බැංකු හොරු සහ ලෝක හොරු

  👤  2731 readers have read this article !
2017-10-12

ගුරුවරයා හිටගෙන සුළුදිය හලනවිට ගෝලයන් දුව දුව සුළුදිය හලන්නේ යැයි කියමනක් ඇත. එය සිහියට නැඟුණේ 'තායිවාන බැංකු හොරකම' ගැන ඇසූ විටය.
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි 'සිටි' බැංකු මූලස්ථානයේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වී තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 2.104ක් වංචා කර ඉන් ඇමෙරිකන් ඩොලර් මිලියන 1.1ක මුදලක් ලංකාවේ බැංකුවක ගිණුමකට බැරකර ඇත. මේ වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ, හිටපු මුදල් ඇමැති රවි කරුණානායකගේ හිතවතකු ලෙස සැලැකේ. ඔහුව සභාපති ධුරයට පත්කර ඇත්තේ රවි කරුණානායක මහතා විසිනි. 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ඉදිරිපත් කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සභාපතිවරයා වන්නේද ශලීලය.

සිද්ධියේ ප්‍රධාන ශ්‍රී ලාංකික සැකකරු වන ජනක චමින්ද නම්මුනි මීට පෙර අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. දෙවැනි සැකකරු පළමුවැනි සැකකරු සමඟ බැංකුවට පැමිණ ඇති අතර රුපියල් මිලියන 30ක මුදලක් ලබාගෙන ඉන් රුපියල් මිලියන 20ක මුදලක් දෙවැනි සැකකරුට ලබාදී ඇත. දෙවැනි සැකකරු ඒ මුදලින් මිලියන 15ක් ඉන්දියන් ජාතිකයන් දෙදෙනකුට ලබාදී තිබෙන අතර ඔවුන් රටින් පලාගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ මහ බැංකුව කොල්ලකෑමට පමණක් නොව, ජාත්‍යන්තර බැංකු වුවද කොල්ලකෑමට සමතුන් මෙරට සිටින බව මින් පැහැදිලිය. ගෝලයන්, සිය ගුරුවරුන්ගෙන් ඉතා හොඳින් ඉගෙන ගෙන ඇති බව පෙනේ.
අලි මදිවට හරක් කීවා සේ, මහ බැංකු බැඳුම්කර වංචාවෙන් අපකීර්තියට පත්ව ඇති ලංකාව මෙවැනි ජාත්‍යන්තරයට සම්බන්ධ වංචා නිසා තවදුරටත් අපකීර්තියට පත්වීම නොවැළැක්විය හැකිය. මෙරටට පැමිණෙන ආයෝජකයන්ට මේ තත්ත්වය ඉතා අයහපත් ලෙස බලපායි. දේශීය මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ විශ්වාසය බිඳ වැටීම එතරම් යහපත් තත්ත්වයක් නොවේ.

පසුගිය කාලයේ රටේ ආර්ථිකය වංචාව, දූෂණය හා අකාර්යක්‍ෂමතාව නිසා බිඳ වැටුණු බවට චෝදනා කළ පිරිස්ම මෙලෙස වංචා දූෂණවලට හසුවීම බරපතළ කාරණයකි. ශක්තිමත් ආර්ථිකයක්, මූල්‍ය විනයක් ගැන ආණ්ඩුවේ නායකයන් කරන කතා සුරංගනා කතාවලට වෙනස් නොවන බව සබුද්ධික ජනතාවට අවබෝධ වීමට පෝය දෙක තුනක් ගතවිය යුතු නැත.

අපරාධකරුවන්ට මෙන්ම මූල්‍ය වංචාකරුවන්ට අනිවාර්යෙන්ම දඬුවම් දිය යුතුය. එහෙත් වැටත් නියරත් ගොයම් කනවා නම් කාට කියන්නද? ඒ අමාරුව කියා මඟහැර යා නොහැකි අර්බුදයකට රට මුහුණදී සිටී. ආණ්ඩුවේ වගකීම වන්නේ කුමන තරාතිරමක වුවද දූෂකයන්ට කිසිදු බුරුලක් නොදීමය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්