හංසයාගෙන් එනකොට සමහරු කීවේ "එයාටත් වෙන්නේ ඒකම තමා" කියලාය. හැබැයි කොහොම හරි මෛත්‍රි දිනුවේය.
"ජනතාව හංසයා දිනෙව්වා. හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නවා කියලත් කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ. හංසයා රෑට රෑට මඩේ ලඟින තාරාවෙක් වෙලා"
මේ කතාව කීවේ අනුර කුමාර දිසානායකය.

කොහොම හරි ආණ්ඩුව ආවේ හංසයාගෙනි. සමහරු හංසයා අවාසනාවන්තයි කියද්දී සමහරු කීවේ හංසයා වාසනාවන්තයි කියලාය.
හංසයා ඡන්ද ලකුණත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණත් වසර 20ක ඉතිහාසයකට උරුමකම් කියන ඡන්ද ලකුණක්ය. දේශපාලන පක්ෂයක්ය.
ගාමිණී, ලලිත් ඇතුළු පිරිසක් ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා පිහිටුවා ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණය. එහෙත් ලලිත් මියගිය විට 1995 වසරේදී එය නව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ලලිත් පෙරමුණ විය. 2009 වසරේ ඒ පක්ෂය නව ප්‍රජාතන්වාදී පෙරමුණ බවට පත්ව සරත් ෆොන්සේකා මහතා ජනාධිපති සටනට එන්නේය. ගිය ජනාධිපතිවරණයට මෛත්‍රි වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරුවේ පක්ෂයේ ලේකම් ධුරයේ කටයුතු කරන ශර්මිලා පෙරේරාය. 2005 වසරේදී එහි ලේකම් තනතුරට ශර්මිලා පෙරේරා පත්වන විට නායකයා වුණේ එස්. මුණසිංහය.

ඊයේ අත්අඩංගුවට පත් වන්නේ ඒ කියන එස්. මුණසිංහ හෙවත් ශලීල මුණසිංහය. එහෙමත් නැත්නම් මෛත්‍රි අපේක්ෂකයා වූ පක්ෂයේ නායකයාය.
ශර්මිලා පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායකගේ සම්බන්ධීකරණ ලේකම්ය. ශලීල මුණසිංහ ඔහුගේ සමීපතමයෙක්ය. එහෙම බැලුවම හංසයා ලකුණ දරන පක්ෂය රවිට සමීපය.

බැඳුම්කර ගනුදෙනුවේ බරපතළ චෝදනා ආව රවි ඉල්ලා අස්වුණේය. බැඳුම්කර මගඩිය මෙරට ඉතිහාසයේ සද්දන්තම මගඩියය. බැලුවම ඒ චෝදනාව එල්ල වෙන්නේ "හංසයා" පක්ෂයේ සමීපතම රවිටය. ලංකාවේ හිටපු මුදල් ඇමැතිවරයා වූ රවි කරුණානායකට ආවේ "කැත" චෝදනාවක්ය.

"රවි ඉල්ලා අස්වෙනු"
එහෙම කීවේ සාමාන්‍ය මිනිසුන්ය. ආණ්ඩුවේ සමහර ඇමැතිවරුන් හිටියේ ඒ මතයේය. "කැත පැටිකිරිය" හේතුවෙන් ගාණක්වත් නැති ගාණට ඔහු ඇමැති ධූයෛ් රැදි සිටියේ දිනෙන් දින ආණ්ඩුව ප්‍රපාතයට දක්කමින්ය. අන්තිමට අස්වුණේ අස් නොවී බැරිකමටය.

"මහින්ද රාජපක්ෂ ජනතාවගේ සල්ලි පික් පොකට් ගහලා එයාලගේ සාක්කු පුරවා ගත්තා. අපිට දුන්නේ හිස් භාණ්ඩාගාරයක්. පින් එක ගලවපු ගේ‍රනේඩ් බෝම්බයක්. පළමුවැනි දින සීය ඇතුළත අපි ජනතාවට සහනාධාර දුන්නා. වතාවක් රවි කීවේය. කතාවේ හැටියට රවි විශ්වකර්මයෙක්ය. මහින්ද හින්දවා තිබූ භාණ්ඩාගාරයෙන් දින 100ක් ඇතුළත සහන දුන්නේ කොහොමද කියා අහනකොට රවි දෙන උත්තරේ මොකද්ද කියා දන්නේ නැත. හැබැයි එහෙම කීව රවිට මිනිස්සු බැන්නේ "අහන් ඉන්න බැරි වචන" වලින්ය.
කොච්චර බැන්නත් "රනිල්ගේ සෙවණැල්ල" කියා ඔහු ඡන්දෙ දවස්වල ඇඩ් දැමුවේය. "නායකත්වයේ විශ්වාසය" කියා පෝස්ටර්වල සිටියේය. "විශ්වාසය තහවුරුයි" කියා ජනාධිපතිගේ අගමැතිගේ ඡායාරූප දමා පෝස්ටර් ගැසුවේය. වරක් ඩ්ඡ් සඟරාව රවිගෙන් මෙහෙම අසයි.

"දේශපාලනඥයන්ට එන චෝදනා වර්ග දෙකයි. එකක් ගෑනු ප්‍රශ්න, අනෙක සල්ලි ප්‍රශ්න. මං හිතන්නේ ඔබට තිබෙන්නේ සල්ලි ප්‍රශ්න?
"මට කියන්න මම එක සතයක් වංචා කරලා තියෙන්නේ කොහොමද කියලා. ඉහළ නිලතල දරන කොට ඔය වගේ චෝදනා එනවා. මට සතොස හොරා කිව්වා. දැන් පේනවනේ හොරා කවුද කියලා. මිලියන 500ක් ආයෙත් ගෙවන්න වෙලා තියෙනවා. මේ රටේම තියෙන ලොකු ප්‍රශ්නය තමයි හොරකම නතර කරන එක. ඒ තරම් හොරු ඉන්නවා. හොරකම නවත්වන්න යන ගමනට බාධාවන් එනවා මිසක ඒකට කිසි උදව්වක් ලැබෙන්නේ නැහැ." ඔහොම පුරාජේරු කී රවි අස්වුණේය.

ශලීල මුණසිංහ තායිවාන බැංකුවක පරිගණක පද්ධතියට ඇතුළු වී ඩොලර් මිලියන ගණනක මුදලක් වංචා කළැයි අත්අඩංගුවට ගෙන ඇත්තේය. ඔහු "හංසයා" පක්ෂයේ සභාපතිය. ජාත්‍යන්තර බැංකු සංකේත වන ස්විෆ්ට් (ඉඑධ්ජ්ඊ) සංකේත අවභාවිත කරමින් තායිවාන බැංකුව හැක් කර තිබුණේ පසුගිය 4දාය. හැක් කර ලබාගත් ඩොලර් මිලියන ගාණක හොර මුදල ලංකාව, කාම්බෝජය සහ ඇමෙරිකාවේ ගිණුම් කිහිපයකට බැර කරගෙන තිබිණි. කාම්බෝජයට ඩොලර් මිලියන 57ක්ම බැර කර තිබූ අතර ඇමෙරිකාවට ඩොලර් මිලියන 1ක් බැර කර තිබිණි. ලංකාවට බැර කර තිබූ මුදල ඩොලර් මිලියන 2.104කි.

මේ බව දැනගැනීමෙන් පසු තායිවාන පරීක්ෂකයන් පිරිසක් වහාම ලංකාවට පැමිණ ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව මෙහෙයුම් දියත් කළ අතර සොරකම් කරන ලද මුදලින් කොටසක් බැරව තිබූ ලංකා බැංකුවේ ගිණුමක් හිමි ජේ. සී. නම්මුනි නමැත්තකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහු එකී සොරකම් කරන ලද මුදලින් රුපියල් මිලියන 30ක් හෙවත් කෝටි 3ක් ඔහුගේ ගිණුමෙන් ලබාගෙන තිබිණි. තවත් මිලියන 8ක් ලබා ගැනීමට බැංකුවට යද්දී ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.
දැනට සොයා ගෙන ඇති මෙම මුදල්වල වටිනාකම මෙතෙක් රාජපක්ෂ යුගයේ පරීක්ෂණවලට සහභාගි වූ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සංස්ථා සභාපතිවරුන් 569 දෙනකුගේ සියලුම බැංකු ගිණුම්වල තිබූ වත්කම්වලට වඩා බෙහෙවින් වැඩි බවත් මේසා විශාල මුදලක් කෙසේ එක් පුද්ගලයකු සතුව තිබුණාද යන්නත් විමතියට කාරණාය. එහෙම බැලුවම මේ ඉතිහාසයේ දෙවැනි දැවැන්තම මගඩිය වෙන්නට පුළුවන්ය. එහෙම බැලුවම හංස සේනාව සෙල්ලම් නැත. එදා යහපාලනය රටට ගෙන එන බවට පොරොන්දු වී ජනතාවගේ ඡන්දය ලබාගත් හංසයා ලකුණ පක්ෂයේ සභාපති ලෝකයේ බැංකු අතර වංචා සිදු කොට බන්ධනාගාර ගත කොට ඇති බවට චෝදනා එල්ල වෙනකොට "යහපාලනය" ගැන තවත් කුමක් කතා කරන්න තියේද කියා දන්නේ නැත.

කතාවට කියන්නේ හංසයන්ගේ පිහාටුවල කිසිම දෙයක් ගෑවෙන්නේ නෑ කියාය. ඒකට හේතුව වන්නේ හංසයාගේ පිහාටු තෙල් ගතියකින් යුක්ත වීමලු.
ඒ නිසාම හින්දු සාහිත්‍යයේ හංසයාව සලකන්නේ පිරිසුදු බවේ සංකේතය කියලා.
කතාවට නම් කියන්නේ හංසයා දියෙන් කිරි වෙන් කරගන්නට දක්ෂයා කියලාය. බැලුවම පේන්නේ මොන දේටත් වඩා හංසයා හොරකම් කරන්න හරිම දක්ෂ බවය. හංසයාගෙන් ආව ෆොන්සේකා හිරේ ගියේය. රවිට අස්වෙන්න වුණේය. සභාපති වෙච්ච ශලීලට අත්අඩංගුවේය. එහෙම බැලුවම හංසයාගෙන් ආව බොහෝ දෙනකුගේ කල දවස ඒ තරම් හොඳ බවක් පේන්නට නැත.

'ඇතැම් විට, අපට මේ උෟරන් පැරද විය නොහැකි වනු ඇත. එහෙත් උන් සමඟ එක් නොවී සිටීමට අපට හැකි විය යුතුය'. බොබ් ඩිලන් කිව්වේ එහෙමය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්