නැතුවම බැරි රෝද තුනේ මීටරේ

  👤  3449 readers have read this article !
2017-09-12

මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථ සඳහා ටැක්සි මීටරයක් තිබීම අනිවාර්ය කරමින් ප්‍රවාහන අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය 8 වැනිදා රාත්‍රි නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව ගමනාන්තයේදී ත්‍රිරෝද රථයේ රියැදුරු විසින් මගියා ගමන් කළ දුර, අය කළ ගාස්තුව, දිනය හා වාහන අංකය සහිත රිසිට් පතක් මගියා වෙත නිකුත් කිරීමද අනිවාර්ය කර තිබේ. ආණ්ඩුව එවැනි වැදගත් තීරණයකට එළැඹීම මගී ජනතාවගේ සැනසිල්ලට හේතුවේ.

එසේ වීමට ප්‍රධාන කාරණය නම් මෙරට ත්‍රීවීල් රථ සේවාව මගී ජනයාට සහනයක් සලසනවාක් මෙන්ම, ඇතැම් විට දවසම කාලකණ්ණි කරන තරමේ පීඩාවක් ඇති කරන්නක්ද වීමය.

ප්‍රවාහන ඇමැතිවරයාගේ මෙම තීරණය ඉතා යහපත්ය. එහෙත් ඊට අත්පොළසන් දෙන්නට පෙර තවත් හිතා බලන්නට කරුණු කාරණා බොහොමයක් තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෑතකදී ඉදිරිපත් කළ වාර්තාවලට අනුව ලංකාවේ ත්‍රීවීල් රථ 10,75,000ක් පමණ තිබෙන අතර එයින් ලක්ෂ 6ක් පමණ දිනපතා මගී ප්‍රවාහනයේ යෙදවේ. ත්‍රීවීල් රථ ප්‍රථමයෙන් ලංකාවට ආනයනය කරන ලද්දේ 1978 වසරේදී හෙප්තුල්ලාබෝයි සමාගම විසිනි. එදා සිට අද දක්වාම ත්‍රීවීල් රථ මගී ප්‍රවාහනය සඳහා යෙදවීමේ විධිමත් නියාමනයක් ඇති කිරීමට මෙරට බලයේ සිටි කිසිදු ආණ්ඩුවකට නොහැකි විය.

මෝටර් රථ ආඥා පනත යටතේ නිසි ප්‍රමිතියක් නැතිව ත්‍රීවීල් රථය ලියාපදිංචි කිරීමටද නොහැකිය. රථවාහන ආඥා පනත යටතේ මහමඟ ධාවනයේදී දඩ මුදල් අය කිරීම සිදු වුවද මගී ප්‍රවාහන රථයක් ලෙස මගියාගේ ආරක්ෂාව සහ අයිතීන් සුරැකෙන නියාමනයක් ඇති කර නැත. අවස්ථා ගණනාවකදී මෙවැනි ගැසට් නිවේදන නිකුත් කරන ලද නමුත් ඒ එකක්වත් විධිමත් අයුරින් ක්‍රියාත්මක කරන්නට ආණ්ඩු අපොහොසත් විය.

2003දී එජාප ආණ්ඩුව ත්‍රීවීල් රථ නියාමනය කෙරෙන ගැසට් නිවේදනයක් නිකුත් කළ නමුත් එය ක්‍රියාවට නැඟුණේ නැත. 2013 සැප්තැම්බරයේ එවකට ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාද මෙවැනිම ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර 2017 ජනවාරි 9වැන දිනද ත්‍රීවීල් රථ සම්බන්ධ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි. එහෙත් ත්‍රීවීල් ප්‍රවාහන ජාලය තුළ මගියාට දැනෙන වෙනසක් ඇති නොවීය.

මෙම ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක බව දැක්වෙන ගැසට් නිවේදනයේ වුවද අදාළ ත්‍රිරෝද රථ රියැදුරු, ප්‍රවාහන අමාත්‍යාංශයේ නියමයන් පිළිනොපදින අවස්ථාවකදී ගන්නා පියවර කුමක්ද යන්න අපැහැදිලිය. ත්‍රිරෝද රථ සේවාව සියලුම පාර්ශ්වයන්ට උපරිම ඵලදායිත්වය ලැබෙන පරිදි පවත්වා ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය කටයුත්තකි. නීති පනවනවා මෙන්ම පැනවූ නීති හෑල්ලු වන්නට ඉඩ නොතබා බල ගැන්වීමටද බලධාරීන් වගබලා ගත යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්