සාහිත්‍ය සැප්තැම්බරයේ කතාබහට ලක්වූ පොත්

  👤  1336 readers have read this article !
2017-10-08

සැප්තැම්බරයට සමහරු බිනර මාසය කියද්දී සමහරු කියන්නේ 'සාහිත්‍ය මාසය' කියලාය. තවත් සමහරු කියන්නේ 'පොත් ව්‍යාපාරිකයන්ගේ මාසය' කියලාය. කොයි කෙසේ වෙතත් මෙවක සැප්තැම්බරය මුද්‍රාගත වන්නේ 'සාහිත්‍ය මාසය' යනුවෙන්ය. එහි කූටප්‍රාප්තිය වන්නේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාව පරිශ්‍රයේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයය.

1999 අවුරුද්දේ ජාතික කලාභවනේදී කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පොත් සල්පිල නමින් ආරම්භ වන පොත් ප්‍රදර්ශනය, ක්‍රමානුකූලව මෙරට විවිධ සමාජ ස්ථරයන් සංස්පර්ෂ කරනු ලබන එක්තරා විලාසිතාමය කටයුත්තක් තරම්ම සමාජගතවී හමාරය. ආරම්භක අවුරුද්දේ වෙළෙඳ කුටි තිබුණේ විසි හයකින් සමන්විත වූ එය මේ වසර වන විට විදේශීය කුටි පනස් දෙකක් ඇතුළුව කුටි හාරසිය දහයක් දක්වා ව්‍යාප්තව තිබේ.

දැන් දැන් ලේඛකයන් කෘති රචනා කරන්නේම සැප්තැම්බරයේ පොත් ප්‍රදර්ශනය ඉලක්ක කොටගෙනය. එක්තරා අතකට එය මඟහැරයා නොහැකි කටයුත්තක් තරමටම සාහිත්‍යකාමී සමාජ ස්ථර විසින් අල්ලාගෙනය.

කෘතියක් අලෙවි කරගන්නට තියෙන හොඳම කාලය ලෙස බොහෝ දෙනා සලකන්නේ සැප්තැම්බරය වීම නිසාම ලේඛකයන් ස්වකීය කෘති එළිදැක්වීම සේම මුද්‍රණය කිරීම්ද කඩිනම් කරන්නේ මේ මාසය ඉලක්ක කරගෙනමය.

හැම වසරකම කතාබහට ලක්වෙන කෘති කිහිපයක්ම පාඨකයා අතට පත්වීම නොවරදවාම සිදුවන්නකි. එක අතකට ප්‍රධාන පෙළේ සම්මාන උළෙට පසුව පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන නිසාම ඒ කෘති වඩාත් පහසුවෙන් සාහිත්‍යකාමීන් වෙත සමීප වෙයි. රාජ්‍ය සාහිත්‍ය සම්මාන, ස්වර්ණ පුස්තක සම්මාන,ෆෙයාවෙල් සම්මාන, ගොඩගේ සම්මාන, රජත පුස්තක සම්මාන ඇතුළු විවිධ සම්මාන විශාල ප්‍රමාණයකට හිමිකම් කී කෘති රැසක්ම අලෙවිය අතින්ද සෙසු කෘතිවලට වඩා ඉදිරියක් ගෙන තිබිණි.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මඟින් සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ 11 වැනි වරටය. එහිදී තරගය සඳහා ඉදිරිපත් වූ නවකතා 99ක් අතරින් 2016 වසරේ පළවූ විශිෂ්ටතම නවකතාව ලෙස ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූයේ විදර්ශන ප්‍රකාශකයන් විසින් පළ කළ නිශ්ශංක විජේමාන්න විසින් රචිත "හ¼ද පළුව තනි තරුව" කෘතියයි.

මේ වසරේ විශාල අලෙවියකට සේම කතබහකට ලක්වූ නවකතාව වන්නේ 'හඳ පළුව තනි තරුව' නවකතාවය. අවසන් වටයට තේරුණු ගරුඬ මුහුර්තය (කීර්ති වැලිසරගේ), සිය සියපත්විල (සුමිත්‍රා රාහුබද්ධ), වණ්ණදාසි (කත්‍යානා අමරසිංහ) හා ප්‍රංශ පෙම්වතා (ශාමෙල් ජයකොඩි) නවකතාද කිසියම් කතාබහක් සාහිත්‍ය ප්‍රේමීන් තුළ ඇති කරන්නට සමත් විය. සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ සේම මාධ්‍ය ක්ෂේත්‍රය තුළද නමක් දිනා සිටින කත්‍යානා අමරසිංහගේ 'චණ්ණදාසි' කෘතියද ඒ අතරින් සෑහෙන කතාබහක් ඇති කරන්නට සමත් විය.

ඒ කෘති සියල්ලම පාහේ ලියැවෙන්නේ ඉකුත් වසරේය.

මේ වසරේ ලියැවි කෘති අතරින් පොත් ප්‍රදර්ශනය ආශ්‍රිතව කතාබහක් ඇති කරන්නට 'නිර්වාණ' කෘතිය ලියූ උපුල් ශාන්ත සන්නස්ගලට හැකිවිය. ඔහු 'නිර්වාණ' හඳුන්වා දෙන්නේ 'සිනෙ නොවෙලාව' ලෙසය. සාහිත්‍ය මාසයට සති කිහිපයකට පෙර සිටම මේ කෘතිය පිළිබඳ කතාබහක් සමාජජාල මතුයෙහි පටන් ගත් අතර කෘතියේ ජනප්‍රියතාවට එයද හේතු විය.

මේ අතර ආන්දෝලනාත්මක කතාබහක් ඇති කළ කෘතියක් ලෙස චින්තන ධර්මදාසගේ 'ෆැකල්ටි ඔෆ් සෙක්ස්' කෘතිය හැඳින්විය හැකිය. නිර්දය විවේචන සේම උග්‍ර දෝෂාරෝපණද මැද ඒ කෘතිය ද කිසියම් කතිකාවතක් ඇති කරන්නට සමත් විය.

අනුරසිරි හෙට්ටිගේ විසින් රචිත පණ්ඩක පුත්‍ර වස්තුව නවකතාවකද කතාබහක් ඇතිකළ කෘතියක් විය. සුවඳ සන්නිය (සේපාලි මායාදුන්න), නිකිණි කළුවර(දීප්ති මංගලා රාජපක්ෂ), න ගච්ජති (පද්මිණි සෙනෙවිරත්න)

සප්තපර්නී (සුසන්ත මහඋල්පත) රැජින (මොහාන් රාජ් මඩවල) භෂ්මාවශේෂ (චන්ද්‍රසිරි ‍ෙදාඩන්ගොඩ) යන කෘති සම්මාන සඳහා නිර්දේශ වීම පදනම් කොටගෙන කිසියම් කතාබහක් ඇති කරන්නට සමත් විය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම කෙටි කතාව ලෙස සම්මානනීය ප්‍රභාත් ජයසිංහ ගේ 'මකර තොරණ' කෘතිය කෙටි කතා පොත් අතර කතාබහක් ඇතිකරනු ලැබීය.
එම උළෙලේ හොඳම කාව්‍ය ග්‍රන්ථය වූ ලක්ශාන්ත අතුකෝරලගේ 'සමහර කමටහන්' කෘතිය අලෙවිය සේම කතාබහ අතරින්ද තැනක් හිමිකර ගත්තේය. කාංචනා අමිලානී ලියූ 'භූමරංගය' කෘතියද පාඨක අවදානය ලක් වූ කෘතියක් විය. ඊට අමතරව ඉසුරු චාමර සෝමවීරගේ 'අප දෙදෙන මැද මහ මුහුද', ඉන්දික ගුණවර්ධනගේ 'සුලිමැද පිපි තඹර' යන කාව්‍ය ග්‍රන්ථද පාඨකයා අතර ප්‍රකට විය.

එරික් ඉලයප්ආරච්චි ලියූ 'බැග්ඩෑඩ්' කෘතිය කෙටිකතා කෘති අතර කතාබහක් ඇති කරද්දී, මංජුල වෙඩිවර්ධන ලියූ දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා ද සාහිත්‍යකාමීන් අතර සංවාදයක් ඇති කළේය.

මෙවර දක්නට ලැබුණු තවත් විශේෂත්වයක් වූයේ පුද්ගල සංවර්ධන හා ධනාත්මක චින්තන කෘතිවලට තිබූ ඉල්ලුමය. ඒ අතරින් කැලුම් වැලිගම ලියූ 'ජීවිතය වෙනස් කරන කතා' 'තරගයේ වීරයා' වැනි කෘති බොහෝ සෙයින් අලෙවි වූ අතර ඔහු රචිත 'පර්සෝනා' නවකතාවද අලෙවියෙන්ද ඉදිරියට පැමිණ තිබිණි.

මෙවර සාහිත්‍ය මාසයේ නව ප්‍රවණතාවක් වූයේ සමාජ සමීක්ෂණ සහ විවිධ කාණ්ඩයේ කෘති සඳහා තිබූ ඉල්ලුම සහ කතාබහය. ඒ අතරින් කසුන් පුස්සෙවෙල ලියූ 'වැලිකඩ' කෘතිය සතියක් තුළ තෙවරක් මුද්‍රණය කරන්නට සිදු විය. වැලිගඩ සිරුකරුවන් ඝාතන සිද්ධිය පිළිබඳ එම කෘතිය රචනා වී තිබීම ඊට හේතුවන්නට ඇත. චරිත කතා අතර අලෙවිය 'චතුරිකා සිරිසේන ලියූ 'ජනාධිපති තාත්තා' කෘතියට ඉල්ලුමක් තිබිණි.

තීරු ලිපි රචකයකු ලෙස නමක් දිනා සිටින සහන් කසීර වික්‍රමසිංහ ලියූ 'වචන 400' කෘතියද සෑහෙන කතාබහක් ඇති කළ කෘතියකි. ඒ සමඟම ගයාන් අබේසිංහ විසින් රචිත 'ඇස් තෙත් කළ මතක' කෘතියද සෑහෙන කතාබහක් ඇති කරනු ලැබීය.

කෙසේ වෙතත් වෙනදාට තරම් ඉල්ලුමක් සහ කතාබහක් 'යොවුන් ආදර කතාවලට" තිබූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඒ වෙනුවට ආගමික කෘති සහ සමාජ කෘති කෙරෙහි පාඨකයා ආශක්ත වී සිටිය අයුරුද දැකගත හැකි විය.

අවසන් වශයෙන් මේ සටහන නිමා කරන්නට පෙර ප්‍රවීණ ලේඛක, පොත් ප්‍රකාශක උපුල් ශාන්ත සන්නස්ගල විසින් කී කතාවක් සටහන් කිරීම වටී.

'වෙළෙඳ සංස්කෘතියක් වගේම කියැවීමේ සංස්කෘතියක් ඇති කරන්න පුළුවන් කියන එක තමයි මගේ යෝජනාව. ඒක ටිකක් අමාරු වැඩක්. ගොඩාක් අය කියනවා ලංකාවේ සාහිත්‍යය වර්ධනය වෙලා නෑ. පොත් විකිණෙන්නේ නෑ. ලියලා වැඩක් නෑ. සින්දු ඉවරයි. චිත්‍රපට ඉවරයි. පත්තර කලාව ඉවරයි කියලා විවේචනයක් තියෙනවා. මම නම් කියන්නේ ඒක හැමදාම තිබුණ දෙයක්. තොග ගාණට ලේඛකයෝ, සාහිත්‍ය විචාරකයෝ ලෝකේ කොහේවත් නෑ නේ. මම නම් කියන්නේ සාහිත්‍යය ඉවර නෑ.'

රංජිත් සමරකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්