අන්තිම දුම්රිය

  👤  4565 readers have read this article !
2017-10-06

ඩී. එස්. සේනානායක මහතා ලංකා ජාතික සභාවෙන් ඉල්ලා අස්වී 1946 සැප්. 06 දින එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමේදී ඔහු ඔහුගේ නියෝජ්‍ය නායකයා කරගත්තේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකය. ඉදිරියට යන්න, එස්. ඒ. වික්‍රමසිංහ මහතාගේ කොමියුනිස්ට් පක්ෂය වික්‍රමසිංහ මහතා සමඟ එක්සත් ජාතික පක්ෂයට බඳවා ගත යුතු බව ඩී. එස්. ගේ පුතා ඩඩ්ලි වගේම ජේ. ආරුත් ඩී. එස්.ට කීවේය. හැබැයි රටේ ප්‍රශ්නවලට උත්තර හොයන්න කොමියුනිස්ට් ක්‍රමයෙන් උත්තර නැති බව ඩී. එස්. දැනගෙන සිටියේය. නමුත්, ඊට වඩා ඔහු සිංහල මහ සභාවේ සභාපති වෙච්ච බණ්ඩාරනායක කිට්ටු කර ගත්තේය.

"අපට 1947 මහ මැතිවරණයක් ලබාදෙන්න. එවිට අපට පුළුවන් රටේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීමට ආණ්ඩුවක් පත්කර ගන්න."
47 සෝල්බරි සොමිසමට ගිය ඩී. එස්. සේනානායක එහෙම කීවේය. ඉල්ලීම පිළිගත් කොමිසම මැතිවරණයක් දුන්නේය. ඡන්දයෙන් දිනුවේ ඩී. එස්. සේනානායකලාය.
එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයන් 98 දෙනකු ඉදිරිපත් කළ අතර ඉන් 42 දෙනකු ජය ගනු ලැබීය. ලංකා සමසමාජ පක්ෂය ආසන 10ක්ද, බෝල්ෂෙවික්් ලෙනිස්ට් පක්ෂය 5ක්ද, ද්‍රවිඩ සංගමය 7ක්ද, ලංකා කොමියුනිස්ට් පක්ෂය 3ක්ද, ලංකා ඉන්දියානු සංගමය 6ක්ද, කම්කරු පක්ෂය 01ක්ද, ස්වාධීන අපේක්ෂකයක් 21 දෙනෙක්ද තේරී පත් විය. අන්තිමට ඩී. එස්. සේනානායක ආණ්ඩුව පිහිටුවීය.

මුල්ම පාර්ලිමේන්තුව රැස් වෙන්නේ එහෙමය. ඒ ආණ්ඩුවේ මුදල් ඇමැතිකම ජේ. ආර්ටත්, කෘෂිකර්ම ඇමැතිකම ඩඩ්ලිටත් දුන්න ඩී. එස්. සෞඛ්‍ය හා පළාත් පාලන සහ සභානායකකම දුන්නේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකටය. එහෙම බැලුවම ඩී. එස්., බණ්ඩාරනායකට සෑහෙන්න සලකලාය.
පස්සේ කාලෙක, ඒ කියන්නේ 1951 ජූලි 12 දින විරුද්ධ පක්ෂයට එක්වෙනතුරු බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයේ දෙවැනියාය. සිරිමාවෝ බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂ කාන්තා සංවිධානයේ සභාපතිනියය.

එකම රටේ මිනිස්සු පක්ෂ දෙකක් ලෙස වෙන්වී ජන්මාන්තර වෛරක්කාරයන් බවට පත් වෙන්නේ ඊට පස්සේය.
දැන් කෙසේ වෙතත්, 2015 ජනවාරි 8 සිට ටික කලක් යනතුරු මෛත්‍රි රනිල් දෙදෙනා වෑයම් කළේ වෙන්වී සිදුකළ මරා ගැනීම රටින් ඉවත් කරන්නටය. මේ පක්ෂ දෙක අතර පවතින මූලික ප්‍රතිපත්තිමය විරසකය යම් දුරකට තුනී කරන්නටය. අලුත් සංස්කෘතික හර පද්ධතියක් සහිත 'සංහිඳියාවේ' දේශයක් ඇති වෙතැයි මිනිස්සු හීන දැක්කේ ඒ සුසංයෝගය ඒක කරාවි යැයි කියා හිතලාය.

නමුත් 'බලය, බලය ලබා ගැනීම, එය පවත්වා ගැනීම, තහවුරු කිරීම' යනාදී මැකියාවෙලීගේ සංකල්පයේ අනවරථව වෙළී සිටින දෙපිරිස අර ප්‍රාර්ථනාවන් කෙරෙහි කොතෙක් 'අවංක' වූවාද කියා කියන්නට දන්නේ නැත.

ඒකීය රටක් යනුවෙන් ව්‍යවස්ථාපිතව, එහෙත් යථාර්ථයේදී 'කෑලි කෑලිවලට' බෙදා වෙන්වූ රටක් ඉතිරි වූයේ මේ බලකාමය සහ ඊර්ෂ්‍යාව නිසාය.
1953 දී උතුරට ගිය එ. ජා. ප. අගමැති ජෝන් කොතලාවල සිංහල දෙමළ දෙබසටම සමතැන දෙන බව කීවේ බණ්ඩාරනායක දකුණේදී 'සිංහල රජ බස' කරන බව කීම හින්දාය. අන්තිමට නැති ප්‍රශ්න ඇති වී රට අරාජික විය.

එදා වේල කන්නේ කොහොමද කියා කල්පනා කරමින් ජීවන අරගලයක යෙදුණු මිනිස්සුන්ට ජීවත්වීමේ කලාව පුරුදු කරනවා වෙනුවට අවස්ථාවාදී දේශපාලකයෝ කළේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් 'සංවේදී' ප්‍රශ්න හුරතල් කරන එකය.
සිංහල බස පමණක් රාජ්‍ය භාෂාව කරන බවට පොරොන්දු දෙමින් 56දී රාජ්‍ය බලය ලබා ගත් බණ්ඩාරනායකට දෛවය කළ සරදමක මහත, අන්තිමට ඔහුට සිදුවුණේ 57 දී දෙමළ ධනපති පන්තිය සමඟ බල බෙදීමකට ගිවිසුම්ගත වෙන්නටය.

හැබැයි ජේ. ආර්. ඊට 'බාල්දියක්' පෙරළුවේ ගිවිසුම ගිනි තබා නුවරට පා ගමනක් අරඹමින්ය.
1964 දී සභාග ආණ්ඩුවක් සෑදූ සිරිමාවෝ සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම ගැසූ අතර ඒකටත් එජාපය එරෙහි විය. 1964 දී සභාග ආණ්ඩුවක් සෑදූ ඩඩ්ලි - චෙල්වනායගම් එක්ක ගිවිසුමක් ගැසූ අතර එයට විරුද්ධව ශ්‍රී ලං.නි.ප. - කො.ප. - සම සමාජ හවුල කැරැලි ගැසූහ.

71 දී සිරිමාවෝගේ හවුල් ආණ්ඩුවට ජ. වි. පෙ. සන්නද්ධ ප්‍රහාරයක් එල්ල වෙනකොට ජේ. ආර්. කීවේ එතෙරින් හෝ හමුදාව ගෙනත් කැරැල්ල ම¾ඩින්න කියාය. හැබැයි ජේ. ආර්. බලයට එන්න පාවිච්චි කළ ඒදණ්ඩක් වුණේ මැතිනි තරුණයන් 15000ක් මැරුවාය කීමය. ජේ. ආර්.ගේ කාලයේ 80 මහා වැඩ වර්ජනයට ආණ්ඩුවේ ප්‍රතිචාරය වුණේ 'වර්ජකයන් කනත්තට යවන්න ඕනෑ' කියන එකය. ඒක කීවේ ලලිත් ඇතුලත්මුදලිය.

78 ජේ. ආර්. අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවේ ඒ වෙනකොටත් ඔහුට තිබ්බ මහා බලය උපයෝගී කරගෙනය.
'ජේ ආර්ගේ ව්‍යවස්ථා ගැට ලිහනවා බොරු' මිනිස්සු කීවේ එහෙමය. ඔහුට සියල්ලටම වඩා වුවමනා වූයේ 'එක්සත් ජාතික පක්ෂය' හැමදාම බලයේ තියා ගන්නටය.
94 චන්ද්‍රිකා ආවේ අලුත් ජේ. ආර්. ගේ 'බහු භූත' ව්‍යවස්ථාව වෙනස් කරනවා කියාය. හැබැයි ඒක වසර 10ක් තිස්සේ දිගින් දිගට ඇදුණුු රැවටිල්ලක් විය. එජාප විවෘත ආර්ථික ප්‍රතිපත්තිය, රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය නිර්ධය ලෙස විවේචනය කරමින් ආ චන්ද්‍රිකා කීවේ එ.ජා.ප. ආණ්ඩුව වසර 17ක් තුළ ආයතන 43ක් විකුණා දැම්මා කියලාය. හැබැයි 1994 ඇරැඹි චන්ද්‍රිකා පාලනයේ වසර නවයක් ඇතුළතදී පෞද්ගලීකරණය කළ ආයතන ගණන 57ක්ය. එහෙම බැලුවාම වෙන වෙනම දෙගොල්ලෝම තකට තකය.

එහෙම එකේ මේ දෙගොල්ල එක්ව කරන දෙයකින් විනා වෙන්ව කරන දෙයකින් රටට සෙතක් වෙතැයි කියා ඉතිහාසයවත් ඔප්පු කර නැත.
ඉතිහාසය විසින් රටට භාර කළ තීරණාත්මකම මොහොත මේ වෙත්දී උදා වී තිබේ. ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට දායාද කිරීමේ අවස්ථාවය.
මහින්ද පාර්ශ්වය එරෙහිවී සිටින්නේ ඒ තීරණාත්මක අවස්ථාවටය.

සමහරුන්ට අනුව මේ ව්‍යවස්ථාව බටහිර අධිරාජ්‍යවාදීන්ට රට අල්ලා ගැනීමට ඉඩ සැලසීමට සකස් කරන ලද මර උගුලක්ය. තව පිරිසකට අනුව, රට කොටස් නවයකට බෙදා ස්වාධීන රාජ්‍යයන් නවයක් බිහිවීමට මඟ පාදන උගුලක්ය. සමහරු අසන්නේ මේ වෙලාවේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මොකටද කියලාය.
දශක ගාණක් තිස්සේ ආඥාදායක ඒකාධිපති ජනාධිපති පාලන ක්‍රමයෙන් රට සහ ජනතාව මුදා ගැනීමේ අවස්ථාව මින් උදාවේ. දශක තුනක යුද්ධයෙන් බිඳුණු සිත් සුවපත් කිරීමේ සහජීවන රටක් ගොඩනැඟේ.

එකම පවුලේ අය පවා ඇනකොටා ගත් මනාප ඡන්ද මගඩිය නිමාවේ. රාජ්‍ය සේවාව, අධිකරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යනාදී රාජ්‍ය ආයතන හා සේවාවන් ස්වාධීන කොට ශක්තිමත් කිරීම, මානව අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් කොට තහවුරු කිරීමද නව ව්‍යවස්ථාවකින් සිදුවේ.
මේ අතළොස්සක් විතරය. සියල්ලටම වඩා මේ මොහොතේ සියලු පක්ෂ ඉතා තීරණාත්මක ලෙස නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් එක්වී සිටී. නැත්තේ, මහින්ද පිල විතරය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්