මැතිවරණ කොමිසමට ඡන්දය තියන්න ඉඩ දී ආණ්ඩුව අයින් විය යුතුයි

  👤  4179 readers have read this article !
2017-09-21

ඡන්දය තියන්නේ ආණ්ඩුව නොවේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන පැවසීය.
පළාත් සභා ඇමැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයට මරණීය දණ්ඩනය දීලා අද මේ පාර්ලිමේන්තුවට ඇවිත් බොරු කරනවා. ලැජ්ජ නැහැ. ඉල්ලා අස්වෙන්න.
ස්ථාවර නියෝග උපයෝගී කරගනිමින් පනතට පරිබාහිර දේ සංශෝධනවලට ඇතුළත් කර ගැනීමට උත්සාහ කිරීම වැරැදියි.

කතානායකතුමා ගත් තීරණය ගැන අප කනගාටු වෙනවා, කාරක සභා අවස්ථාවලදී මේ වගේ වැරැදි වැඩවලට ඉඩදීම ගැන.
ලැජ්ජාවක් තියෙනවා නම් ඉල්ලා අස්වෙන්නයි මා කීවේ. පුළුවන්නම් ජනමත විචාරණයක් පවත්වන ලෙස ශේ්‍රෂ්ඨාධිකරණය කීවා. ඉතින් ඉල්ලා අස්වෙන්න කියන එකයි නැවත කියන්න වෙන්නේ.

පළාත් සභා ඡන්දය තියන දිනයක් නිශ්චිත නැහැ. මේ රටේ පළාත් සභා ඡන්දදායකයන් ලක්ෂ ගණනකට ඡන්දයක් නැතිව යනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මා කියන්නේ පළාත් සභා ඡන්දය තියන ලෙසයි. පළාත් සභා ඡන්දය තියන්නේ කවදාද? ඊට අතිරේකව පළාත් පාලන ඡන්දය පැවැත්වෙන කාලය ගැන ස්ථිරව කියන්න. අප මේ පනතට විරුද්ධව ඡන්දය දෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා
ස්ථාවර නියෝග නොසලකා හැරීම ගැටලුවක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ස්ථාවර නියෝග නොසලකා හැරීම ගැන අපට ගැටලු තිබෙනවා යැයි නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් මම එකඟ නොවන කරුණුත් මෙහි තිබෙනවා. ඒ ගැන පක්ෂ නායක රැස්වීමේදී මා පැවැසුවා. පනත් ඉදිරිපත් කිරීමේ ක්‍රමය මෙහි ක්‍රියාත්මක වී නැහැ. නව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදීම සාධාරණ හා යුක්ති සහගතයි. අවශ්‍ය සම්ප්‍රදාය නොසලකා හරිමින් ආණ්ඩුව ව්‍යවස්ථාව හා ස්ථාවර නියෝගවල යම් යම් අංග නොසලකා හැරීම ගැන අපට ගැටලු තිබෙනවා.

ජාතික වැදගත්කමින් යුතු හදිසි පනතක් ලෙස ගෙන ඒමට නිසි ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට රජයට යුතුකමක් තිබෙනවා. ඒ නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම ගැන මා කනගාටු වෙනවා.

පළාත් පාලන ආයතන ක්‍රියාත්මක නොවීම වැනි තත්ත්වයක් පළාත් සභාවලට ඇති නොවිය යුතුයි. මැතිවරණ ප්‍රමාද නොකිරීම ගැන අපගේ අවධානය යොමු කරනවා. සීමා නීර්ණය සිදුකරන කොමිසමට විද්වත් පුද්ගලයන් පත් කළ යුතුයි.
ඡන්ද කොට්ඨාස හා අනුපාත ක්‍රමය ඒකාබද්ධ කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

කොට්ඨාසයකට වගකියන මන්ත්‍රිවරයකු අවශ්‍ය නිසා අපි ආණ්ඩුවට එකතු වුණා

අපි මේ ආණ්ඩුවට එකතු වුණේ එක් කොට්ඨාසයකට වගකියන මන්ත්‍රිවරයකු පත්කිරීමේ ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවැසීය.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව මඟින් ඉදිරිපත් කළ යෝජනාවලට අනුව පළාත් පාලන ආයතන සඳහා සම්මිශ්‍රණ ඡන්ද ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අද අපට හැකි වී තිබෙනවා.

දැන් මේ ඡන්ද ක්‍රමය අනෙකුත් මැතිවරණවලදීත් ක්‍රියාවට නැංවීමට අපි කටයුතු කරනවා.
මෙම සම්මිශ්‍රණ ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තු මැතිවරණවලටද උපයෝගි කර ගැනීමට අපි පාර්ලිමේන්තුව තුළ සිටත්, ඉන් පිටත සිටත් කටයුතු කරන බව කියන්න ඕන.

පනත පිටු දෙකයි:
සංශෝධන
පිටු හතරයි :
ඡන්දය කල් දමන උප්පරවැට්ටියක්

කාන්තාවන්ගේ සාරි පොටක එල්ලී මේ කරන්න හදන්නේ ඡන්දය කල් දාන්නයි. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි විමල් වීරවංශ පැවැසීය.
මේ සංශෝධන ගැන මොන සුන්දර කතා කීවත් පළාත් සභා ඡන්දය කල් දැමීමයි මෙහි අරමුණ. ඡන්දයට යන්න බයයි. විසිවැනි සංශෝධනයට ගියා. පනත් කෙටුම්පත පිටු දෙකයි. සංශෝධන පිටු ගාණක් තියෙනවා.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා කියමින් ඡන්දයට මුහුණ දීමට බය නිසා මැතිවරණ කල් දාන්න කරන උප්පරවැට්ටි නිසා තමයි මේ සංශෝධන දෙන්නේ.
ඡන්ද නොතියා සිටීමට වෙට්ටු දමන සංශෝධන ගෙන එනවා.
බය නැත්නම් ඡන්ද තුනක් තියෙනවා. ඇයි ඒ ඡන්දයට යන්නෙ නැත්තේ.

මැතිවරණ සිතියම අකුළන්න උඩින් එන නියෝගවලට අනුව කටයුතු කළේ ඔය ඇමැතිවරයායි. මොන ප්‍රජාතන්ත්‍රවාදී පාඨ, කාන්තාවන්ගේ නියෝජනය වැඩි කිරීම වැනි මොන සුන්දර වචන දැම්මත් ඡන්දය කල්දමා ගැනීමයි මේකෙ අරමුණ. එබැවින් අප මෙයට විරුද්ධව ඡන්දය දෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්