යතුරුපැදි

  👤  3360 readers have read this article !
2017-09-14

ශ්‍රී ලංකාව රිය අනතුරු බහුල රටකි. වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුවන්නේ ත්‍රිරෝද රථ හා යතුරුපැදි නිසාය. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසන ආකාරයට මේ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලය තුළ පමණක් සිදුවී ඇති යතුරුපැදි අනතුරු සංඛ්‍යාව හත්සිය තිස් නවයකි. ඉන් මරණ හත්සිය හැටහයක් සිදුවී තිබේ.

යතුරුපැදි අනතුරු සිදුවීම කවදත් වැඩිය. එහෙත් ඒ අනතුරුවලින් සිදුවන මරණ සංඛ්‍යාව මෙතරම් ඉහළ ගොස් ඇත්තේ මෑතක සිටය. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසන ආකාරයට යතුරුපැදි අනතුරුවලින් මරණ සිදුවීමට ප්‍රධාන හේතුව ප්‍රමිතියකින් තොර හෙල්මට් පාවිච්චි කිරීමය. තවත් හේතුවක් වන්නේ වමෙන් ඉස්සර කිරීමය.

තෙහෙට්ටුව හා අධික නිදිමතද එක් හේතුවකි. සිවුවැනි හේතුව වන්නේ අධික වේගයෙන් ධාවනය කිරීමය. හෙල්මට් නොපැලඳ සිටීම, දෙදෙනකුට වඩා යතුරුපැදියේ නැඟ යෑම, හෙල්මටය නිසියාකාරව පැලඳ ගැනීමට උනන්දු නොවීම, යතුරුපැදියේ තාක්ෂණික
දෝෂ, සතුන් හදිසියේ මාර්ගයට පැනීම, පෞද්ගලික බස් රථ, ලොරි වැනි ලොකු වාහන යතුරුපැදි ගැන නොසැලකීම අනතුරුවලට තවත් හේතු කිහිපයකි.
ඕස්ට්‍රේලියාව වැනි රටවල මාර්ගවල යතුරුපැදි ධාවනය වන්නේ ඉතාම අඩුවෙනි. හෙල්මට්, ආරක්ෂිත ජැකට් සපත්තු පැලඳ මිසක එරට යතුරුපැදි ධාවනය කළ නොහැකිය. ඉන්දියාව, වියට්නාමය බහුල ලෙස යතුරුපැදි ධාවනය කෙරෙන රටවල්ය. එහෙත් ලංකාවේ තරම් ඒ රටවලින් යතුරුපැදි අනතුරු වාර්තාවන්නේ නැත. මීට ප්‍රධාන හේතුව යතුරුපැදිකරුවන්ගේ නොසැලකිල්ලය. අවිනීත රිය පැදවීම ලංකාවට පොදු දෙයකි. රියැදුරන්ගෙන් සැලකියයුතු පිරිසක් රිය පැදවීමේදී වඩාත් කැමැති මාර්ග නීති කඩකිරීමටය. 'පොලිසිය' මාර්ගයේ නැතිනම් එවැනි රියැදුරන් ආජානේය අශ්වයන් මෙන් වේගයෙන් යෑමට දෙවරක් සිතන්නේ නැත. මෙරට පොලිසියේ 'වැරැදි' තිබුණද පොලිසිය නැතිනම් මේ අනතුරු සංඛ්‍යාව දෙගුණ තෙගුණ වෙනවා නොඅනුමානය.

බොහෝ යතුරුපැදිකරුවන් සිතන්නේ 'හෙල්මට්' දැමිය යුත්තේ නීතියක් නිසා මිස සිය ආරක්ෂාව සඳහා නොවන බවය. වමෙන් ඉස්සර කිරීම තහනම් කර තිබීමටද යතුරුපැදිකරුවන්ගේ සංගමය විරෝධය පළ කර ඇත. ඒ නීතිය පනවා ඇත්තේ විශේෂයෙන් යතුරුපැදිකරුවන්ගේ ආරක්ෂාවටය. එහෙත් විරුද්ධවන්නන් වාලේ විරුද්ධවීම හැර අන් මතයක් ඔවුන්ට නැත.

කලක් දුප්පතාගේ වාහනය වූයේ පාපැදියය. අද එය යතුරුපැදියට මාරු වී ඇත. කාන්තාවෝද යතුරුපැදි ධාවනයට ශීඝ්‍රයෙන් එකතු වෙමින් සිටිති. එහි වරදක් නැත. වරද ඇත්තේ යතුරුපැදි ධාවනයේදී පරිස්සම් නොවීමය. ඇතැම් යතුරුපැදිකරුවෝ හෙල්මටය තුළ ජංගම දුරකතන රඳවාගෙන ඇමැතුම් ගනිමින් මාර්ගයේ ධාවනයේ යෙදෙති. 'ස්කූටර්'වල ඇතැම් විට දෙදෙනකු හෝ තිදෙනකු යන අවස්ථා තිබේ. ස්කූටරය සාමාන්‍යයෙන් තනි පාවිච්චියට නිෂ්පාදනය කර ඇති වාහනයකි. බොහෝ දෙනා බලන්නේ එවෙලේ පහසුවය. එහෙත් ආරක්ෂාව ගැන සිතන්නේ නැත.

අනතුරක් වූ විට ඥාතීහු පොළොවේ හැපෙමින් අඬා වැලපෙති. එහෙත් අනාරක්ෂිත යතුරුපැදි ධාවනය ගැන පූර්වයෙන් අනතුරු අඟවන්න උත්සුක වන්නේ නැත. එලෙස අනතුරු ඇඟෙව්වද බොහෝ දෙනාට සතියෙන් දෙකෙන් 'අවවාද' අමතක වී යයි. 'අවවාදය' මතක් වන විට සියල්ල සිදුවී හමාරය. සමහරුන්ට ඒවා මතකයට නඟාගැනීමට ඉඩක් ලැබෙන්නේ ද නැත. හේතුව ඊට පෙර මරණයට පත්වීම නිසාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්