මීයක් කඩන්නේ අත ලෙව කන්නද?

  👤  1192 readers have read this article !
2017-10-10

මත්තල රැක ගැනීමේ උද්ඝෝෂණයට ගිය තරුණ මාධ්‍යවේදියකුට පොලිසියේ ඉහළ නිලධාරියෙක් කන පැළෙන්න ගසන ආකාරය පසුගියදා මුළු රටම දුටුවද පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක එය දැක නොතිබිණි. මාධ්‍ය ප්‍රකාශක පමණක් නොව පොලිස්පති ඇතුළු රජයේ කිසිදු වගකිවයුතු නිලධාරියෙක් එය නොදුටු බවත්, මානව හිමිකම් වෙනුවෙන් දිවා රෑ මොර දෙන දේශීය හා විදේශීය සංවිධානද එය නොදකින බවත්, රතුපස්වල මිනිසුන්ට වෙඩි තියපු එකේ කනට ගැහුවාම මොකද කියා අහවල් සහෝදරවරු අසන බවත්, ආණ්ඩුවට විරෝධය දක්වනවට ඕකුන්ට කනට නෙවෙයි ගහන්න වටින්නේ කියා සිතන මන්දබුද්ධිකයන් කොටසකුත් මේ රටේ ඉන්න බවත් අපි දනිමු.

නිලධාරියා පහර දුන්නේ අදාළ තරුණයා අත්අඩංගුවට පත්වූවාට පසුවය. පහර කන වේලේත් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු ඔහුගේ අත් අල්ලාගෙන සිටීමෙන් තරුණයා ඒ මොහොතේ සිටියේ පොලිස් අත්අඩංගුවේ බව ඔප්පු වේ. අත්අඩංගුවට පත්වූ අයකුට පහරදීමට කිසිදු පොලිස් නිලධාරියකුට නීතිමය අවසරයක් නොමැති බවත් ඒ නිසා එදා ඒ රූපවාහිනි තිරයේ මුළු රටම දුටුවේ පැහැදිලිවම මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනයක පැහැදිලි සාක්‍ෂියක් බවත් අප රටේ බොහෝ දෙනෙක් නොදනිති. මේ උදාවී තිබෙන්නේ අන්ධකාරයේ හෝරාවයි. මංමුළා වී සිටින ජනතාවකට තම පුරවැසි අයිතීන් කියාදීම අසීරු කරුණකි.

2015 ජනවාරි 8දා වෙනසක් පැතූ ජනතාව පත්කර ගත් නව ආණ්ඩුව බෞතීස්ම ලැබුවේ 'යහපාලන ආණ්ඩුව' ලෙසය. 'යහපාලන' යන්නේ තේරුම රටේ කී දෙනකු එදා දැන සිටියා දැයි මම නොදනිමි. මොන පාලනයක් වුණත් රාජපක්‍ෂ පාලනයට වඩා හොඳයි කියා කතිරය ගැහුවා මිස තම ඡන්දයෙන් පත්කර ගන්නේ කුමන ආකාරයේ පාලකයන් පිරිසක්ද, ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් මොනවාද? ඔවුන් මෙතෙක් පෙනී සිට ඇත්තේ කුමන මතවාදයන් වෙනුවෙන්ද යන කරුණු පිළිබඳ නිසි අවබෝධයක් ඇතිව මේ බොහෝ දෙනකු ඡන්දය භාවිත කර නැති බව නම් මේ වන විට සක්සුදක් සේ පැහැදිලිය.

යහපාලනයක් ඇති තැනක නීතිය සැමට සමාන විය යුතුය. විවිධ අක්‍රමිකතාවලට සම්බන්ධ යැයි සැක පිට දේශපාලන ප්‍රතිවාදීන් තොග පිටින් අත්අඩංගුවට ගෙන මාස ගණන් ඇප නොදී තියාගත්තත් අද වන තුරු ඔවුන්ගෙන් බොහෝ දෙනකුට නඩුවක් ගොනුකර ගන්නට ප්‍රමාණවත් සාක්‍ෂි නැතිව ළතවෙන ආණ්ඩුව ලංකාවේ ලොකුම හොරකම කළ තක්කඩි රැළට නම් අතවත් නොතියයි. ජනාධිපති කොමිසමක්ද දමාගෙන කල් මැරුවාට අවසානයේ දඬුවමක් දීමට මේ කොමිසමට බලයක් නොමැත. ඒ කෙසේ වෙතත් කොමිසම හමුවේ නිසි ප්‍රශ්න අසා හොරුන්ගේ නිරුවත හෙළිකළ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ව නම් අගය කළ යුතුමය.

යහපාලනය ඇති තැන වංචා දූෂණ තිබිය නොහැකිය. එහෙත් යථාර්ථය නම් වත්මන් ආණ්ඩුව ලංකා ඉතිහාසයේ දූෂිතම ආණ්ඩුව බවයි. මේ බලයට පැමිණ සිටින්නේ වරායවල්, ගුවන්තොටුපොළවල් වැනි ආර්ථික මර්මස්ථාන විකුණා යුද්ධයක් නැති රටකට බිලියන ගණන් ගෙවා පරණ යුද නැව් මිලදී ගන්නා රජයකි.

එදා රත්රන්වලින් පාරවල් හදනවාදැයි අසා බලයට පැමිණ, පසුගිය ආණ්ඩුව ගෙවූ මුදලටත් වඩා අති විශාල මුදල් ප්‍රමාණයක් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන ආණ්ඩුවක්. ආණ්ඩුවේ ලොකු ලොක්කන්ගේ පගා ගැසීම්වලට සම්බන්ධ වූවා යැයි අසුවී පිටරට සමාගම් ඕස්ට්‍රේලියාවේදී තහනම් වෙද්දී නොදුටු නොඇසූ ලෙසින් සිටින ආණ්ඩුවක්. ඇමැතිවරයකුගේ පෞද්ගලික ආයතනයක සභාපතිවරයකු කෝටි ගණන් මුදල් බෑග්වල දමාගෙන විත් ඇමැතිවරයාට සුපිරි නිවාස මිලදී ගත් බවට ජනාධිපති කොමිසමක් ඉදිරියේම සාක්‍ෂි හෙළිවුවද මේ මුදල් විශුද්ධකරණයක් නොවේදැයි නොඅසන ආණ්ඩුවක්.

ලංකාව අද මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදයට මූලිකම හේතුවක් වූයේ මහ බැඳුම්කර කොල්ලය තුළින් රටට සිදුවූ රුපියල් ටි්‍රලියනයක පමණ පාඩුවයි. මේ තුළින් සේවක අර්ථසාධක අරමුදලට පාඩු විය. මහ බැංකුවට පාඩු විය. අනෙකුත් රාජ්‍ය බැංකුවලට පාඩු විය. දේශීය රාජ්‍ය ණයවලට ගෙවන්නට තිබූ පොලිය ඉහළ ගියේය. රුපියල බාල්දු වීම හරහා විශාල ආර්ථික අලාභයක් රටට සිදුවිය. ව්‍යාපාර ණය සඳහා පොලී අනුපාතයන් ඉහළ ගොස් දේශීය ආර්ථිකයට මරු පහරක් වැදුණි. මහ බැංකු බැඳුම්කර කොල්ලයෙන් වූ පාඩුවේ විශාලත්වය මුලින්ම රටට ප්‍රසිද්ධියේ පැවැසීමේ ගෞරවය හිමිවන්නේ මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතාටය.

ඔහු කී ආකාරයට බැඳුම්කර කොල්ලය නිසා වූ සෘජු හා වක්‍ර පාඩුව රුපියල් ටි්‍රලියනයක් හෙවත් කෝටි ලක්‍ෂයකි. ටි්‍රලියනයක් යනු 2015 රටේ ආර්ථිකයෙන් 10%කි. හොරකමෙන් රටට වූ හානිය කෙතරම් විශාලදැයි ඒ අනුව පාඨකයාට වටහා ගත හැකිය.

ආණ්ඩුව දිගින් දිගටම ඡන්ද කල් දමමින් සුද්දා අපට තියෙනවා යැයි බොරු කයිවාරු ගැසූ ප්‍රජාතාන්ත්‍රික අයිතිය අපෙන් උදුරා ගනිමින් සිටියි.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික අයිතියකි. අද මේ ආණ්ඩුවේ කිසිදු ක්‍රියාවක් පිළිබඳ සාමකාමී මහජන උද්ඝෝෂණයක් නිදහසේ කරන්නට ඉඩක් නැත. ඒ පොලිසිය හැරෙන පමාවෙන් උද්ඝෝෂණය වැළැක්වීමට වාරණ නියෝග ගන්නා නිසාය. ඒ අනුව සෑම උද්ඝෝෂණයක්ම පටන් ගන්නටත් පෙර නීති විරෝධී වෙයි. අවසන් වන්නේ පොලිස් ප්‍රහාරයකිනි. ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යහපාලන වෙනසක් සඳහා ගෙනා උදවිය උදුරාගෙන ඇත්තේ එසේය.

එදා පොලිසිය හෝ හමුදාව කරන ඕනෑම වරදකට අපේ රටේ ඊනියා උගතුන් පිරිස ඇඟිල්ල දික් කළේ රටේ පාලකයන්ටය. යහපාලනය යටතේ පොලිසිය සරසවියේ සිසුවියන්ට පවා ඔළු පැළෙන්නට බිම දමාගෙන ගහන විට, අන්තර්ජාතික මානව හිමිකම් නීති පවා උල්ලංඝනය කරමින් තෝරාගත් උද්ඝෝෂකයන්ට මුහුණට එල්ල කොට කඳුළු ගෑස් කැනිස්ටර් වෙඩි තබන විට, රූපවාහිනි කැමරා ඉදිරියේම මාධ්‍යවේදීන්ගේ බෙල්ල මිරිකන විට, කන් පැළෙන්න ගසන විට ඒවාට වගකියන පාලකයෙක් අද නැත. ඒ වුණාට රතුපස්වල වගේ කාටවත් තාම වෙඩි තියලා නැහැනේ කියන්නට තරම් බොළඳ පිරිසක්ද තවමත් ඉතුරුවී සිටිති. ඇඟ රත්වෙන්නේ උණ හැදෙන්නට බවත් කිඹුහුම් යන්නේ හෙම්බිරිස්සාව හැදෙන්නට බවත් හිතාගන්නට බැරි අය මෙන් ඔවුහු මුහුණු පොතේ කොමෙන්ට් දමමින් සිටිති. ලබ්බට තිබ්බ අත ඊළඟට තියන්නේ පුහුලට බව ඔවුහු නොදනිති.

ලෝකයේ බොහෝ රටවල දේශපාලනය හසුරවනු ලබන්නේ විදේශීය බළල් අත් මඟිනි. මේ තත්ත්වයට පත්වූ සෑම රටක්ම අවාසනාවන්ත රටක් ලෙස හැඳින්විය හැක්කේ උගුලට අසුවූ පසු ගොඩ ඒමක් නැති බැවිනි. එම තත්ත්වයට පත්වූ රටවල් කිසිදිනක දියුණු නොවන අතර කිසි දිනක සාමකාමී පරිසරයක් ඒ රටවල ඇතිවීමට මේ අදිසි බලවේග ඉඩ නොදෙති. ඒ ප්‍රශ්න ඇති රටක් තුළ ඔවුන්ට ක්‍රියාත්මක වීමට පහසු නිසාය.

1948 බි්‍රතාන්‍යයෙන් නිදහස ලැබූ දා සිට වසර 60කටත් වැඩි කාලයක් ලංකාවේ දේශපාලනයට ඇඟිලි ගසන්නට කිසිදු බාහිර බලවේගයකට අවශ්‍යතාව නොතිබිණි. එහෙත් දෙමළ ඩයස්පෝරාවත්, බොහෝ කලකින් ඡන්දයක් ජය ගැනීමට නොහැකිව සිටි එක්සත් ජාතික පක්‍ෂ නායකයාත් දිගින් දිගටම ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන ලෙස විවිධ විදේශීය බලවේගවලට ආයාචනා කරමින් සිටියහ.

මේ ඇරයුම්වල ප්‍රතිඵලයක් ලෙස පසුකාලීනව ඇමෙරිකානු, නෝර්වේ, බි්‍රතාන්‍ය ප්‍රමුඛ බටහිර බලවේගවලට යම් උනන්දුවක් ලංකාව සම්බන්ධයෙන් ඇතිවී තිබුණද ලංකාවේ තිබූ ශක්තිමත් දේශපාලන නායකත්වය නිසා ඔවුන්ට කළ හැකි බලපෑම සීමිත විය. නෝර්වේ රාජ්‍යයේ එරික් සෝල්හයිම් රනිල් වික්‍රමසිංහ අල්ලා ගෙන 2002 සාම ගැටයක් ගැසුවද වසර කිහිපයක් තුළ සිදුවූ ආණ්ඩු වෙනස නිසා ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට සෘජුව ඇඟිලි ගැසීමේ අවස්ථාව මේ විදේශ බලවේගවලට යළිත් අහිමි විය.

2010දී සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරය හරහා යළිත් මේ බළල් අත ක්‍රියාත්මක වුවද ඒ අවස්ථාවේ ඉතා ජනප්‍රියව සිටි මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමට ඔවුන්ට කල් මදි විය. විශේෂයෙන්ම සරත් ෆොන්සේකා මහතා තමුන්ට ලබාදී තිබුණ තිර පිටපත අනුව රඟපානවා වෙනුවට තමුන්ම අධ්‍යක්‍ෂ වන්නට ගොස් නළුවාගේ සැබෑ චරිතය ඡන්ද දායකයාට ඉතා සුළු කලකින් හඳුනාගන්නට ඉඩ සැලසීමෙන් පරාජය වූ නිසා තවත් කලක් බලා ඉන්නට විදේශ බලවේගවලට සිදුවිය.

සියල්ල උඩු යටිකුරු කරමින් මහින්ද රාජපක්‍ෂ පරාජය කරවා තමන්ට අවශ්‍ය ආණ්ඩුව ස්ථාපිත කරන්නට මේ බලවේගවලට අවස්ථාව ලැබුණේ 2015දීය. ඒ 2010දී ආරම්භ කළ සැලසුම් නොනවත්වා ඉතා සූක්‍ෂ්ම ලෙස දිගටම ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඒ සඳහා කෝටි ගණනින් මුදල් වියදම් කරන ලද අතර බල පෙරළිය සඳහා විදේශ රජයන්ගෙන් පවා මුදල් වෙන්වූ බව පසු කලෙක අන්තර්ජාලය වෙත යමකු විසින් මුදාහැර තිබූ රහස් වාර්තාවලින් හෙළිවිය. පසුගිය ආණ්ඩුවේම ඉහළ තනතුරු දැරූ සමහර පුද්ගලයන් අතින් සිදුවූ යම් යම් අනුවණකම් නිසා මේ කටයුත්ත වඩාත් පහසු විය.

'නොමිලේ ඔබට කිසිවෙක් දවල් කෑමක් දෙන්නේ නැත' කියා ඉංගී්‍රසි කියමනක් ඇත. එදා විපක්‍ෂයට බලයට ඒමට උදවු කළ අදිසි බලවේග එය කළේ පුණ්‍යකර්මයක් ලෙස සලකා නොවේ. කළ උදව්වට වන්දි ගෙවිය යුතු විය. මේ සඳහා කොන්දේසි මුලින්ම පනවා තිබිණි. රාජපක්‍ෂලාට යළි බලයට ඒමට වැට බැඳීම, රණවිරු දඩයම හරහා වීරෝදාර ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන්ට අපකීර්තිය ගෙන ඒම හා 30 වසරක යුද්ධයෙන් බෙදුම්වාදීන්ට ඉටුකර ගත නොහැකිවූ වෙනම රාජ්‍යය ව්‍යවස්ථා මගඩියක් හරහා ලබාදීම මේ පූර්ව කොන්දේසි අතර වේ.

මේ කොන්දේසි ක්‍රියාත්මක කරන රජයක් සුළු කලකින් මහජන අප්‍රසාදයට ලක්වන බවත් ඉන් පසු බලය පවත්වාගත හැක්කේ මර්දනය තුළින් පමණක් බවත් වත්මන් පාලකයෝ හොඳින්ම දනිති. ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව තුළ බහුතර කැමැත්ත නැති අයකු අගමැතිවරයා ලෙස පත්කිරීමෙන් ඇරැඹුණු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමය, ව්‍යවස්ථා විරෝධී ආකාරයට රටේ අග විනිසුරුවරයා ඉවත් කිරීම, මහ ඡන්දයක් මැද රටේ ප්‍රධානතම දේශපාලන සංවිධානයක හා පක්‍ෂයක ලේකම්වරුන් තනතුරුවලින් පහ කිරීම හරහා ඡන්ද ප්‍රතිඵලයට බලපෑම් කිරීම, වසර දෙකකුත් මාස පහකට වැඩි කාලයක් තිස්සේ පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයන් පත්කර ගැනීමට මහජනයාට ඇති අයිතිය අසුරමින් ඡන්ද නොපවත්වා සිටීම, ඉතිහාසයේම දූෂිතම කතානායකවරයා යැයි වත්මන් කතානායකවරයා පාර්ලිමේන්තුව තුළ හඳුන්වනු ලබන ආකාරයේ මගඩියක් හරහා පනතක් සම්මත කොට, ශේ‍ර්ෂ්ඨාධිකරණ නියෝගවලටද කොකා පෙන්නමින් පළාත් සභා ඡන්ද කල් දැමීම වැනි ක්‍රියාදාමයක් හරහා ඉදිරියට යමින් පවතී.

'මීයක් කඩන්නේ අත ලෙව කන්නද?' කියා පැරැණි කියමනක් ඇත. කඩා ගත් පැණි වදය ආපසු දෙන්නට බලාපොරොත්තුවක් එය කාගෙන කාගෙන යන අයට නැති බව නිසැකය. ආණ්ඩුවේ වත්මන් හැසිරීම හොඳින් අධ්‍යයනය කරන අයකුට අද පවතින තත්ත්වය එන්න එන්නම බරපතළ වෙනවා මිස ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් මේ ආණ්ඩුවෙන් නම් නොලැබෙන බව සිතාගන්නට මහා බුද්ධියක් අවශ්‍ය නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්