පාස්කරලිංගම් පාස් කළේ කොහොමද ?

  👤  4110 readers have read this article !
2017-09-14

71 ආණ්ඩුව ආවේ 'හඳෙන් හෝ හාල්' දෙන බව කියලාය. ඒ ආකර්ෂණීය ඡන්ද පොරොන්දුව 'සමඟි පෙරමුණ' ගේන්නට ඉවහල් වුණේය. හැබැයි ඒ ආණ්ඩුවට කරන්න බැරි වුණේත් ඒකය. හාල් පොලු, මිරිස් පොලු, සීනි පොලු අතරේ රටම හිරවුණේය. ඒ ආණ්ඩු කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් රුපියල් 500ක් වැනි ඉතා සුළු මුදල් පවා අල්ලස් වශයෙන් ලබාගන්නා බවටත්, බොහෝ ගුරු පත්වීම් සඳහා වන සම්මුඛ සාකච්ඡා විටෙක 'තානායම්වල' පැවැත්වෙන බවත් වාර්තා විය. ඒ ආණ්ඩුව ගෙදර ගියේම 'හඳෙන් තියා කොහෙන්වත් හාල් නොදුන්' අසාර්ථක පදනමකින් ය. සටන් පාඨ අවුල් වෙන්නේ එහෙමය.

"ධර්මිෂ්ඨ සමාජයක් ඇති කරමු" කියා 1977 රට පුරා ගැසූ පෝස්ටරය පුදුමාකාර එකක්ය. අවුරුදු 7ක් ආණ්ඩු කළ සමඟි පෙරමුණ ගෙදර යවන්නට ඒ පෝස්ටරය බලවත් විය. නිදහස් ලංකාවේ පළමු මුදල් ඇමැති වූ ජේ. ආර්. ඒ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ නායකයාය. ජේ. ආර්. ඡන්දෙට ආවේ සමඟි පෙරමුණ සෝදා හරින්නටමය. හරියටම කීවොත් ඡන්දය තිබ්බේ 1977 ජූලි 22දාය. කීවා වගේම ජේ. ආර්. ගේ පක්ෂය ආසන 168න් ආසන 140ක් ලබා ගනිමින් විශිෂ්ට ජයක් ලබාගත්තේය. ආසන 18ක් ලබා ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් තරග කළ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ දෙවැනි තැනට එද්දී ශ්‍රීලනිපයට හිමි වූයේ ආසන 7ක්ය.

හැමෝම බලාගෙන හිටියේ ධර්මිෂ්ඨ සමාජයක් ඇති කරන විදියය. හැබැයි වුණේ වෙන එකක්ය. 60,000ක තරුණ ජීවිත විනාශ කළ ජරාජීර්ණ රටක් නිර්මාණය විය.
විපක්ෂය නන්නත්තාර කොට විපක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය නැතිකොට, ඡන්ද කල් දමමින් ඒ ආණ්ඩුව ඩෙඟා නැටුවේය. කලාකරුවන්ට පහර දෙමින්, වියතුන්ට පහර දී කානු පල්ලට දමමින්, සත්‍යග්‍රහ කළ භික්ෂුන් වහන්සේලා ඔසවාගෙන ගොස් දමමින්, දුරාචාරයෙන්, ම්ලේච්ඡත්වයෙන් ඉතිරී ගිය රටක් දායාද විණි. ඡන්දෙ දිනන්න පාවිච්චි කළ සටන් පාඨයම කෙලෙසී ගියේ එහෙමය. 94 ආණ්ඩුව ආවේ '17 අවුරුදු සාපයට' තිත තියනවා කියලාය 'සාමය සමෘද්ධිය' ගේනවා කියා ආව ඒ ආණ්ඩුව ගෙදර ගියේද ඒ දෙකම වෙනුවට 'යුද්ධය සහ දුර්භික්ෂය' ඉතිරි කරලාය.

'ඉතින් හදමු අපි අලුත් රටක්' කියා ආව රනිල්ගේ ආණ්ඩුව නොකළේම ඒකය. 'යළි පුබුදමු ශ්‍රී ලංකා' කියා ඔහු කළේ ඒකේ අනෙක් පැත්තය. අන්තිමට වසර දෙකකින් ලැබුණේ 'මැලැවුණු ශ්‍රී ලංකාවක්'ය.

'සුබ අනාගතයක්' කියා ආව මහින්දගේ ආණ්ඩුවද ඉතිරි කළේ 'අසුබ අනාගතයක්' විතරය.
මේ ආණ්ඩුව ආවේ එදා මෙදා තුර ලංකාවේ කිසිම ආණ්ඩුවක් නොදුන් වෙනස්ම තාලේ වචනයක් අරගෙනය. 'යහපාලනය' ඒ වචනය විය. හැබැයි නැත්තේද ඒකමය. හරියට බැලුවම පේන්න තියෙන්නේ අත් නළලේ ගසා ගන්නට වෙන රටක්ය.
'යහපාලනේ දෝරෙ ගලනවා'

සමහරු කියන්නේ එහෙමය. වසර දෙකක් තිස්සේ මේ ආණ්ඩුව 'හොරු ඇල්ලුවේය'. ඒ ආණ්ඩුවේ හිටියා කියන ඕනම කෙනෙක් භාරගන්න මේ ආණ්ඩුව ලෑස්තිය. එහෙම ආවොත් නඩු නැත. චෝදනා නැත. ලෙඩ නැත. හරිම පිරිසුදුය. නාවොත් ඒකේ අනෙක් පැත්තය. හැබැයි කියන්නේ 'අපි ගාව ඉන්නේ පෙරාපු රත්තරන්' කියලාය.
ආර්ථිකය අහස උසට නංවනවා කීවේය. හැබැයි තිබ්බ මුල්ගල් පැළවෙනවාය. එනවා කීව 'ෆොක්ස්වැගන්' තාම නැත.
රැකියා ලක්ෂ ගාණක් දෙනවා කීවේය. දැන් තියෙන රැකියාත් නැති වෙන ගානය. සුරක්ෂිත රටක් හදනවා කීවේය. හැබැයි මේ ආණ්ඩුව වැඩියෙන්ම ආදරේ කරන ඇමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප් හැදුවේ මෙතෙක් දුන්න ආධාර තුට්ටුවට කපලා දාන්නය.

'ඇමෙරිකාව අපේ අතින් අල්ලගන්නවා' කියලා උජාරුවෙන් කීවට ට්‍රම්ප් පස්ස බැලුවේ එහෙමය. එහෙව් ඇමෙරිකාව අපිට උදව් කරයි කියලා හිතනවානම් ඒක නියම විහිලුවක්ය.

ආණ්ඩුව ගහන කයිවාරු සේරම මේ මහ පොළවේ නොව, හිතේය.
ගිය ආණ්ඩුවේ හොරු හිටිය බවත් ඒ හොරු සතියෙන් අල්ලා ගෝස්ෆේස් ගේන බවත් මේ ආණ්ඩුව එන්න කලින් මිනිසුන්ට කීය. හැබැයි අවුරුදු දෙකක් තිස්සේ හොයපු හොරකමක් නැත. අල්ලපු හොරෙක්ද නැත. සිල් රෙදි බෙදුවාය කියලාත්, වාහන අවභාවිත කළාය කියලාත්, පොඩ් පොඩි හේතු අල්ලාගෙන මාධ්‍ය සන්දර්ශන තියමින් 'එදා වේල' ගේමක් ආණ්ඩුව සෙල්ලම් කරයි.

එහෙම නැතිව හරිහමන් හොරකමක් හෝ හොරෙක් ආණ්ඩුව අල්ලලා නැත. ඒ වෙනුවට කළේ 'ඔවුන්ම පත් කළ' අධිකරණ අමාත්‍යවරයා බෙල්ලෙන් අල්ලා එළියට දැමීමය.

'මේ ආණ්ඩුව අල්ලාගන්නේම වැරදි කොන්වලින්, මෙහෙම ගියාම නිලධාරියෙක්ගෙන් හැමදේටම තුණ්ඩු කෑලි ගන්න වෙයි. කිසිම වැඩක් කරගන්න වෙන එකක් නෑ'.
මිනිස්සු කියන්නේ එහෙමය.

'චක්‍රලේඛ අනම් මනම් නොබලා මිනිසුන්ට සහන සලසන්න.'
පහුගිය දිනවල ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කීප විටක් එහෙම කීය. මහින්ද කී දේ වැරැදියි කියන මේ අය තමන් කියන ඒ දේම හරි යැයි කියන්නේ කොහොමද දන්නේ නැත.

ලලිත් වීරතුංග කියන්නේ රාජ්‍ය සේවයේ සිටින ජේ‍යාෂ්ඨතම රාජ්‍ය සේවකයෙක්. රටේ ජනාධිපතිවරයා වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට තිබෙන බලතල ප්‍රකාරව ජනාධිපති නියමයක් කළ විට එම නියමය ඉෂ්ට කිරීමට ලේකම් බැඳී සිටිනවා. ඒ වගේම ජනාධිපතිවරයාට බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට වගකීමක් පැවැරී තිබෙනවා. සම්බුද්ධත්ව ජයන්ති රාජ්‍ය උත්සවය සඳහා පත් කළ කමිටුවේ නිර්දේශය මත තමයි සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් සඳහා සිල් රෙදි ලබාදීමට ජනාධිපතිවරයා නියෝග කළේ.

මෙහෙම කියන්නේ බන්දුල ගුණවර්ධනය. කතාව හරියට හිතලා බැලුවම ඇත්තය. අනෙක් අතට මේකෙන් කොරන්න බැරි ගෑනියෙක් පිරිමියෙක් කරන එකයි පිරිමියෙක් ගෑනියෙක් කරන එකයි විතරයි' කීවේ මේ ව්‍යවස්ථාව හදපු ජේ.ආර්. ය. ඒක එහෙම කියලා ජේ.ආර්. නිකන් හිටියෙ නැත. කරන්න පුළුවන් හැම දේම කළේය.
1989-93 අතර පාලන කාලයේ කිසිම ඇපයකින් තොරව පක්ෂයේ හෙංචයියලාට මිලියන ගණන් ණය ලබාදීමට රාජ්‍ය බැංකුවලට නියෝග කෙරිණි. ඒවා කරන කාලයේ මුදල් ලේකම් පාස්කරලිංගම්ය. එ.ජා.ප. ආණ්ඩු කාලයේ ආව ලොකු චෝදනාවක් වූයේ එල්.ටී.ටී.ඊ.යට ආයුධ සහ මුදල් දුන්නාය කියන චෝදනාවය. ඒ චෝදනාව එල්ල වූයේ ප්‍රේමදාස ජනාධිපතිවරයාටය. හැබැයි මුදල් නිදහස් කළේ පාස්කරලිංගම්ය. ඒ කාලයේ ඔහු මුදල් අමාත්‍යාංශයේ ලේකම්ය. ජනතාවට සහන සලසන්න ඉතාම හදිසි අවශ්‍යතාවක් සේ සලකා මුදල් දුන්නාට කමක් නෑ. ඒත් සිල් රෙදි බෙදුවේ මොන හදිසි අවශ්‍යතාවකටද කියා අහන ආණ්ඩුවේ සමහරුන්ගෙන් අහන්න තියෙන්නේ 'කොටින්ට ආයුධ හා මුදල් දෙන්න මුදල් වෙන් කරන්න පාස්කරලිංගම්ලා කටයුතු කළේ මොන හදිසි අවශ්‍යතාවකටද කියාය.

හැබැයි ලලිත් වීරතුංගලා හිරේ යන්නේ රාජ්‍ය මුදල් අවභාවිත කළා කියලාය. පාස්කරලිංගම්ලා සූක්ෂ්ම වෙන්නේ 'අගමැති උපදේශකයෙක්' වෙලාය.
කොටි හමාර කරන්න ලලිත් වීරතුංගලා කටයුතු කළේය. කොටි පෝෂණය කරන්න පාස්කරලිංගම්ලා කටයුතු කළේය. වෙනස ඒකය. කොටි හමාර කළ මහින්දගේ ලේකම් වෙච්ච ලලිත් වීරතුංග හිරේය. කොටි පෝෂණය කරන්න උදව් කළ එ.ජා.ප. ආණ්ඩුවේ හිටිය පාස්කරලිංගම් තාමත් අගමැති ගාව වැඩය.
මේ 'යහපාලනය'ය. ආණ්ඩුව කරපු ලොකුම වැඩේ 'සිල් රෙදි බෙදූ' හේතුවට අදාළව දෙදෙනෙක් හිරේ යවපු එකය. හැබැයි මේ ආණ්ඩුව ගේන්න මිනිස්සු පෙළගැසුණේ ඒ දෙන්නා හිරේ දාන්න කියා හිතනවා නම් ආණ්ඩුවට අබ සරණය. මිනිස්සු කල් බලන්නේ ප්‍රවේශමින්ය.

'මම මේ දේශපාලනේ හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක්' කීවේ ප්‍රේමදාසය. 'කවුරු හරි හිතනවා නම් මම කරන්නේ ඇටබෝල ගහන එක කියලා ඒක ලොකු වරද්දා ගැනීමක්' කීවේ චන්ද්‍රිකාය. මහින්ද කියන්නේත් එහෙම තෙම්පරාදු වෙච්ච මිනිහෙක්ය. 1994 සිට 2004 දක්වා චන්ද්‍රිකාගේ ආණ්ඩුව පල නොකියා පලා බෙදද්දීත් මහින්ද කල් ඇල්ලුවේ තමන්ට අවස්ථාව එන තුරුය. අන්තිමට ඔහු අවස්ථාව ගත්තේය.

ඔහු පැරදුණු බව ඇත්තය. හැබැයි ඉතිහාසයේ ප්‍රබලතම විපක්ෂය ඔහු සතුය.
ඒ නිසා හෙට වෙන දේ ගැන විමසිල්ලෙන් ඉන්න එක හොඳය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්