උතුරු දකුණු පාලම

  👤  3534 readers have read this article !
2017-09-13

උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී.වී. විග්නේහ්වරන් ඉකුත් ඉරිදා මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට ගියේය. උතුරු හෝ නැඟෙනහිර පළාත් නියෝජනය කරන ප්‍රධාන ඇමැතිවරයකු මෙලෙස මහ නාහිමිවරුන් බැහැ දැකීමට ගියේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බව සැලකේ. වඩා වැදගත් කාරණය මහ ඇමැතිගේ ගමන නොව එහිදී ඇතිවූ කතා බහය. විශේෂයෙන් මල්වතු මහ නාහිමි වඩා අවබෝධයෙන් යුතුව මහ ඇමැතිවරයා සමඟ සංවාදගත වී තිබිණි. උන්වහන්සේ අවධාරණය කර තිබුණේ උතුරු ජනතාවගේ ප්‍රශ්න රජයට දැනුම් දී සාකච්ඡා කර විසඳුම් සොයා ගැනීම දේශපාලනඥයන් වන ඔබලාගේ කාර්යයක් බවයි.

උතුරේ මහ ඇමැතිවරයා මෙලෙස පැමිණ නාහිමිවරු මුණගැසී සාකච්ඡා කිරීමට තීරණය කිරීමද සහජීවනය උදෙසා වන සාධනීය කාරණයකි. ඔහු නාහිමිවරු හමුවේ පළ කළ ඇතැම් අදහස් විවාද සම්පන්න වුවද කළ යුත්තේ කෙවිටෙන් තළා පිටමං කිරීම නොව ඒ පිළිබඳ සංවාදගත වීමය.

තමන් ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලන්නේ රට බෙදන්න නොව එකතු කිරීමට බව උතුරු මහ ඇමැති කළ ප්‍රකාශයට ජාතිකවාදීනගේ් හා අන්තවාදීන්ගේ දැඩි විවේචන එල්ල වී ඇත. ඔවුන් පවසන්නේ ප්‍රභාකරන් කියූ දේ වෙනත් වචනවලින් විග්නේශ්වරන් කියා ඇති බවය. බැලූ බැල්මට මේ කතාව ඇත්තය. 'ෆෙඩරල්' යන වචනයටද බොහෝ දෙනා බියක් දක්වත්. 'ෆෙඩරල්' යන්නෙන් රට බෙදීමක් අර්ථ දැක්වෙන බව ජනප්‍රිය මතයයි. 'ෆෙඩරල්' යන්නෙන් මහ ඇමැතිවරයා අදහස් කරන්නේ උපරිම බලය බෙදීමකින් උතුර හා දකුණ අතර ඇති දුරස්ථභාවය අඩුවන බවය. බෙදුම්වාදයට ඇති වුවමනාව අහෝසි වී යෑමට නම් ඉන්දියාවේ මෙන් ෆෙඩරල් පන්නයේ බලය බෙදාහැරීමක් අවශ්‍ය බව ඔහුගේ අදහස විය යුතුය.

උතුරේ ප්‍රශ්නය යුද්ධයක් දක්වා වර්ධනය වූයේද එය විනාශයකින් කෙළවර වූයේද ප්‍රශ්නය විස¼දා ගැනීමේ අවංක වුවමනාවක් දෙපාර්ශ්වයටම නොතිබුණු නිසාය. පුද්ගල ඝාතන සිය දේශපාලන උපාය කරගත් එල්ටීටීඊ වැනි අන්ත ජාතිවාදී සංවිධානයක් ඊළම මිස අන් කිසිවක් බලාපොරොත්තු වූයේ නැත. එනිසා පාලක පන්තිය කළ යුතුව තිබුණේ දෙමළ ජනතාව උදෙසා විසඳුමක් යෝජනා කර සංවාදයන් ඇරැඹීමයි. එහෙත් සැමවිටම කළේ උගුරට හොරා බෙහෙත් කෑමට යෑමය. මල්වතු නාහිමියන් ඉතා නිවැරැදිව ප්‍රකාශ කර ඇති පරිදි දේශපාලනඥයන් තම තමන්ගේ පක්ෂවල දියුණුව මිස ජනතාවගේ ප්‍රශ්න දෙස බලා වැඩ කරන්නේ නැති තරම්ය. 'බලය' මිස අන් කිසිවක් ඔවුන්ට වැදගත් නැත. 'බලය' ඉල්ලන්නේද ස්වාර්ථය වෙනුවෙන් මිස පරාර්ථය සඳහා නොවේ. එල්ටීටීඊයද කටයුතු කළේ එවැනි පටු අරමුණකින් මිස පුළුල් කෝණයකින් බලා නොවේ. විනාශයට මුල එය විය.

මල්වතු නාහිමියන් ප්‍රකාශ කර ඇති පරිදි උතුරේ ජනතාවට අවශ්‍ය සාමය හා සතුට පමණි. තිස් වසරක යුද්ධයෙන් වැඩියෙන්ම බැට කෑවේ ඔවුන්ය. එනිසා අන්තවාදීන් හා ජාතිවාදීන් හැර අන් කිසිවකු යළි යුද්ධයක් ප්‍රාර්ථනා කරන්නේ නැත. වාර්ගිකව බෙදී සිටි උතුර හා දකුණ අතර තවමත් සැබෑ සංහිඳියාවක් ඇතිවී ඇති බවක් නොපෙනේ. දකුණේ ජනතාව තුළ මෙන්ම උතුරේ ජනතාව තුළ ඇත්තේද 'වැරැදි අවබෝධයකි.

ඒ අවබෝධය නිවැරැදි කිරීමට නායක හිමිවරුන් උතුරට ගිය ගමනද, උතුරේ මහ ඇමැති දකුණට පැමිණි ගමනද එක හා සමානව වැදගත්ය. එවැනි ගමන් සිය ගණනක් රටට අවශ්‍යය. දහසක් මල් පිපෙන්නේ දහසක් මත ගැටුණොත් පමණි. අවි ගැටුම නොව මත ගැටුම් හරහා උතුර හා දකුණ සංහිඳියාවට පාර කපා ගත යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්