නියඟය හා වැස්ස

  👤  3185 readers have read this article !
2017-09-11

වැස්ස ඇරැඹී ඇත. දිවයිනේ ප්‍රදේශ රැසකට වැස්ස ආශීර්වාදයක් වී තිබේ. නියඟය ඒ ප්‍රදේශවලට දැඩිව බලපා තිබීම ඊට හේතුවය. අධික වැස්ස හා තද සුළඟ නිසා උතුරුමැද පළාතේ ඇතැම් ප්‍රදේශවලට දැඩි හානි සිදුවී තිබේ. බීමට පවා වතුර නොමැතිව නියඟයෙන් දුක් විඳි මිනිස්සු වැස්ස නිසා ජල ගැල්මට මුහුණ දී සිටිති. පෑව්වත් වැස්සත් සියලු කරදර මිනිස්සුන්ටය. එහෙත් පරිසර ගැටලු ගැන උනන්දුවක්, දැනුමක් මේ රටේ බහුතර පිරිසකට නැත.

කඳු නාය යන විට නාය යෑමේ අවදානම ගැන අනාවරණය කරන විට ඒ ගැන උනන්දු වන්නේ කඳුකර ප්‍රදේශවල ජීවත්වන පිරිස පමණි. ගංවතුර ගැන උනන්දු වන්නේ ගංවතුර තර්ජනයක් මතුවන ප්‍රදේශවල ජීවත්වන්නන්ය. හොඳම උදාහරණය නියඟයයි. නියඟය පැවැති ප්‍රදේශවල මිනිස්සුන්ට මෙන් අන් ප්‍රදේශවල ජීවත්වන්නවුන්ට එය බැරෑරුම් ප්‍රශ්නයක් සේ දැනුණේ නැත. ගංවතුර ගැලූ විට සුළි සුළං හැමූ විට 'විපත්' ගැන අවධානය යොමු කරන මාධ්‍ය පවා 'නියඟය' ගැන එතරම් අවධානය යොමු කළේ නැත.

'උමා ඔය' ගැන කතා කරන්නේ ඉන් සෘජුවම බැට කන්නන් පමණි. ඒ හැරුණු විට සබුද්ධික පිරිස්ය. බහුතරයට ඒ ගැන එතරම් අවධානයක් නැත. ඔවුහුපක්ෂ දේශපාලනය හා 'පුද්ගල වන්දනාව' මත උමා ඔය ප්‍රශ්නය ගැන කතා කරනවා මිස එහි ඇති බරපතළකම ගැන නොවිමසති. මහනුවර කොළඹ අධිවේගී මාර්ගයෙන් බරපතළ පරිසර ගැටලු ඇතිවිය හැකි වුවද බොහෝ දෙනකුට ඒ ගැන සිතෙන්නේ නැත. 'පෝට් සිටිය' ඉදිකිරීමද එවැනිම අනාගත විපත් ගෙන එන්නක් විය හැකිය. එහෙත් ප්‍රබුද්ධ ජන විඥානයක් අති බහුතරයකට නොමැති වීම නිසාත්, දේශපාලනඥයන් සිය ඡන්ද මල්ල හා සල්ලි මල්ල ගැන වැඩි අවධානයක් යොමු කිරීම නිසාත් රට මුහුණ දෙන අනතුර දෙගුණ තෙගුණ වේ.

ගෝලීය උණුසුම අර්බුදයේ එක් ප්‍රතිවිපාකයක් වන්නේ සාගර
උෂ්ණත්වය ඉහළ යෑමය. ඒ තුළින් හටගන්නා කාලගුණික විපර්යාසවල තරම ඉකුත් සතියේ ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට හානි කළ 'හාවි' කුණාටුවෙන් පෙනී යයි. අනාවරණය වන වැදගත්ම කාරණය වන්නේ විද්‍යාඥයන් මේ සම්බන්ධව කල් තියා පළ කළ අනාවැකි ටෙක්සාස් ප්‍රාන්ත බලධාරීන් මෙන්ම පොදු ජනතාවද නොසලකා හැරීමය. ඔවුන් දියුණු විද්‍යාත්මක පර්යේෂණවලට වඩා 'විශ්වාස' මත සියල්ල තීරණය කිරීමේ ප්‍රතිඵලය වුණේ මහා විනාශයකට මුහුණ දීමට සිදුවීමය. කොළඹ නගරය ඇතුළු මේ රටේ නගර හා තදාසන්න ප්‍රදේශ සුළු වැස්සකට යට වන්නේත්, වසරින් වසර ගංවතුර හා වැසි වතුර තර්ජනය වර්ධනය වන්නේත් අවිද්‍යාත්මක ඇදහීම් හා වැරැදි කළමනාකරණය නිසා බව මේ වන විට සනාථ වෙමින් පවතී. 2016දී කොළඹ නගරය දරුණු ලෙස ජල ගැල්මට හසුවීමෙන් පසු පරිසර ඇමැති ධුරය දරන ජනාධිපතිවරයා තෙත් බිම් ගොඩකිරීම නතර කරන්නැයි නියෝග කළද තවමත් මේ ගොඩකිරීම් අඩු වැඩි වශයෙන් රට පුරාම සිදුවෙමින් පවතී.

සිද්ධියක් වූ විට මහා විනාශයකින් ජීවිත, දේපළ හානි වූ විට 'විසඳුම්' සෙවීම නොව කළ යුත්තේ පූර්වයෙන් ඊට අවශ්‍ය පියවර ගැනීමය. එහෙත් තවමත් බලධාරීන්ට සිහි නුවණ පහළ වී නැත. එනිසා දිගින් දිගටම සිදුවෙමින් පවතින්නේ පාරිසරික විනාශය කරා පාර කැපීම පමණි. එල්ලුම් ගහ යළි ඇති කර මරණ දඬුවම දෙන්නැයි කියා වීදි බසින පිරිස් පරිසරය සම්බන්ධ කාරණාවලදී ඒ ආකාරයට සංවේදී වන්නේ නැත. චෝදනා එල්ල වූවකු පොලිසියට ප්‍රශ්න කිරීමට කැඳවීම පවා ඛේදවාචකයක් සේ දකින පිරිස් තමන්ගේ දෙපා යටින් සිදුවෙන විනාශයට කෝප ගන්නේ නැත. තමන් වෙත විනාශය පැමිණෙනතුරු ඔවුන් නොදනී. ඉතින් කළ යුත්තේ කුමක්ද යන්න ගැන කල්පනා කිරීම මේ සමාජයේ සිටින සබුද්ධික මිනිසුන්ට භාරය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්