රාජසිංහ රජ්ජුරුවන්ගේ තඩි බඩ පළන්න ගිය හාමුදුරුවෝ

  👤  1855 readers have read this article !
2017-10-08

මහනුවර රජ මාලිගය ආසන්නවම පැවැති විහාරය මල්වතු විහාරයයි. රජු බෞද්ධයකු වුවද රජු සමඟ උරණවූ මෙම විහාරයේත් වැඩසිටි සංඝයා වහන්සේ කිහිප නමකටම රාජ නියෝගය මත ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවිණි.

මහනුවර සංඝරාජ හිමියන්ගේ ගෝල නමක් වූ කුංකුනාවේ හාමුදුරුවෝ එකල මහා සංඝයා අතරින් වඩාත් ප්‍රසිද්ධියට පත්වූ හිමි නමකි. නහය මුක්කන් වීම නිසා උන්වහන්සේ පවසන වචන තේරුම් ගැනීමට අපහසු වුවත් උන්වහන්සේට කිසිවකු සරදමක් කිරීමට වත් ඒ පිළිබඳව යමක් කීමට වත් සියලු දෙනාම බියව සිටියේ උන්වහන්සේ වස් කවි කීමේ අති දක්ෂයකු බව කවුරුනුත් දන්නා හෙයිනි. උන්වහන්සේ ඇතැම් විට අනෙක් අයව අපහසුතාවට පත්වන අන්දමින් විහළු තහළු කළත් ඒවා සියල්ලම ඉවසා දරා ගන්නට සිදුවිය.
දිනක් කුංකුනාව නම් වූ උන්වහන්සේ ගමේ සිට සාමණේර නමක් පැමිණ මල්වතු විහාරයේ වැඩසිටින මහ නායක හිමියන් බැහැදැකීමේ බලවත් ආශාවක් පවත්නා බව පවසා එයට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ කුංකුනාවේ හිමියන්ගෙනි.

කතාබහෙන් සාමණේර හිමියන් මෝඩපහේ අයකු බව තේරුම් ගත් කුංකුනාවේ හාමුදුරුවෝ එය ඉතා අපහසු කටයුත්තක් බවත් ඒ සඳහා සිරිත් විරිත් කිහිපයක් අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු බවත් එම සිරිත් විරිත් ඉටු කරන්නේ නම් පමණක් මහනායක හිමි හමුවන්නට අවස්ථාව ලබාදිය හැකි බවත් සාමණේර හිමියන්ට පැවැසූහ. එසේ පැමිණෙන්නේ නම් අ¼දන සිවුරු 03ක්, වටාපත් 03ක්, කහපාට ලේන්සු 02, ලොකු බුලත් වට්ටි දෙකක් රැගෙන එන ලෙස සාමණේර හිමියන් දැනුවත් කෙරිණි. ඒ සඳහා සුදුසු දිනයක්ද නියම විය.

දෙදෙනා වහන්සේ කතිකා කරගත් අයුරින් හා පොරොන්දු වූ පරිදි සියල්ල රැගෙන සාමණේර හිමි නියමිත දිනයේ නියමිත වේලාවටම පැමිණ සිටියේය. තම කාමරයට කැඳවාගෙන ගිය සාමණේර නමගේ බඩ මැදින් කතිරයක් සිටින සේ අ¼දන සිවුරු අන්දවා කන්දෙකට වටාපත් දෙකක්ද බඩ මැදට තවත් වටාපතක්ද සිටිනසේ සකස් කොට අත් දෙකට බුලත් වට්ටි දෙක තබා එය ලේන්සුවලින් ආවරණය කොට කැරකි කැරකී ගොස් සම්බුදු පිළිම වහන්සේ අසලම වැඩ සිටින හිමියන්ට එක බුලත් වට්ටියක්ද එයට දකුණු පසින් වැඩ සිටින අනෙක් හිමියන්ට අනෙක් බුලත් වට්ටිය දී දෙදෙනාටම දණ නමස්කාර කරන ලෙස කුංකුනාවේ හාමුදුරුවෝ උපදෙස් දුන්හ.

සාමණේර හිමි අකුරටම සියල්ල ඉටු කළේය. දිවා දානයට වැඩම කර සිටි අනෙක් මහා සංඝයා වහන්සේ්ට මෙම දසුන දැකීමෙන් සිනහව නවත්වා ගත හැකි වූයේ බොහෝ වේලාවකට පසුවය. මෙය නම් කුංකුනාවේ හිමියන්ගේ වැඩක් බව තේරුම් ගියෙන් එයට එම හිමියන්ට ටොක්කක් ඇනිය යුතු යැයි යෝජනා වුවත් එහෙම නම් වාඩිවී ඇති අනුපිළිවෙළට එය විය යුතු යැයි කුංකුනාවේ හිමියන් පවසත්ම සියල්ලන්ම නිහඬත්වය පළකර තිබේ.

මල්වතු විහාර බිමේ පැවැති එළවළු කොටුව පාලනය කර ඇත්තේද කුංකුනාවේ හිමියන්මය. සරුවට වැඩුණු එළවළු කොටුවේ සියලුම එළවළු පලා ආදිය යහමින් රෝපණය වී තිබිණි. ආසන්නව ඇති උඩවත්ත කැලෙන් පැමිණෙන උෟරු රැළක් නිසාවෙන් වගාවන්ට ටික ටික හානි සිදුවෙමින් පැවැතිණි.

මෙය ඉවසුම් නොදුන් කුංකුනාවේ හාමුදුරුවන් කීවේ එක වස් කවියකි. බඩවල් පැළී උෟරු රැළ කොටුවේම මරණයට පත්ව ඇති බව පසුදින දක්නට ලැබිණි. මෙම පුවත රජවාසලටත් සැලවිණි. දිවා කාලයේ එළවළු කොටුවට විනාශ කිරීමට පැමිණි දඬු ලේනුන්ටද අත්වූයේ එම ඉරණමමය.

දෙවැනි රාජසිංහ රජතුමන් රජ මාලිගය අසලින් වූ කුමාර වීදියේ ගමනාගමනය තහනම් කර තිබිණි. එය නොතකා කුංකුනාවේ හාමුදුරුවන් එම මාවත හරහා පිඬු සිඟා යනු තමාම දැකීමෙන් කෝපවූ රජු කුංකුනාවේ තෙරණුවන් රජමාලිගයට කැඳවාගෙන එන ලෙස නියම කළේය. කිහිප විටක්ම මල්වතු විහාරයට ගිය රාජපුරුෂයන් උන්වහන්සේ නැති බව රජු වෙත පවසා සිටියේය. එසේ නම් උදහස් ගැටය විහාරයේ ‍ෙදාරකඩ එල්ලා එන ලෙස රාජ නියෝගය විය. කිසියම් වරදකට වරදකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී එම පුද්ගලයා හෝ කිසිවකු එහි නොසිටියේ නම් ඒ බව දන්වන උපකරණයකි එකල පාවිච්චි කළ උදහස් ගැටය. වරදකරු එයද රැගෙන රජවාසලට පැමිණීම අනිවාර්ය කටයුත්තකි.

කුංකුනාවේ හාමුදුරුවෝ උදහස් ගැටය පන්සලේ එල්ලා ඇති බව දැක ඇතත් එය නොතකා පන්සලේ වැඩ සිටියහ. ඒ බව දුටු රාජසිංහ රජතුමා කටුපුල්ලේ නම්වූ රජුගේ පොලිසිය කැ¼දවා තෙරණුවන් රජවාසලට කැඳවාගෙන එන ලෙස නියම කළේය.

පොලිසිය විහාරයට ගොස් ඒ බව සැලකරවත්ම "හිටපල්ලා හිඟාගෙන ආ දේ වළඳනකන්" යැයි පවසා ඇතුළට ගියද බොහෝ වේලාවක් නොපැමිණීමෙන් යළිත් පන්සල ඇතුළට ගොස් ස්වාමිනී රජවාසලට යමු දැයි පවසා ඇත. "කාපුටික දිරවනකම් හිටපල්ලා" යැයි උන්වහන්සේගේ පිළිතුර විය. තවත් පැය කිහිපයකින් පසුව විමසා සිටීමේදී එසේ නම් කුමන ඇරන් වරෙල්ලායි තෙරණුවන් පවසා තිබේ.

කුමන යනු රජතුමා ඔසවාගෙන යන්නට සැකසූ උපකරණයකි. ඒ බව රජතුමා දැනුවත් කොට කුමන රැගෙන විත් එයට උන්වහන්සේ ඇතුළු කරවාගෙන ඔසවාගෙන යමින් සිටියදී උන්වහන්සේ අසලවූ මහා නුග ගසට වස් කවියක් කියන්නට වූහ. මුළු පුරවරයම හෙණ හඬ නංවමින් නුග ගස කෑලිවලට පැළී ගියේ මොහොතකිනි.

එම පුවත රජවාසලටත් සැලවී තිබිණි. රජවාසලට වැඩම කරවූ තෙරණුවන් රජු දකිත්ම" දැන ගන්නව හොඳයි අර නුග ගසට කළා වගේ ඔය තඩි බඩ පළා ගන්ට වුවමනාදැයි" පවසත්ම බියට පත් රජු උන්වහන්සේ වහාම ආපසු ඇරලවන ලෙස නියම කළේය.

රාජසිංහ රජුගෙන් පසු මහනුවර සිංහාසනයට පත්වූයේ නරේන්ද්‍රසිංහ රජතුමාය. මහා සංඝයා වහන්සේ 60 නමක් වැඩම කරවමින් රජමාලිගයේ දානයක් සංවිධාන විය. මල්වතු මහ නාහිමි පෙරමුණේ වැඩම කර සිටි අතර උපසම්පදාව අනුව මහ සංඝයා වහන්සේ පෙළගැසී සිටීමේදී අවසානයට හිටියේ කුංකුනාවේ තෙරණුවන්ය. පාත්‍රවලට දානය බෙදීම ආරම්භ විය. බත් සහ වෑංජන බෙදීමෙන් පසු බිත්තර බෙදීම සිදු කරන්නට යෑමේදී මල්වතු නාහිමියන් එය පමණක් අතින් ප්‍රතික්ෂේප කළ පසු පිළිවෙළින් අනෙක් හිමිවරුන් ද බිත්තර පාත්‍රයට ලබාගැනීමට ප්‍රතික්ෂේප කළහ. කුංකුනාවේ තෙරණුවන් පමණක් එවන් සංඥාවක් නොකළෙන් බිත්තරයක් පාත්‍රයට දැමීය. තවත් එකක් දැමිණි. සියල්ල මහා සංඝයාටම පිළියෙල කළ හෙයින් තවත් එකක් දැම්මේය. බිත්තර 59ක්ම පාත්තරයට පූජා කරනතුරු කුංකුනාවේ හාමුදුරුවෝ නිහඬව සිටියහ. ඉතිරි බිත්තරයත් පූජා කරන්නට යෑමේදී එයට පමණක් අතින් සංඥාව ලබා දෙමින් මා වෙනුවෙන් තම්බපු බිත්තරේ. එක නම් මට එපා" යැයි පැවසා ඇත.

රිකිල්ලගස්කඩ _ ටී.ඇම්. සෝමපාල

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්