ඉතිහාසය තෙවැනි ඇසින් කියැවීම දුටුගැමුණු - එළාර ගැටුම වැඩ වසම් බලකාමී අරගලයක් මිස ජාතිවාදි ගැටුමක් නොවේ

  👤  1659 readers have read this article !
2017-10-08

සිංහල ඉතිහාසයේ අමාරුම කොටස කියූ දෙය නොව නොකියූ දෙය සොයා යෑම යැයි මහාචාර්ය ගයිගර් පවසා තිබේ. අපට ඉතිරිව ඇති පැරැණිම ඉතිහාස කෘති වූ ක්‍රි.ව. 4 සියවසට අයත් දීප වංශයේ දුටු ගැමුණු හා එළාර ගැන සඳහන් වන්නේ ඉතා සුළු විස්තරයකි. මුල්ම දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් වූ සේන සහ ගුත්තික දමිළයන් වශයෙන් එහි දක්වා ඇත. නමුත් එළාර ගැන එහි සඳහන්ව නැත. එළාර නම් කුමරකු අසේල මරා අවුරුදු 44ක් රජකම් කළ බව සඳහන් කර තිබේ.

දීප වංශය මෙම සිදුවීම තවදුරටත් වාර්තා කරමින් කාකවන්නගේ පුත් අභය දස මහ යෝධයන් පිරිවරා රජවරුන් 32 දෙනකු මරා ඉන්පසු අවුරුදු 24ක් රජ කළ බව දක්වයි.
දීප වංශයේ ලියැවුණු අවධියේ හෝ ඊට පෙර සියවස් එක හෝ දෙක තුළ ලංකාවට ඉන්දියානු ආක්‍රමණයක් එල්ල නොවූ අතර දිවයිනේ විසූ සිංහල සහ දෙමළ ජන කොටස් කිසිදු ගැටුමකින් තොරව ජීවත් වූ බව පැහැදිලිය. ඒ නිසාම දීපවංශ කතුවරයා දුටු ගැමුණු - එළාර සිදුවීම මධ්‍යස්ථව සඳහන් කරයි.

වර්තමානයේ වැඩිපුරම පරිශීලනය කරන්නේ මහාවංශයයි. එය 6 වැනි සියවසේ ධ් වන මොග්ගල්ලාන කාලයේ (ක්‍රි.ව 491 - 508)කාලයේ ලියැවුණු බව සැලකේ. ඊට දශක කීපයකට පෙර පණ්ඩු, පාරින්ද, කුඩ්ඩ පාරින්ද, තිරිඝර, දාඨිය හා පීඨිය ක්‍රි.ව. 428 _ 455 දමිළයන් 6 දෙනකු ලංකාව පාලනය කර ඇත. 5 වැනි සියවසෛ් පැමිණි දෙමළ නායකයන් වසර 25කට අධික කාලයක් රජරට පාලනය කර තිබේ. දකුණේ රුහුණට එම පාලනය විහිද ගියේ නැත. මහාවංශ කතුවර මහානාම භික්ෂුවට බලපෑවේ දෙමළ - සිංහල ගැටුමකි.

මහාවංශ විස්තරය අනුව දුටුගැමුණු - එළාර ගැටුම සිංහල _ දෙමළ අරගලයකි. සමකාලීන ඉතිහාසඥයන් වැඩි පිරිස එම මතය ගැන සැක පළ කරති. එළාර සොළී රටින් පැමිණි බව මහාවංශයේ පැහැදිලිව සඳහන් වේ. එහෙත් ඔහුගේ යුද සේනාව සහ එහි ශක්තිය ගැන මහාවංශය කිසිවක් නොකියයි. එළාරට ලංකාවෙන් අනුබලයක් නොලැබුණා නම් එතරම් දිගු කාලයක් අනුරාධපුරය පාලනය කිරීමට නොහැකි වනු ඇත. අවාසනාවකට එළාරට ලැබුණු ජනතා විශ්වාසය ගැන වංශකතාව වැඩි යමක් සඳහන් නොකරයි. කෙසේ නමුත් මහාවංශය සියුම් ලෙස පරිශීලනය කරන්නකුට එළාර _ දුටුගැමුණු ගැටුම වැඩවසම් බලකාමී අරගලය මිස සිංහල _ දෙමළ ජාතිවාදී සටනක් නොවන බව වැටහේ.
එළාර රජු භික්ෂුන් වහන්සේට ආරාධනය කරන්නට සෑගිරියට යද්දී ඔහුගේ අශ්ව රථයේ හැපී සෑගිරි ස්තූපයේ බිඳීමක් සිදුවේ. එම අවස්ථාවේ එළාර රජුගේ ඇමැතිවරු
"රජතුමනි ඔබ අපේ ස්තූපයට අලාභ හානි කළා"

යනුවෙන් කී බවද මහාවංශයේ සඳහන් වේ. එළාර සමඟ දූත මෙහෙවරේ යෙදුණු ඇමැතිවරු සිංහල බෞද්ධයන් වූ බව පෙනේ. එළාරගේ ඇමැති මණ්ඩලයේ "මිත්ත" නම් ඇමැතිවරයකු ගැනද සඳහන් වේ. ඔහුගේ සහෝදරියගේ පුත්‍රයා දුටුගැමුණු රජුගේ හමුදාවේ සිටි නන්දමිත්‍ර යෝධයා බවද මහාවංශ කතුවරයා දක්වයි.

දුට්ඨ ගාමිණී රජුන් 32 දෙනකු මරාදැමූ බව දීපවංශය හා මහාවංශය යන දෙකෙහිම සඳහන් වේ. මහාවංශය පමණක් මේ 32 දෙනාම දෙමළුන් බව කියයි. මෙයින් පෙනී යන්නේ දුටුගැමුණු රුහුණෙත් එළාර රජරටත් රජකම් කරද්දී උතුරේ සහ වෙනත් ප්‍රදේශවල අර්ධ ස්වාධීන නායකයන් සිටි බවය. දුටුගැමුණු එළාරගේ අගනුවරට අවසන් ප්‍රහාරය එල්ල කරන්නට පෙර යටකී අර්ධ ස්වාධීන නායකයන් යටත් කරන්නට ඇත.

අනුරාධපුරය කේන්ද්‍රය කොට පැවැති එළාර රජුගේ පාලනයෙන් බෞද්ධයන්ට වධ හිංසාවට පත්වූ බවක් මහාංවංශය තුළින් සොයාගත නොහැකිය. එළාර හින්දු භක්තිකයකු වුවත් ධර්මිෂ්ඨයකු බවත් බුද්ධාගමට අනුග්‍රහය දැක්වූ බවත් වංශකතාවම පෙන්වා දෙයි. එළාර සෑගිරියේ භික්ෂුන්ට ආරාධනය කරන්නට ගිය බව සඳහන් කළද ගියේ ආගමික උත්සවයකට ඇරයුම් කරන්නද, දානයකට ඇරයුම් කරන්නද, දානයකට උපදෙස් ගන්නද යන්න මහාවංශ කතුවරයා ලියා නොතිබීම විශාල අඩුපාඩුවකි.

මහාවංශයට අනුව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ලංකාව එක් සේසත් කරන්නට අසංඛ්‍ය සංඛ්‍යාත මිනිස් ජීවිත විනාශ කරන්නට සිදුවීම ගැන දුටුගැමුණු බලවත් පසුතැවීමට පත්වෙයි. එය සංඝයා වහන්සේගේ ආශීර්වාදය ඇතිව කරන ලද ක්‍රියාවකි. මෙහිදී අසීරු තත්ත්වයට පත්වන මහාවංශ කතුවර හිමි එයින් බේරීමට අපූරු විසඳුමක් සොයාගනී. රජුගේ පශ්චාත්තාපය දැන පියඟු දීපයේ රහතන් වහන්සේ අට නමක් අහසේ පෙනී සිට මරා දමන ලද මිනිස් ජීවිත නිවන් මඟට අවහිරයක් නොවන බව වටහා දුන් බව කියයි. ඔවුන් රජුට ඉදිරිපත් කළ තර්කය "එළාරට විරුද්ධ සටනේදී දිවි තොරවූ සතුරන් අතර වූයේ තෙරුවන් සරණ ගිය එකකු හා පන්සිල් සමාදන් වූ එකකු පමණක් බවයි. ඉතිරිවුන් මිසදිටුවන්ය. තිරිසනුන් හා උන්ගේ වෙනසක් නැත"

මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කරන්නේ මේ කතාව මහාවංශයේ මෙන්ම පාලි අට්ඨකතාවලද සඳහන් වන බවය. රාජධානි අතර සටන් හා දේශපාලන නායකයන් හා ප්‍රභූන් අතර කුමන්ත්‍රණ ආදිය ලංකා ඉතිහාසයට අමුතු දේවල් නොවේ. දුටුගැමුණුගේ මුල් කාලයේ රජරට පාලකයා දෙමළකු වීම නිසා දුටුගැමුණු-එළාර සටන සිංහල හා දෙමළ ජන කොටස් අතර සිදුවූ සටනක් ලෙස දැක්වීම සාකල්‍යයෙන්ම යුක්ති යුක්ත නොවේ.

(ආචාර්ය ඩබ්ලිව්. අයි. සිරිවීරගේ ලිපියක් ඇසුරිනි.)
ශේඩ්‍රියා ජෙනලි

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්