පොදු ප්‍රවාහන සේවාවන්ට ජනතාව යොමු කිරීම අධිවේගී මාර්ග හදනවාට වඩා වැදගත්

  👤  3401 readers have read this article !
2017-09-20

"පෞද්ගලික ප්‍රවාහනය අතහැර පොදු ප්‍රවාහනයට ජනතාව යොමුකිරීම, අධිවේගී මාර්ග වලට වඩා වැදගත් වනවා" යැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක පැවැසීය.

"විශේෂයෙන් පොදු බස් රථ සහ දුම්රිය සේවය වර්ධනය කිරීමට අපි කටයුතු කළ යුතුයි. ශීඝ්‍රගාමී බස් සේවය, බස් රථ නවීකරණය වගේම නවීන දුම්රිය සේවයක්ද අවශ්‍යයි.
මාර්ග තදබදය අද අපේ රට මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක්. සෑම පවුල් ඒකකයකටම, එක වාහනයකට වඩා තිබෙන රටක් බවට අද ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. රටේ ආයෝජනවලින් වැඩි ප්‍රමාණයක් වැයවන්නේ මාර්ග සංවර්ධනයට. මාර්ග තදබදය නිසා, අහිමිවන, නාස්තිවන මුදල, එම අයෝජනයට වඩා වැඩියි. ඒක ඛේදවාචකයක්.
වාහන අයිතිය සීමා කිරීමට වෙනත් රටවල් විවිධ නීති හඳුන්වාදී තිබෙනවා. පෞද්ගලික ප්‍රවාහනය අතහැර පොදු ප්‍රවාහනය කෙරෙහි ජනතාව යොමුකිරීමේ අවශ්‍යතාව අද අපේ රටට අවශ්‍යයි."

ආණ්ඩුව පෙරළන්න
අද පටන්
වැඩ අරඹනවා

රටට ආදරය කරන පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු කරගෙන සියලුම ජාතීන් සමගියෙන් ජීවත්වන ආදරණීය රටක් තුළ මේ ආණ්ඩුව පෙරළන්න අද ඉඳලා මා කටයුතු කරනවා යැයි පවසා පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු ඊයේ (19දා) පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ විය.
කතානායක කරු ජයසූරියගේ අවසරය ඇතිව පෞද්ගලික ප්‍රකාශයක් කළ මන්ත්‍රිවරයා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ ප්‍රීතිඝෝෂා මැද විපක්ෂයේ අසුන් ගත්තේය.
හෙතෙම මෙසේද පැවැසීය.
මේ අවස්ථාවේදී මෙම විශේෂ ප්‍රකාශය කිරීමට මා අදහස් කළේ, අද දින මේ ගරු සභාවේදී විශේෂයෙන්ම මගේ ජීවිතයේ වැදගත් දේශපාලන තීන්දුවක් ගැනීම සඳහායි. ගරු කතානායකතුමනි, මා දේශපාලනයට එළැඹෙන්නේ, මේ සභාව නියෝජනය කළ මගේ පියාගේ සහෝදරයකු වන දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රි ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දු මැතිතුමාගේ ආභාසයෙනුයි. හදිසි අනතුරක් නිසා එතුමාට මේ පාර්ලිමේන්තුව තුළ දීර්ඝ කාලයක් දේශපාලනය කරන්න බැරි වුණත්, ඒ ආභාෂයත් එක්ක තමයි මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සම්බන්ධ වුණේ.

මේ ආණ්ඩුව පිළිබඳව ලොකු බලාපොරොත්තුවක් මේ රටේ මිනිසුන්ට තිබුණා. නිදහස ලබා අවුරුදු හැටකින් පස්සේ මේ ආණ්ඩුව ඇවිත් මේ රටේ ප්‍රඥප්ති හදයි, ප්‍රතිපත්ති හදයි කියා ජනතාව සිතුවා. ඒ වාගේම මේ රටේ ජනතාවට බලපාන නිදහස් ආර්ථික ප්‍රතිපත්තියක්, නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තියක්, අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඒ වාගේ ප්‍රතිපත්ති හදයි කියා බලාපොරොත්තු වුණා. ඒ වාගේම ජනතාවට බලපාන ප්‍රශ්න ගැටලු විසඳන්න, කෙළින්ම කියන්න ඕනෑ. දුප්පත්කම නැති කරන විදියට ව්‍යවස්ථාව වෙනස් කරයි කියා බලාපොරොත්තු වුණා. හැබැයි එය නෙවෙයි සිද්ධ වුණේ.

විපක්ෂයට ගිහිල්ලා මේ ආණ්ඩුව පෙරළන තෙක් මගේ සටන දියත් කරන්න අද ඉඳලා මම තීන්දුවක් ගන්නවා. ගරු කතානායකතුමනි, මේ රටේ පොදු මහ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් බලය විමධ්‍යගත කරනවා නම්, ඒ බලය විමධ්‍යගත කරන්න ඕනෑ දුප්පත්කම නැති කිරීමටයි.

රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී කායික-මානසික යෝග්‍යතාව බලනවා

රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී, දැනට ක්‍රියාත්මක කෙරෙන ඉල්ලුම්කරුගේ කායික යෝග්‍යතාවට අමතරව මානසික තත්ත්වයද ඉදිරියේදී සලකා බලන බව, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවැසීය.

වෙනත් රටවල්වල රියැදුරු අභිවෘද්ධි ලකුණු ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. වැරැදි කරන රියැදුරන්ට ලකුණු එකතුකර, ඔහුගේ රියැදුරු බලපත්‍රය අවලංගු කිරීමට අපි කටයුතු කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඇති කිරීමට අපේක්ෂා කරනවා.
අපේ රටේ දැනට භාවිත වන ත්‍රිරෝද රථ වලට වඩා ආරක්ෂාකාරී ත්‍රිරෝද රථ ලියාපදිංචියට අවසර දීමට අපි කටයුතු කරනවා. යතුරුපැදි අනතුරුවලට පසුව වැඩියෙන්ම අනතුරු සිදුවී තිබෙන්නේ ත්‍රිරෝද රථවලින්. ඒ නිසා මෙසේ ආරක්ෂිත ත්‍රිරෝද රථ හඳුන්වාදීමට යනවා.

ත්‍රිරෝද රථ නියාමනය කිරීමටත් අපි අපේක්ෂා කරනවා. අපි ත්‍රිරෝද රථ සංගම් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. කුලී ගමන් සඳහා යොදවාගනු ලබන සෑම ත්‍රිරෝද රථයකටම මීටර් සවිකිරීමට නියෝග ලබාදී තිබෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්