ගෑස් මිල 110කින් වැඩි කළත් ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල වැඩි වී නැහැ

  👤  4152 readers have read this article !
2017-09-27

මහ බැංකුවේ මහ දවල් සිදුකෙරුණු මහා බැඳුම්කර මුදල් මංකොල්ලය නිසා මේ රට තුළ තිබුණු ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක් විදේශ ආයෝජකයන් ආපසු රැගෙන යෑම නිසා, මූල්‍ය අර්බුදයක් මේ ආණ්ඩුව විහින් හදාගත්තා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පැවැසීය.
මුදල් ඇමැති ඩොලරයේ අගය 130ට පවත්වන බව කී නිසා රජයේ මුදල් සංචිතය ටිකෙන් ටික වියදම් කර වාෂ්ප කළා.

මූල්‍ය කළමනාකරණ පනත උල්ලංඝනය කරමින් මුදල් ඇමැතිවරයා කටුයුතු කර ඇති බව විගණකාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
"පාර්ලිමේන්තුවට තියෙන්නේ එක එක්කෙනාට අවලාද නගන, බනින එක නෙවේ. පාර්ලිමේන්තුවට තමයි මුදල්වලට වග කියන්න තියෙන්නේ."
"ගෑස් මිල ලෝක වෙළෙඳපොළේ එතරම් වැඩි වී ඇති අවස්ථාවක නෙවේ ඊයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් වැඩි කළේ.
"මහින්දාගමනයෙන් පස්සේ පොල්ගෙඩියේ මිල වැඩිවෙලා තියෙනවා. හොඳ ආර්ථික තත්ත්වයකින් පැවැති රටක් තමයි අපි මේ ආණ්ඩුවට බාරදුන්නේ. වෙච්ච දේ ගැන අපි කනගාටු වෙනවා."

"ගෙවුම් ශේෂ හිඟය පියවා ගැනීමට තවදුරටත් විදේශ රටවල ආයෝජනය කරන්න යෑමෙන් ආර්ථිකය කඩා වැටෙනවා."
"මහ මුහුදට පොල් ලෙලි දැම්මා වගේ මේ ආණ්ඩුව ඩොලර් විනාශ කළා. එහෙම විනාශ කරල රටේ ණය බර මහින්ද රාජපක්ෂ පිට පටවනවා."

පළාත් සභා සංශෝධන
පනත සම්මත කරගත් ආකාරය ගැන ප්‍රශ්න තිබේ නම්
සාකච්ඡා කරන්න සූදානම්

"පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගත් ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ සාකච්ඡා කිරීමට සූදානම්" යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේය.
අගමැතිවරයා එසේ පැවැසුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සිදු කර තිබෙන ප්‍රකාශ ගැන දිනේෂ් ගුණවර්ධන නැඟූ පැනයකට පිළිතුරු දෙමිනි.
මම නීතිඥ සංගමයේ සභාපතිතුමාට කතා කරල ඇහුවා මොකක් හරි ප්‍රශ්නයක් තිබෙනවාද කියා. පක්ෂ ගණනාවක් සමඟ සාකච්ඡා කරලා ඒ ක්‍රියාමාර්ගය අරගෙන ඡන්දය දුන්නා. ඒ නිසා යම්කිසි කාරණයක් තිබෙනවා නම්, අනෙක් පක්ෂ නායකයන් හමුවෙලා සියලු දෙනා සමඟ සාකච්ඡා කරන්න අවස්ථාවක් දෙන්නම් කියා මා පැවැසුවා.
මෙතැන තියෙන්නේ පර්ලිමේන්තුව ඇතුළෙ තිබෙන ක්‍රමවේදයක්. එය පාර්ලිමේන්තුව තීරණය කරන එකක්. එම නිසා ඉල්ලීමක් කළොත් ඉඩ දෙන බව මා කීවා. මේක එක පක්ෂයක් තනිව කළ දෙයක් නොවේ. කෙටුම්පත් සකස් කරලා සිදුකළ දෙයක්. ඒ අය හමුවුණේ ඊයේ. නීතිඥ සංගමයේ ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡා කරන්න සූදානම් කියා මා ප්‍රකාශ කළා. ඒ මගේ ප්‍රකාශයත් අරගෙන තමයි ඒ අය ජනාධිපතිතුමා හා මා හමුවන බව පැවැසුවේ.
විමල් වීරවංශ - රීති ප්‍රශ්නයක්.

එදා සාකච්ඡාවට ගත්තේ කාන්තාවන් සියයට විසිපහකට ඡන්ද අවස්ථාව දෙන පනත. එහෙත් විවාදය අවසන් කළේ මුළු ඡන්ද ක්‍රමයක්ම වෙනස් කිරීමක් පිළිබඳ පනතක් බවට පත් කරලා.
මේ විදියට ජනාධිපතිවරණ පනත කියලා මැතිවරණ පනතක් ආවොත්, කාරක සභාව අවස්ථාවේ සංශෝධනයක් ගෙනාවොත්, අවුරුදු හතළිහක් මේ පාර්ලිමේන්තුවේ හිටපු කෙනකුට විතරයි ජනපතිවරණයට ඉල්ලන්න පුළුවන් කියලා, ඒක හරිද?
අගමැති
මේ ගැන අපි ගිය මාසයේ සාකච්ඡා කළා. ඉන් පසුවයි තුනෙන් දෙකේ ඡන්දය දුන්නෙ.

ලොකු ලූනු වගාව
විනාශ වෙලා
ආනයන බද්ද වැඩි කළාට
ගොවියාට
ලැබෙන සෙතක් නෑ

ලොකු ලූනු ගොවියාගේ වගාව විනාශ වෙලා තිබෙන අවස්ථාවක, ගොවියාට වන්දි ගෙවනවා වෙනුවට ආනයන බද්ද වැඩි කිරීමෙන් පලක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.
ලූනු සඳහා බදු වැඩි කිරීමෙන්, ලොකු ලූනු ගොවියාට සහනයක් ලැබේවිය කියා සිතන්න බැහැ. දිගින් දිගටම ලොකු ලූනු ආනයනය කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය කෘෂිකර්ම ඇමැතිවරයාට භාරදී තිබෙනවා. ඒ ලිපිය මඟින්, ඔහු කෘෂිකර්ම ඇමැතිවරයා නීත්‍යනුකූල නොවන අන්දමට පොහොර සමාගමෙන් මුදලක් ගෙවන ලෙස බලපෑමක් කර ඇති බව සඳහන් කර තිබෙනවා. සංග්‍රහ වියදම් සඳහා වැය කළ මුදලක් මෙසේ පොහොර සමාගමෙන් ගෙවීමට බලපෑම් කරල තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්, කෘෂිකර්ම ඇමැතිවරයා. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ගොඩනැඟිල්ලක් ලබාගෙන, තවමත් විශාල මුදලක් නාස්ති කරන බව අපි මේ සභාවේ අවස්ථා කිහිපයකදීම සඳහන් කළත්, ඒ ගැන ඇමැතිවරයාවත් රාජ්‍ය ඇමැතිවරයාවත් පාර්ලිමේන්තුවේදී කිසිම ප්‍රකාශයක් කළේ නැහැ.

මෙවැනි තත්ත්වයක් යටතේ, පොහොර සමාගමේ සභාපතිවරයා කොන්ද කෙළින් තියාගෙන එවැනි ලිපියක් ලියා සභාපති තනතුරෙන් ඉවත්වීම ගැන ගරු කරන්න ඕන. මේ සභාපතිවරයා, මේ ආණ්ඩුව ඇති කරන්න වෙහෙසුණු කෙනෙක්.

දිව ඕන-ඕන පැත්තට නැමෙන නිසා බන්දුල බොරු කියනවා

"බන්දුල ගුණවර්ධන සූරීන් සඳහන් කළ ණය බරට වඩා වැඩි ණය බරක් එදා රටේ තිබුණා" යැයි සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ පැවැසීය.
රටේ දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව ණය ප්‍රමාණය ඉතා අඩු ප්‍රතිශතයක්ව තිබියදී, ආණ්ඩුව මාරු වුණ බවට බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. එය සම්පූර්ණයෙන් අසත්‍යයි.

ඔහු කියූ ණය බරට වඩා වැඩි ණය බරක් එදා රටේ තිබුණා. අපි ළඟ ඒ බවට සංඛ්‍යා දත්ත තිබෙනවා. ගුරුවරයකු හැටියට මෙවැනි අසත්‍ය ප්‍රකාශ බන්දුල ගුණවර්ධන මහතා කරන්නේ ඇයි කියල අපට හිතාගන්නත් බැහැ. එතුමාගෙ දිව ඕන ඕන පැත්තට නැමෙනවා.
අපට ඡන්ද කල්දාන්න වුවමනාවක් නැහැ. ජනවාරි 8 වැනිදා අපි ඡන්දය දිනල ඉතුරු ඡන්ද ටිකත් එදා තියන්න තිබුණා. එහෙම කළා නම් ඒ ඡන්දත් අපට දිනාගන්න තිබුණා. එහෙත් අපි යහපාලන පොරොන්දු ඉටුකරන්න ක්‍රියා කළා.

අපි කොමිෂන් සභා පත්කළා. පොදු ව්‍යාපාර ගිණුම් කාරක සභාවේ සභාපති තනතුරට විපක්ෂ මන්ත්‍රිවරයකු පත් කළා.

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්