මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ටෙන්ඩරයෙන් බිලියන 25ක් අඩුකරගත්තා

  👤  3707 readers have read this article !
2017-09-11

මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳ සියලු කටයුතු නිසි පරිදි නීත්‍යනුකූලව සිදුකර තිබෙන බවත් ඒ පිළිබඳව ගනු ලැබුවේ පෞද්ගලික තීරණ නොවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

අගමැතිවරයා එය ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී ඉකුත් සිකුරාදා (08දා) විශේෂ ප්‍රකාශයක් කරමිනි.
අගමැතිවරයා මෙසේද කීවේය.

මා අද මේ විශේෂ ප්‍රකාශය කිරීමට අදහස් කළේ පසුගිය සති දෙක තුන පුරා එක්තරා මාධ්‍ය ජාලයක් මඟින් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගෙන යන ද්වේෂ සහගත අවලාද සහ මඩ ප්‍රචාරය සම්බන්ධයෙන් මෙම ගරු සභාවටත්, මෙරටේ ජනතාවටත් සත්‍ය පැහැදිලි කිරීමේ අරමුණ ඇතිවයි.
මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා කැබිනට් අනුමැතිය ලද සමාගම මුලින් ඉදිරිපත් කළ මිලට වඩා බිලියන 25ක්, එනම් මිලියන 25,000ක් අඩුවෙන් මේ ව්‍යාපෘතිය ලබාදීමට අපිට හැකි වුණා.

ශ්‍රී ලංකා රජයේ සහ ජපන් රජයේ මැදිහත්වීම් නිසා ව්‍යාපෘතිය පිළිබඳව සාධනීය වෙනස්කම් ගණනාවක් සිදු කර ගැනීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව කොන්ත්‍රාත්තුව හිමි වූ ටයිසෙයි සමාගම සමඟ සාකච්ඡා කොට රුපියල් බිලියන 25කින් වියදම අඩුකර ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකිවුණා.

දැන් මේ මාධ්‍ය ජාලයට කේන්ති ගොස් තියෙන්නේ වියදම බිලියන 25කින් අඩු කිරීම නිසයි. මේ මාධ්‍ය අපට අවලාද නඟන්නේ බිලියන 25ක මුදලක් එනම් මිලියන 25000ක් රටට ඉතිරි කර දීම නිසයි. ඒ නිසා විශාල මුදලක් ඉතිරි කර දීම පිළිබඳ අවලාද නැඟීමට ඔවුන් තවත් අසත්‍ය කරුණු ගණනාවක් ප්‍රකාශ කරනවා.

හරියටම සංඛ්‍යා ලේඛන සඳහන් කළොත් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදුන් ජපානයේ ටයිසෙයි ආයතනය මුලින්ම ඉදිරිපත් කළ මිල ගණන් රුපියල් බිලියන 159 (159,659,226,919.24)ක්. නමුත් ජපාන රජයේ සහ අපේ මහාමාර්ග අමාත්‍යාංශයේ මැදිහත් වීම මත ඔවුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය රුපියල් බිලියන 134ක් දක්වා (134,905,155,000.00) දක්වා අඩු කර ගැනීමට හැකි වුණා.

වත්කම් බැරකම් ප්‍රකාශ බාරදුන් මන්ත්‍රිවරුන්ගේ
නම් ප්‍රසිද්ධ කරන්න

වත්කම් බැරකම් ප්‍රකාශ කීදෙනෙක් භාරදී තිබෙනවාද යන්නත් ඒ අයගේ නම් ප්‍රසිද්ධ කරන ලෙසත් ඉල්ලනවා. ඒකට හේතුව නිසියාකාරව එම ප්‍රකාශ භාරදීලත් පත්තරවලින් හා මාධ්‍යයෙන් අපි බැනුම් අහන්න ඕනෑ. අපි වෙලාවට භාරදීලා තිබෙනවා.ඇමැතිවරයෙක් හැටියට වත්කම් බැරකම් ප්‍රකාශ අපි භාර දෙන්නෙ ජනාධිපතිතුමාට නැත්නම් ජනාධිපති ලේකම්තුමාට. මන්ත්‍රිවරු දෙන්නේ පාර්ලිමේන්තුවටයි.

වත්කම් බැරකම් ප්‍රකාශ බාර දුන් මන්ත්‍රිවරුන්ගේ
නම් ප්‍රසිද්ධ කරනවා

වත්කම් - බැරකම් ප්‍රකාශ භාරදුන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලු දෙනාගේම නම් ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවට සිකුරාදා (08දා) දැනුම් දුන්නේය.

කතානායකවරයා එසේ දැනුම් දුන්නේ වත්කම් - බැරකම් ප්‍රකාශන ලබාදුන් මන්ත්‍රිවරුන් සංඛ්‍යාව පිළිබඳව 'මව්බිම' පුවත්පතේ පළවූ වාර්තාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇතිවූ සංවාදයකදී සිය තීරණය ප්‍රකාශ කරමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 219 දෙනකු වත්කම් බැරකම් ප්‍රකාශ භාරනොදුන් බව පුවත්පතේ පළවී තිබුණා. අප ඒ ගැන දැඩි අවධානය යොමු කළා. එය ප්‍රධාන රපවාහිනි නාළිකාවලින්ද විකාශය වුණා. ඒ නිසා එය මන්ත්‍රිවරුනට හානිකරයි. අප එකී බැරෑරුම්කම පුවත්පතට කියා දුන්නා. ඒ අනුව ඉන් 4 වැනිදා පුවත්පත සිය සාවද්‍ය වාර්තාව නිවැරදි කර කනගාටුව ප්‍රකාශ කර ඇති බව මා දැනුම් දෙන්න කැමැතියි. මේ අවස්ථාව වන විට විපක්ෂය හා ආණ්ඩු පක්ෂ සැලකිය යුතු මන්ත්‍රිවරුන් සංඛ්‍යාවක් එම ප්‍රකාශ භාරදී ඇති බැවින් මෙවැනි කරුණු වාර්තා කිරීමේදී විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් මීට වඩා වගකීමෙන් යුතුව සිය වාර්තා නිවරද්‍ය ලෙස වාර්තා කිරීම ජනමාධ්‍ය වෘත්තියේ සදාචාරයට යහපත් බවද අවධාරණය කරනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්