සුද්ද කිරීම

  👤  4099 readers have read this article !
2017-09-15

'ගුටිකාලා, දුක් විඳලා, ලේ දාදිය හෙළලා හදපු ආණ්ඩුවක්. ඒත් ඒ කිසි දෙයක් නොකර මහින්ද දිනවන්න රෑ දවල් කඩේ ගිය උන් අද මේ ආණ්ඩුවේ බහිරවයෝ වගේ ලැගගෙන.'

හරියට හිතලා බැලුවොත් මේ කතාවල ඇත්තක් නැත්තේ නැත.
ජනවාරි 8 වැනිදා ආණ්ඩුව හදන්න මුල් වෙච්ච බලවේග ඒ වෙනුවෙන් මේ රටේ ඡන්ද දායකයන් ලක්ෂ හැට දෙකක් තමන් වෙත නතු කර ගත්තේය. එතෙක් මෙරට දේශපාලන බිමේ අපරාජිතයෙක්ව සිටි බලසම්පන්න මහින්ද රාජපක්ෂට වඩා ඡන්දදායකයෝ 449,072ක් හරියටම මෛත්‍රි වෙනුවෙන් පෙළ ගැසී සිටියහ.
එදා මෛත්‍රි දිනුවේ 'සුමට' ගමනක ප්‍රතිඵලයක් විදිහට නොවේය.

බොහෝ දෙනකුට අමතකව තිබෙන්නේ ඒකය. එදා මහින්ද වෙනුවෙන් පෙනී සිටි බහුතරයක් දෙනා ඡන්දෙට පසුදාම මෛත්‍රි ගාවට එනකොට 'මේ සිද්ධ වෙන්නේ' ඒ තරම් හොඳ වැඩක් නොවන බව තේරුණේ සුළු පිරිසකට විතරය.

ජනාධිපතිවරණයට පෙර මැතිවරණ ප්‍රචාරක කාල සමයේ පවා එවක ජනාධිපතිවරයාගේ ප්‍රචාරක යාන්ත්‍රණය 'කැත' එකක් විය. මාධ්‍ය පමණක් නොව ගස්, ගල්, තාප්ප, බිල්ඩින්, ලයිට් කණු යනාදී සියල්ල ඔහු වෙනුවෙන් වෙන්වී තිබිණි. බැලූ බැලූ අත වූයේ ඔහුගේ රුව විතරක්මය. අහස සූරන තරමේ කටවුට් ඔහුගේ 'බලසම්පන්න' ප්‍රතිභාව පෙන්වීය. මෛත්‍රිගේ පෝස්ටරයක්වත් තිබ්බේ මහින්දගේ පෝස්ටර් ලක්ෂයකට එකක් වාගේ වෙන්නටය.
හැබැයි එදා මෛත්‍රි අපූරු කතාවක් කීවේය.

'මම පෝස්ටර් ගහන්නේ නෑ. ඒ සියල්ල වකුගඩු අරමුදලට බැර කරනවා. ඔහු පෝස්ටර් වලින් ජනාධිපති. හැබැයි මම ජනතාවගේ ජනාධිපති.'
මිනිස්සු දෑත් හදවතට කිට්ටු කරගෙන ඒ මනුස්සකමට සංවේදී වූහ.
මෛත්‍රි ඡන්දය කළේ 'නොසණ්ඩාල' සමාජ ක්‍රමයක් තිබ්බ රටකය. ඔහුගේ රුවට සමාන පුද්ගලයකු පවා ඡන්ද ව්‍යාපාරයට යොදාගෙන රාජපක්ෂ ක¼දවුර කළේ 'තුට්ටු දෙකේ' මැතිවරණ ව්‍යාපාරයක්ය. මඩ පිට මඩ, අවලාද පිට අවලාද මැද මෛත්‍රි ඡන්දය කළේය.

ඡන්දය දා රාත්‍රිය ඔහුට නිවෙසේ යහතින් ඉන්නට ලැබුණේ නැත. කුරුණෑගල ‍ෙදාඩම්ගස්ලන්ද පිහිටි වතු බංගලාවක හිඳ ඔහුට ඡන්ද ප්‍රතිඵල බලන්නට සිදු විය.
හරියටම ඊට අවුරුදු 4කට පෙර මහින්දගේ ප්‍රතිවාදියා වූ පොදු අපේක්ෂකයා වෙච්ච සරත් ෆොන්සේකාට සිද්ධ වූ සන්තෑසිය ඔහුට සිහිපත් වන්නට ඇත. සිරිකොත එජාප මූලස්ථානයේ ස්ථාපිත විශේෂ මැතිවරණ මෙහෙයුම් මැදිරියට ලැබෙන ප්‍රතිචාර සොම්නස් සහගත වෙද්දී අරලියගහ මන්දිරයේ විශේෂ මැතිවරණ මෙහෙයුම් මැදිරියට ලැබෙමින් තිබූ ප්‍රතිචාර 'දාම්නස්' සහගත විය.

අන්තිමට ඔහු දිනුවේය.
හැමදේම උඩුයටිකුරු වුණේ 'දිනුවට පස්සේය.'
පැරදුණා නම් 'මල්වඩම්' ගේන්න හිටිය බොහෝ දෙනා දිනුවට පස්සේ 'මල්මාලා' අරගෙන මෛත්‍රි බැහැ දකින්නට ආවෝය. කොටි ත්‍රස්තවාදීන්ගෙන් උතුර මුදාගත් අවසන් සටන වෙලාවේ සාමාන්‍ය ජනයා රැකවරණ පතා එන විට ඔවුන්ට මුවාවී 'කොටි' ත්‍රස්තයන්ද ආව බව ඇත්තය. මෛත්‍රි දිනුවම වුණේත් ඒකය. ප්‍රතිවාදීන්ව සිටි හොඳ අය සේම 'නරක' අයද උපාසක ලීලාවෙන් මෛත්‍රි සෙවණට ආවේය.

අන්තිමට මෛත්‍රි පත් වුණේ උභතෝකෝටික ගැටලුවකටය. පරාජය වූ 'කඳවුරේ' පිරිස ආවේ මෛත්‍රිට 'තෑග්ගක්' අරගෙනය. ඒ පරාජය වූ පක්ෂයේ 'සභාපතිකම'ය. නොඑසේ නම් 'නායකත්වය'ය.

මෛත්‍රි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිවිහිමියෙන් ආදරය කරන බව ඇත්තය. ඒ පක්ෂය වෙනුවෙන් සිරබත් කෑ බව ඇත්තය. පාසල් වියේ සිටම පක්ෂය වෙනුවෙන් කැපවූ බව ඇත්තය. හැබැයි මෛත්‍රි රටේ නායකයා වූයේ ඉන් මෙහාට ඇවිත්ය. හැමදේටම වඩා 'ජනාධිපතිකම' විශාලය. ඒක රටේ නායකත්වය ය. රටේ නායකයා 'ආපසු හැරෙන්න' ඕනෑ නැත. එහෙම හැරෙන එක 'ඔලිම්පික් දිනූ බෝල්ට් ආපසු පාසල් ක්‍රීඩා දුවනවා' වගේ වැඩක්ය.

ලක්ෂ හැට දෙකක් ජනතාව එකතු වී රටේ නායකත්වය භාර දුන් පසුත් මෛත්‍රි තමාට ඡන්ද ලක්ෂයක්වත් නොදුන් පක්ෂය භාර ගන්නට යෑමේ උභතෝකෝටිකය දැන් තීරණාත්මක තැනකට ඇවිත්ය. යහපාලන පොරොන්දු ප්‍රකාරව වැඩ කරන්න ජනපතිට හෝ ආණ්ඩුවට ඉඩ නොදෙන්නේ මහ ඡන්දෙත් මහින්දගෙන් ඉල්ලා පස්සේ මෛත්‍රි ගාවට ආව අය ය. 'ආණ්ඩුවෙන් අපි ළඟදීම යනවා' කියා කියන්නෙත් ඒ අයය. දැන් වෙලා තියෙන්නේ එහෙම හැරුණු එකේ 'අවුලය'. මෛත්‍රි කියන්නේ එදා මෙදාතුර මේ රටේ පාලකයන්ගෙන් 'අත්හැරීම' ප්‍රායෝගිකව පෙන්නූ නායකයාය. එහෙව් නායකයා 'අල්ලා ගන්නට' ගියේම අත්හැරිය යුතුම දේය.
මහින්ද, දෙවරක් ජනාධිපතිකම් කොට තුන්වැනි වර ඉල්ලා 'නාගෙනම' යන්න ගිය කෙනාය. දෙවැනි වර කෙළවරකොට ගෙදර ගියා නම් ඔහු 'විශ්‍රාමික රජෙක්'ය. ශේ‍ර්ෂ්ඨ ජන නායකයෙක්ය. ඔහුට ලැබෙන්න තිබුණේ එදා මෙදා තුර කිසිම නායකයකුට නොලැබුණු 'ශේ‍ර්ෂ්ඨත්වයක්'ය.

හැබැයි ඔහු එක තීන්දුවකින් ඒක නැතිකර ගත්තේය. ඒ තෙවැනිවර ඉල්ලීමෙනි. පාර්ලිමේන්තුවට ඉල්ලා එය ඔහු නැත්තටම නැතිකර ගත්තේය. 'පිරිසක් වටේට ඉන්නවා කී පමණින් ඔහු ජයග්‍රාහකයෙක් වන්නේ නැත.'
තිත්ත වුණත් ඇත්ත ඒකය.

'ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස නොහිටියා නම් අත්‍යවශ්‍ය පනත් සම්මත කරගන්න බැරි වෙනවා.'
එහෙම කියන කතා ප්‍රායෝගිකව හිනා යන මට්ටමේ ඒවාය. වඩා යහපත් දේකට අනුමැතිය නොදෙන මිනිස්සුනට උරුම වන්නේ 'කුණු බක්කිය'ය. පනත් සම්මත කරගැනීමට කියා එකතු කර ගැනීමේදී දෙන්නට සිදුවන්නේ වරදාන වරප්‍රසාදයන් ය. එහෙම දෙන්නට යෑමෙන් සිදුවන අගතිය පනතක් සම්මත කර ගන්නට බැරි වෙනවාට වඩා භයානකය.

මොනවා කීවත් දැන් පක්ෂ දෙක එක් වෙලාය. හැබැයි මේක බලහත්කාරයෙන් කළ විවාහයක්ය. ගැට ගැසී තිබෙන්නේ 'ලියවිල්ලක්' හින්දා වාගේය. එක්වූදා සිටම කියන්නේ 'මේක ටික කාලයයි. අපි වෙනම ඉල්ලලා අපේ ආණ්ඩුවක් ළඟදීම හදනවා' කියලාය. ඒ කතා වෙන්ව ඉන්නවාට වඩා 'රිදෙන' කතාය.
මෛත්‍රි අද මුහුණ දී සිටින්නේ වක්කඩේ කැඩුවා වගේ ආව සියලු දෙනාම භාර ගැනීමේ 'අවුලට'ය. අරුන්දිකලා හිටියේ මහින්දගේ හිතෛෂිවන්තයන් ලෙසය. ටී. බීලා, සුසිල්ලා, වගේ බොහොමයක්ම මහින්දගේ 'අසාධාරණයට හෝ කැපිල්ලට' ලක් වූ අය නොවේය. අද ආණ්ඩුවේ 'කකුලෙන් අදින්නේ' ඒ අයය. ඔවුන්ට මහින්දගෙන් මිදෙන්න කිසිම හේතුවක් තිබ්බේ නැත. තිබ්බ එකම හේතුව 'පරාජය' විතරය.

අද මෛත්‍රිට කිට්ටු වී සිටින බොහෝ දෙනා මහින්ද දිනවන්න දිවි හිමියෙන් කැපවූ අයය. මෛත්‍රි පත් කරගෙන සිටින සමීපතම නිලධාරීන් පවා මහින්දගේ හිතෛෂිවන්තයන්ය. මෛත්‍රි දිනවන්න ගම්වල වැඩ කරපු සමහරුන්ට කනට ගැසූ අය අද මෛත්‍රිගේ දෑත් ශක්තිමත් කරන්නට ඇවිත්ය.
'උඹලා කවුද, මෛත්‍රි දිනෙව්වේ අපි'
කියා දැන් ඔවුන් කියන්නේය.

'කීව නාහන' අරුන්දික, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ඉවත් කළේය. හැබැයි පහුවදා ආපහු ඔහු මෛත්‍රි එක්ක හිටියේය. අද හෙට ඇමැතිකමක් ලැබෙන බවත් කියැවෙන්නේය. එහෙම බැලුවම මේවා 'විගඩම්'ය.
'නිහඬ විප්ලවය' කළ හැටි ඒ මහත්තුරු දන්නේ නැත. මෛත්‍රි වෙනුවෙන් මිනිස්සු නිහඬ විප්ලවය කරන විට ඔවුන් මහින්ද වෙනුවෙන් 'ඝෝෂාකාරී යුද්ධය' කරමින් සිටිය අයය. මෛත්‍රිගේ ඡන්ද ප්‍රමාණයවත් ඒ අය දන්නේ නැත. හැබැයි ඒ අය මෛත්‍රිගේ අයිතිකාරයෝය.

එක්සත් ජාතික පක්ෂය මේ අවුරුදු දෙක තුළ අමාත්‍යවරුන් තුනක් අහිමි කර ගත්තේය. සමහරු කියන්නේ 'කැරලිකාර පසුපෙළ' ඊට හයියක් වූ බවය. කොහොම වෙතත් ආණ්ඩුවේ ප්‍රමුඛ පාර්ශ්වයේ ඇමැතිවරු දෙන්නෙක් ඉල්ලා අස් වූ අතර එක් අයෙක් නෙරපා දැමීය. ඒ මදිවට ආණ්ඩුව විවේචනය කරන මන්ත්‍රිවරුන්ගේ කටවල්වල සීමාව පනින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයේය.

සාමූහිකත්වය වැඩියෙන් බිඳෙන්නේ ඒ පැත්තෙන්ය.
20 සංශෝධනය පළාත් සභාවල පරාජය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයය.
ඉකුත් දින කිහිපයේ තනතුරු ගැලවෙන්නේ ඒ අයගේය.

කොහොම කොහොම හරි මෛත්‍රි 'සුද්ද කිරීම' පටන් ගන්නේ නම් ඒක හොඳය.
රටට මේ මොහොතේ වුවමනා වන්නේ ශක්තිමත් පක්ෂයකට වඩා 'නිවැරැදි ආණ්ඩුවක්'ය.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 'අනුරව' නෙරපා හරින්නේ හිතවත්කම්, පුතාකම්, ලොකුකම් බලබල ඉඳලා නොවේ. අරමුණට පිටින් යන හින්දාය. කැමැති වුණත් අකැමැති වුණත් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිය. ඉතින් ආණ්ඩුවත් පක්ෂයත් දෙකම සුද්ද කිරීමට ඔහු නොපැකිළිය යුතුය.
ඊට වඩා ලොකු චරිත ඉතිහාසයේ පක්ෂ විසින් නෙරපා තිබේ. එහෙම එළවා දැමූ කවුරුවත් 'පොරවල්' වෙලා නැති බවද ඉතිහාසය ඔප්පු කොට තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්