ආණ්ඩුවේ පළුවක් ගැලවෙන ලකුණු

  👤  4479 readers have read this article !
2017-09-10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය ගිය සතියේ කැම්බල් පිටියේදී පැවැත්විණි. සංවිධායකයන් මුළු වැර යොදා එය සාර්ථක කරගන්නට වෙහෙසුණි. වේදිකාවට ගොඩවෙන ජනාධිපතිවරයාට පලඳන්නට යෝධ මල්මාලාවක් සකසා තිබිණි. පක්ෂයේ ඉදිරිපෙළ නායකයෝ ජනපති එනතුරු බලා සිටි අතර ඔහු වේදිකාවට ගොඩවෙත්දීම ඔවුහු මල් මාලාව රැගෙන සමීප වූහ.

එහෙත්, මල්මාලාව ගෙල පලඳන්නට පෙර ජනාධිපතිවරයා එය දෑතට ගත්තේය.
ඔහු එහිදී පක්ෂයේ අතීතය, වර්තමානය සහ අනාගතය ගැන සංවේදී මෙන්ම, වේගවත් කතාවක් කළේය.
'අපේ පක්ෂයේ බණ්ඩාරනායක මහතා ඝාතනය කළා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට බෝම්බ ගහලා ආබාධිත කළා. මහින්ද රාජපක්ෂ මහතාට යුද්ධයේ අභියෝග ආවා. මට පස් වතාවක් බෝම්බ ගැහුවා.'
මෛත්‍රි කීවේය. සංවත්සර රැලිය සාර්ථක වීම ගැන සියලු දෙනාම සිටියේ සතුටින්ය.

කැම්බල් පිටියේ වේදිකාවේ පක්ෂයේ මෙන්ම වෙනත් පක්ෂවලද
නියෝජිතයෝ දැකිය හැකි විය. කෙසේ වෙතත් සුපුරුදු පරිදි හිටපු ජනාධිපතිනිය ඊට සහභාගි වූයේ පමා වෙලාය. අෑ එනවිට ඇයගේ අසුනේ සිටියේ දි. මූ. ජයරත්නය. චන්ද්‍රිකා දුටු දිමූ නැඟිටින්නට හැදුවේය.

'නෑ නෑ ඔබතුමා ඔහොම ඉන්න'
කී අෑ වෙනත් පුටුවක අසුන් ගත්තාය.
සංවත්සරයට වැඩිම ජනකායක් රැගෙන එන්නට සියලු සංවිධායකයන් උත්සාහ කළ අතර ඉනුත් වැඩිම පිරිසක් රැගෙනවිත් තිබුණේ මහින්ද අමරවීරය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම මෙවර පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදීය. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. එහිදී ප්‍රධාන අවධානය යොමු වූයේ පක්ෂ සංවත්සරය ගැනය. මහින්ද අමරවීර මෙන්ම දුමින්ද දිසානායක ද ඒ ගැන අදහස් දැක්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සමුළුව සාර්ථක කර ගැනීමට දායකත්වය දැක්වූ සියලු දෙනාට ස්තුති කළේය.
"දැන් ඔයාලා පළාත් පාලන ඡන්දෙට ලෑස්ති වෙන්න. ළඟකදී නම් පළාත් සභා මැතිවරණය පැවැත්වෙන එකක් නැහැ. නමුත් පළාත් පාලන මැතිවරණය තියනවා. හැමෝම ඒකට සූදානම් වෙන්න" ජනාධිපතිවරයා පිරිසට දැනුම් දුන්නේය.

ඒ අතරේ නැඟී සිටි දයාසිරි ජයසේකර චෝදනාවක් එල්ල කළේ මහින්ද පාර්ශ්වයටය. "මේ කතාව වැරැදියට තේරුම් ගන්න එපා. මම කතා කරන්නේ පක්ෂය වෙනුවෙන්. අපේම පිරිසක් පොහොට්ටුවක් හදාගෙන ශාඛා සමිති පිහිටුවාගෙන යනවා. මේවට ඉඩ තියන්න බැහැ. එයාලා අපිත් එක්ක එකතු වෙයි කියලා දැන් බලන් හිටියා ඇති. අපි වහාම මේ අයට විරුද්ධව
ක්‍රියාමාර්ග ගන්න ඕනේ" දයාසිරි පැවැසීය.
මේ අදහස් දැක්වීම වෙන අතකට හැරවූයේ සුසිල්ය.

"අපි ඇත්ත තත්ත්වය තේරුම් ගන්න ඕනේ. රටේ තත්ත්වය එච්චර හොඳ නැහැ. පක්ෂයක් විදියට අපි ඉන්නේ අමාරු තැනකයි. ජයග්‍රහණය කරන්න නම් අපි ඒකාබද්ධ විපක්ෂය කියලා බෙදිලා ඉන්න අපේම අය සමඟ එකතු විය යුතුයි. එහෙම නැති වුණොත් අපි පරදිනවා. ආණ්ඩුව යන ගමන ගැන අපට සෑහීමකට පත් වෙන්න බැහැ" සුසිල් පැහැදිලි කළේය.

"අපි ආණ්ඩුවෙන් ඉවත් වෙනවාද කියන එක කණ්ඩායමක් විදියට සාකච්ඡා කරනවා. හොරු අල්ලනවා කියලා ආපු ආණ්ඩුව දැන් හොර ගුහාවක් වෙලා ඉවරයි. එක්කෝ අපි අපේ ආණ්ඩුවක් හදන්න ඕනේ. අරුන්දික පැවැසීය.

අරුන්දික කතාව ආරම්භ කරනවාත් සමඟම චන්ද්‍රිකා පුටුවේ හරිබරි ගැසුණාය.
"මේ පිස්සු මරගාත කියවන්නේ නැතිව ඉන්න. අපි කොහොමද එක්සත් ජාතික පක්ෂය නැතිව ආණ්ඩුවක් කරන්නේ? රාජපක්ෂලා එළවන්න අපිට උදවු කළේ එක්සත් ජාතික
පක්ෂයයි. ඒ අය නැතිව මේ ගමන යන්න බැහැ. ඔයාලා කතා කරන්නේ ආයෙමත් රාජපක්ෂලා බලයට ගේන්නද? ඒවට ඉඩ තියන්න බැහැ" චන්ද්‍රිකා ආවේගයෙන් කියාගෙන ගියාය.

"මැඩම් මොනවද දන්නේ? ගම්වලට ගිහින් බලන්න තියෙන තත්ත්වය. ඔය විදියට මේ ගමන යන්න බැහැ" අරුන්දික ද ඇරියේ නැත. අරුන්දිකට සහාය පළ කරමින් සුසිල්, ලන්සා ඇතුළු පිරිසක් අදහස් දැක්වූහ.
ඔය අතර ජනාධිපතිවරයා මැදිහත් විය.

පිරිස කෑම කන්නට යන අතරතුර සුසිල්, අනුර යාපා, අරුන්දික, ඩුලිප්, ලන්සා ඇතුළු පිරිස මෛත්‍රි සමඟ කතාබහක නියැළුණහ. ඔවුන් කීවේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය රැකගැනීමට නම් ඒකාබද්ධ විපක්ෂයේ පිරිස එකතු විය යුතු බවය. ආණ්ඩුවට එරෙහි මතවාදයේ සිටින එකම කණ්ඩායම බවට අද ඒකාබද්ධ විපක්ෂය පත්ව ඇති බවත් ඔවුන් නොමැතිව ජයග්‍රහණයක් ගැන සිතිය නොහැකි බවත් ඔවුහු ජනාධිපතිවරයාට කීහ.

අඟහරුවාදා පෝය දිනය නිසා සුපුරුදු කැබිනට් මණ්ඩලය පැවැතියේ නැත. එහෙත් බදාදා 'හදිසි කැබිනට් රැස්වීමක්' ජනාධිපතිවරයා විසින් කැඳවා තිබිණි. එහිදී සාකච්ඡා කළේ හදිසි කැබිනට් පත්‍රිකා තුනක් පමණි. ෆයිසර් මුස්තෆා ඉන් පළමු පත්‍රිකාව ඉදිරිපත් කළේය. නව ක්‍රමයට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය තාක්ෂණික ගැටලුවලට විසඳුම් ලබාදීමට මහ නගර සභා, නගර සභා සහ පළාත් පාලන ආයතන ආඥාපනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබිණි. මංගල සමරවීර අමාත්‍යවරයා දේශීය ආදායම් පනත පිළිබඳව කැබිනට් මණ්ඩලයට කරුණු කීවේය.
විනාඩි විස්සේ කැබිනට් රැස්වීම උණුසුම් වූයේ ඉන් පසුවය.

පළාත් පාලන ඡන්ද විමසීම් පනත පිළිබඳව සුසිල් ප්‍රේම්ජයන්ත් සහ ජෝන් සෙනෙවිරත්න කතා කළහ. ඔවුන් කීවේ, ඡන්දය ඉල්ලීමට සමෘද්ධි නිලධාරීන්ට සහ රාජ්‍ය සේවකයන්ට සිදුකර ඇති බාධා ඉවත් කරන්න කියාය.
'මේ කොන්දේසි ලිහිල් කළ යුතුයි. මේකෙන් ඒ අයට අසාධාරණයක් වෙනවා' සුසිල් කීවේය.
ඒ සමඟම නැඟී සිටි එස්.බී. ඊට එකහෙළා විරුද්ධ විය.
සජිත්, අනුර යාපා, දයාසිරි ඇතුළු කැබිනට් මණ්ඩලයේ විශාල පිරිසක් ගත්තේ එස්.බී.ගේ පැත්තය. දෙදෙනා අතර කතා බහ උණුසුම් මුහුණුවරක් ගනිද්දී ජනාධිපතිවරයා මැදිහත් විය.

'ඔය වගේ ප්‍රශ්න දුරදිග ගෙනියන්න එපා. පක්ෂ නායක රැස්වීමේදී කතා කරලා විස¼දාගමු.'

රට පුරා දේශපාලන උණුසුම මතුවෙද්දී ගෙවුණු සතියේ සිකුරාදා කොළඹ හිල්ටන් හෝටලයේදී විශේෂ කටයුත්තක් සිදුවිය. එහි විශේෂත්වය වූයේ ජනාධිපතිවරු දෙදෙනෙක්, අගමැතිවරයෙක් සහ ආන්දෝලනාත්මක මන්ත්‍රිවරයෙක් එහිදී හමුවීමය. හෝටලයේ පැවැතියේ, කුරුණෑගල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි ජේ. සී. අලවතුවලගේ දෙවැනි දියණියගේ විවාහයයි. ජනපති මෛත්‍රි සමඟ අගමැති රනිල් ඊට එක්වූ අතර විවාහයේ සාක්ෂිකරුවන් ලෙස අස්සන් කළේ ඒ දෙදෙනාය. චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ නාමල් රාජපක්ෂද ඊට එක් වූහ. විශේෂත්වය වූයේ චන්ද්‍රිකා සහ නාමල් නොදන්නා ගානට සිටීමය.

බ්‍රහස්පතින්දා කොළඹ නැව් තටාංගණයේදී ශ්‍රී ලංකාව නිපදවන නෞකාවක කටයුතු ඇරැඹීම අගමැතිවරයා අතින් සිදුවිය. ඇමැති මලික් සමරවික්‍රමද ඊට එක්විය. එහි යෑමට පෙර අගමැතිවරයා අරලියගහ මැඳුරට පැමිණියේ රාජකාරි ලිපිගොනු කිහිපයක් පරීක්ෂාවට හා මැති ඇමැතිවරු හමුවීමටය.
'ජගත් ජයසූරිය බ්‍රසීල තානාපතිකමෙන් ඉවත්වූ ගමන් කවුද සංවිධානයක් බොරු නඩුවක් දාන්න යනවා කියල ආරංචියක් ආවාම ඒකාබද්ධ අයයි ඔවුන්ට කඩේ යන මාධ්‍යයි මේක ජාතික ප්‍රශ්නයක් කරගෙන' සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
'අපි සැබෑ රණවිරුවන් රකිනවා. විදුලි පුටුවත් අපි විනාශ කළා' අගමැති කීය.

'නැති ගින්දර පත්තු කරලා සමහරු තව තානාපතිකමක් ගන්න හදන බව අපි රටට හෙළිකළ යුතුයි.' රන්ජන් රාමනායක කීවේය.
'අගමැතිතුමා ඉවත් කරල මහින්ද රාජපක්ෂ අගමැති කළේ නැත්නම් 12ක් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියල අරුන්දික ප්‍රනාන්දු කියනවා' ලක්ෂ්මන් කිරිඇල්ල කීය.
'ඔය අරුන්දික මලික් ළඟ වැටිල අපට පණිවුඩ එවමින් එජාපයට එන්න දඟලල බැරි තැනයි මේ ගේම් ගහන්නේ කියලයි ඒකාබද්දෙ අයම මට කිව්වේ' අගමැති කීවේ සිනා මැදය.

'දියුණු රටවල පාර්ලිමේන්තු සභාවේ විතරක් නෙවෙයි මේ කමිටුවලත් ජනමාධ්‍ය ඉන්නවා. අනෙක පාර්ලිමේන්තු සභාවේ දේවල් වගේම කමිටුවල දේවලුත් රහස් නෙවෙයි. ලංකාවේත් පාර්ලිමේන්තු කමිටුවල මාධ්‍යවලට යන්න ඉඩදීම මේ ගැන කතානායකතුමා කතා කරගෙන යනවා.' දයා ගමගේ කී දේ අගමැතිවරයාද අනුමත කළේය.
'මේ බැඳුම්කර කොමිසමේදී පාර්ලිමේන්තුව හඳුන්වන්නේ 'ඇළමැද්දේ ගෙදර' කියලලු. පත්තරවලත් එහෙමයි පළවෙන්නේ' දයා ගමගේ කීවේ සිනා මැදය.
'මන්ත්‍රිවරු කීප දෙනෙක් මටත් ඒ ගැන පැමිණිලි කළා. ඒක ඒ අයගේ කෝඩ් එකක් වෙන්නැති' අගමැති කීය.

මෛත්‍රිලා සැප්තැම්බර් 03 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය ඉහළින්ම පැවැත්වීමට සූදානම් කරමින් සිටින අතරතුර මහින්ද සිටියේ දෙණියායේය. මෛත්‍රිගේ උපන් දිනයට ඔහුට කතාකොට සුබ පැතූ මහින්ද විශේෂ කටයුත්තක් නිසා සම්මේලනයට නොඑන බව කීවේය.
පක්ෂ සම්මේලනයට නොඑන්න තරම් විශේෂ කටයුත්ත කුමක්දැයි කියා සමහරු විමසිලිමත් වූහ.
ඒ වෙනත් කිසිවක් නොව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන
සම්මන්ත්‍රණයකට ප්‍රථම වතාවට මහින්ද සහභාගි වූයේ එදාය. ඒක තිබුණේ දෙණියායේය.

එහිදී පළාත් සභා මන්ත්‍රි වීරසුමන වීරසිංහ මහින්දට කීවේ "18 වැනි සංශෝධනයට මමත් විරුද්ධව ඡන්දය දුන්නා" කියාය.
"ඒකනේ කියන්නේ. සමහරු දැන් කියන්නේ අපිට විරුද්ධව කටක්වත් හොල්ලන්න දුන්නේ නැහැ කියලයි. එහෙම වුණා නම් ඔයාටත් බලපෑම් එන්න එපැයි" මහින්ද පැවැසීය.

ඒ රැස්වීමෙන් පසු මහින්ද හක්මන බලා ගියේ පොදුජන පෙරමුණේ හක්මන ආසන සම්මන්ත්‍රණයට සහභාගි වීමටය. සම්මන්ත්‍රණය ආරම්භයේදී බණ්ඩාරනායක යුවළ සිහිපත් කරමින් මල්මාලා පැලඳවීමට ඩලස් කටයුතු යොදා තිබිණි.

ඒ වනවිටත් නිදහස් පක්ෂයේ සමුළුව කැම්බල් පිටියේදී පැවැත් වෙමින් තිබිණි. මහින්ද එහිදී කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරපු බණ්ඩාරනායක මැතිතුමාගේ පුතා අනුරත් දුව චන්ද්‍රිකාත් පක්ෂය අතහැර යන විට තමා කිසිවිටෙකත් පක්ෂය අත නොහැරි බවය. චන්ද්‍රිකාගේ නම
කියැවෙත්ම රැස්ව සිටි පිරිස මහ හ¾ඩින් විරෝධය පළ කරන්නට ගත්හ.

"කවුරු ගියත් මම පක්ෂය දාලා ගියේ නැහැ. දහදුක් විඳගෙන පක්ෂය මේ තත්ත්වයට ගෙනාවා. මගේ කාලයේ තමයි පක්ෂයේ ස්වර්ණමය යුගය වුණේ. අදටත් පාක්ෂිකයෝ ඉන්නේ අපි එක්කයි. අපි ඊළඟ ඡන්දෙට පොහොට්ටුව සමඟ සන්ධානගත වෙලා ඡන්දේ ඉල්ලනවා" මහින්ද ප්‍රථම වරට හෙළි කළේය.

පසුගිය සතියේ දිනෙක මහින්ද කොළඹ පැවැති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි විය. රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරික හිතවතකුගේ ආරාධනයෙන් පැවැති මෙම උත්සවයට පවිත්‍රා සහ රංජිත් සොයිසා ද සහභාගිව සිටියහ. ඊට නුදුරෙන් තවත් අමුත්තෙක් සිටියේය. ඒ ජෝන් සෙනෙවිරත්නය. ජෝන් දුටු වහාම මහින්ද "කොහොමද ඉතින්? යැයි ඇසුවේය. 'ඉන්නවා සර්' කියමින් ජෝන් පිළිතුරු දුන්නේය.

අනතුරුව මහින්ද සහ ජෝන් සෙනෙවිරත්න එකම මේසයක වාඩිවී බොහෝ වේලාවක් කතා කරමින් සිටියහ. මහින්ද එතැනින් නැඟිට එන විට එතැන සිටි අයකු ඇසුවේ "මොකද සර් අපේ ඇමැතිතුමා කියන්නේ? කවද්ද අපිට එකතු වෙනවයි කිව්වේ? කියාය.
මං එයාගෙන් එන දවසක් ඇහුවෙත් නැහැ එයා මට එන දවසක් කිව්වෙත් නැහැ" මහින්ද අමුතුම ආකාරයේ පිළිතුරක් දුන්නේය.

ඒකාබද්ධ විපක්ෂයේ ගීතා කුමාරසිංහ පසුගිය සතියේ නිවෙසේදී අනතුරකට මුහුණ දුන්නාය. එම අනතුර දැනගත් වහාම මහින්ද ගීතා ඇතුළත් කොට තිබුණු පෞද්ගලික රෝහල වෙත ගියේය. ඒ වන විටත් ගීතා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණු අතර වෛද්‍යවරුන් සමඟ ගීතාගේ රෝගී තත්ත්වය ගැන කතා බහ කළ මහින්ද ගීතා සමඟද කතාබහ කළේය. අනතුර ගැන ඇතැම් මාධ්‍ය එක එක කතා කියා තිබිණි.
'ඇත්තටම මොකද වුණේ ගීතා' මහින්ද ගීතාගෙන් ඇසුවේය.
'ගෑස් සිලින්ඩරේ පිපුරුණානේ සර්' ගීතා කීවාය.

ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් කිහිප දෙනකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවෙසේදී හමුවී (07දා) රහස් සාකච්ඡාවක් පවත්වා තිබේ. අරුන්දික ප්‍රනාන්දු, ටී. බී. ඒකනායක, දුලිප් විජේසේකර ඒ අතර විය. එය තීරණාත්මක හමුවක් වූයේ ඉදිරි දින කිහිපය තුළ සිදුවන්නට යන දේශපාලන 'පෙරළි' රැසක් එහිදී කතාබහට ලක්ව ඇති නිසාය.
මේ මාසයේ 20 වැනිදාට පෙර එක් දිනකදී ඇමැතිවරුන් රැසක් ආණ්ඩුවෙන් ඉවත්වීමට නියමිත බව මේ හමුවෙන් අනාවරණය විය. ඉදිරි දෙසතිය තුළ ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමේදී අවශ්‍ය වන තුනෙන් දෙකේ බහුතර බලය අහිමි කිරීමට මෙමඟින් ඔවුන් සැලසුම් කර ඇත. මේ වන විට ආණ්ඩුව තුළ කැරලිකාර කණ්ඩායමක් බවට මේ පිරිස පත්ව ඇත.
මේ අතර අරුන්දික ප්‍රනාන්දු පවසන්නේ නිශ්චිතවම ආණ්ඩුවෙන් ඉවත්වන බවය. ඒ අනුව මේ සැප්තැම්බරය බොහෝ උණුසුම් දේශපාලන ජවනිකා දැකිය හැකි ආකාරයේ තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

මේ අතර පියංකර ජයරත්න වෙනම මෙහෙයුමක් දියත් කොට තිබේ. ඒ එක්සත් ජාතික පක්ෂයෙන් කලකිරුණු අමාත්‍යවරු සහ මන්ත්‍රිවරු හිටපු ජනාධිපතිවරයාට සම්බන්ධ කිරීමේ කටයුත්තය. මේ වනවිටත් කිහිපදෙනෙක් මෙලෙස මහින්දව මුණගස්වා ඇතැයි වාර්තා වෙයි.

මේ අතර අගමැති රනිල් සහ හිටපු ජනපති මහින්ද අතර හදිසි
සාකච්ඡාවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. ඒ හමුව පැයක පමණ කාලයක් පැවැතියේය.
මෙම සාකච්ඡාවේදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය
සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙන අතර පළාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට රාජ්‍ය සේවකයන්ට අවස්ථාව ලබා නොදීම
සම්බන්ධයෙන් 20 වැනි සංශෝධනයේ ඇති වගන්තිය සංශෝධනය කරන ලෙසට මහින්ද මෙහිදී ඉල්ලීමක් කළේය. මේ වගන්තිය සමස්ත රාජ්‍ය සේවකයන්ට සිදු කරන
අසාධාරණයක් බව ඔහු එහිදී පෙන්වා දුන්නේය. ඊට පිළිතුරු ලබාදෙමින් රනිල් සඳහන් කර ඇත්තේ පක්ෂ නායකයන් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවය. "ආණ්ඩුව යන ගමන වැරදියි. අපි ඊට එරෙහිව කටයුතු කරනවා යැයි හමුව අවසානයේ මහින්ද රනිල්ට කීවේය.

ගෝඨාභය රාජපක්ෂ අලුත් වැඩක් පටන් ගෙන තිබේ. එය "එළිය" නමින් හැඳින්වේ. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව සමාජ මතය සැකසීම එහි අරමුණය. එළිය එළිදැක්වීමේ උළෙල බොරලැස්ගමුව හෝටලයකදී පැවැත්විණි. මහින්ද, චමල්, බැසිල් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, විද්වතුන්, උගතුන්, බුද්ධිමතුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.
කිසිදු දේශපාලනඥයකුට එම සමාරම්භක උත්සවයේදී කතා කරන්නට ඉඩ නොලැබුණු අතර ගෝඨාභය ඇතුළු විද්වතුන් පිරිසක් සභාව ඇමැතූහ. උත්සවය හමාර වූ පසු මහින්ද වටකර ගත් විද්වතුන් කීවේ ආණ්ඩුව යන මඟ වැරැදි බවය.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු වූ අනුෂ පැල්පිට යන දෙදෙනාට එරෙහි නඩුව යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පසුගිය රජයේ
දූෂණවලට වගකිවයුත්තන්ට එරෙහිව පවරන ලද නඩුවලින් අවසන් වූ පළමු
නඩුව ලෙස වාර්තා අතරට එක්ව තිබේ. දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශනවලින් පසුව චෝදනා ගොනු කරනු ලැබ විමසා අවසන් වූ පළමු නඩුවද මෙය වේ. ඉතිහාසයේ ජනාධිපති ලේකම්වරයකු අපරාධයක් සඳහා වරදකරු වූ පළමු අවස්ථාවද මෙය වේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව අභියාචනයක් කිරීමට සූදානම් බව මහින්ද කීවේය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් සිකුරාදා (08දා) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ ලලිත් වීරතුංග මහතාගේ සහ අනුෂ පැල්පිටිය මහතාගේ සුවදුක් විමසීය. බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රිවරුන් මෙලෙස වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියහ.

මෙහිදී අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශපාලන සිරකරුවන් නිර්මාණය වන අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි බවය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය අනුව පැවරී ඇති බලය අනුව ජනාධිපතිවරයාගේ විධානයක් ක්‍රියාත්මක කර ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට සිල් සමාදන් වීම සඳහා සිල් රෙදි බෙදා දීම කරණකොටගෙන ලලිත් වීරතුංග මහතාට සහ අනුෂ පැල්පිටිය මහතාට මෙවැනි සිර දඬුවමක් විඳීමට සිදුව ඇති බවද ඔහු කීවේය.
මේ අතර මහින්ද කීවේ, දින කිහිපයකට පෙර ජනාධිපතිතුමා හා ආර්යාවද සිල් රෙදි බෙදනු තමන් දුටුව බවත් මේ විදිහට ගියහොත් ජනාධිපති ආර්යාවටද නඩු දැමිය හැකි බවත්ය. එය එසේ වුවහොත් මහා භයානක තත්ත්වයක් බවද මහින්ද රාජපක්ෂ මහතා කීය.

බැඳුම්කර චෝදනා මත ඇමැතිකම නැති වූ රවි කරුණානායක ඡන්දෙ ඉල්ලුවේ කොළඹින්ය. එහෙත් ඔහු පසුගියදා කාටත් නොදන්වා මාතලේ දිස්ත්‍රික්කයට ගොස් තිබිණි. ඒ යටින් තිබුණේ දේශපාලන වැඩක්ය. ඒ ගැන මාතලේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයන් දැඩිව නොසන්සුන් වී තිබිණි. එකම පක්ෂයක වෙනත් දිස්ත්‍රික්කයක දේශපාලනඥයෙක් තවත් දිස්ත්‍රික්කයකට යන විට ඒ දිස්ත්‍රික්කයේ පක්ෂ නියෝජිතයන්ව දැනුවත් කොට යෑම සිරිත වුවත්, රවි එය නොසලකා කටයුතු කිරීම ගැන රංජිත් අලුවිහාරේ සහ වසන්ත අලුවිහාරේ දැඩි අප්‍රසාදයෙන් කතා කළහ. මීට පෙර රවි රාජ්‍ය ලාංඡනය සහිත ලිපි ශීර්ෂ මත පක්‍ෂයේ මැති ඇමැතිවරුන්ට ලිපි යවා ආන්දෝලනාත්මක විය. අනෙක් අතට රවි දැන් පසුපෙළ මන්ත්‍රිවරයෙක් විතරය. එහෙත් ඔහු කටයුතු කරන්නේ එය නොසලකාය.
'හැමෝටම අපි ඕන වෙන්නේ ඡන්දේ කිට්ටු වෙනකොට විතරයි.
බලමුකෝ'
අලුවිහාරේලා කියන්නෙ එහෙමය.

39 වැනි උදා ගම්මානය _ "සිරිබරගම" ජනතා අයිතියට පැවරීම සඳහා ලුණුගම්වෙහෙර, පහළ මත්තල පැවැති උත්සවයේදී සමරු ඵලකය විවෘත කරමින් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා එහි රැස්ව සිටි පුද්ගලයන්ට කීවේ " මේ ගම්මානය හදන්න පටන් ගත්තේ බාධා ගණනාවක් මැදයි" කියායි.
උත්සවයේදී සජිත් හමුවුණු දහම් පාසල් ගුරුවරුන් පිරිසක් කීවේ "ඔබතුමාගේ පියා රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී දහම් පාසල් ගුරු සේවයේ හිටපු අයට අතිරේක ලකුණු ප්‍රමාණයක් ලබා දීමට පියවර ගත් නිසා අපිට එදා අලුත් වටිනාකමක් එකතු වුණා" යනුවෙනි. ඔවුන්ගේ ඉල්ලීම වූයේ ස්වේච්ඡා සේවයක නිරත වන දහම් පාසල් ගුරුවරුන් මුහුණදී සිටින නිවාස ගැටලු විසඳීමට උපකාර කරන ලෙසය. සජිත් ඒ මොහොතේම නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේ මින් ඉදියේදී උදා ගම්මාන සහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී හා වෙනත් සේවාවන් සැපයීමේදී දහම් පාසල් ගුරුවරුන්ට ප්‍රමුඛතාවක් හිමිකර දෙන ලෙසය. සජිත් ඇමැතිවරයා ගම්මානයේ නිවෙසින් නිවෙසට යද්දී එහි වඩාත්ම දිළිඳු නිවෙසේ ගෘහ මූලික කාන්තාව කීවේ අමුතු කතාවකි.
"අපට දැන් තමයි තේරෙන්නේ මේකෙ වටිනාකම. සමෘද්ධිය වගේ මේක මාසෙකට සැරයක් හම්බවෙන දීමනාවක් නෙවෙයි. අපිට ඉඩමක්, ගෙයක් තිබ්බෙම නෑ. සල්ලි පොකැට් ගහන්ඩ වුණත් පුළුවන්නේ. ඒත් මේ ගේ කාටවත්ම උදුරගන්ඩ, අයිති කොරගන්ඩ බෑ. මේක අපිට මහ වස්තුවක් මහත්තයෝ" ඇය කියද්දී සජිත් අවට සිටියවුන්ට කීවේ "ඇහුණද, අපි නෙවෙයි කියන්නේ, ඒ දුප්පත් අම්මා. අද ලෝකයේ අලුත් ප්‍රවණතාව තමයි, නැති _ බැරි අයට මුලින්ම ප්‍රාග්ධන සම්පත් ලබාදීම. අපි මේ කරන්නෙත් ඒකම
තමයි"කියායි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැඟෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 70 වැනි සැසිවාරයට සහභාගි වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය 05 වැනිදා රාත්‍රි මාලදිවයින බලා පිටත්ව ගියහ. මාලදිවයිනට පැමිණි සෞඛ්‍ය අමාත්‍යවරුන්ට රාත්‍රි භෝජන සංග්‍රහය සූදානම් කොට තිබුණේ එරට ජනාධිපතිවරයා විසිනි. ඒ මුහුද මැද දූපතක පිහිටු වූ සුඛෝපභෝගී හෝටලයකය. එම හෝටලයට ගමන් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් සුඛෝපභෝගී යාත්‍රාවක්ද සූදානම් කොට තිබිණි. එම රාත්‍රි භෝජන සංග්‍රහය නිමාවන විට රාත්‍රි 10.00 පමණ වී තිබූ අතර, යළි ගොඩබිමට පැමිණීමට නොහැකිව සෞඛ්‍ය අමාත්‍යවරයාට එම දූපතේ කාලය ගත කිරීමට සිදුවූයේ අධික වර්ෂාව සහ මුහුද රළුවීම හේතුවෙනි. යාත්‍රාවේ නැවියන් ප්‍රකාශ කළේ මුහුද රළුවීම නිසා ගමන් කිරීමට නොහැකි බැවින් රළු ස්වභාවය අඩු වූ පසු ගමන් කිරීමට හැකි බවයි. ඒ අනුව රළු ස්වභාවය අඩුවීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස ගොඩබිමට පැමිණියහ.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම පසුගිය හතර වැනිදා රැස්වූයේ ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළදී පාර්ලිමේන්තුවේ කාර්යභාරයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය. මෙහිදී විශේෂයෙන් අවධානය යොමුවූයේ ජාතික ආණ්ඩුවේ වසර දෙකක කාලය සැප්තැම්බර් 02න් අවසන් වීම, විගණන පනත, දේශීය ආදායම් පනත, 20 වැනි සංශෝධන ආදී කරුණු ගැනයි.

"ආණ්ඩුවට තවදුරටත් ජාතික ආණ්ඩුව ලෙස පෙනී ඉන්න පුළුවන්කමක් නැහැ. මොකද මේ ජාතික ආණ්ඩු එකඟතාවට දැන් වසර දෙක සම්පූර්ණ වෙලා ඉවරයි. ඒ නිසා දැන් ආණ්ඩුවේ ඉන්න ඇමැති ධුර ගණන 30ට බස්සන්න ඕනෑ" අනුර දිසානායක විශේෂ කරුණක් ඉදිරිපත් කළා. ඔව්, එජාපයටයි, එජනිසයටයි ජාතික ආණ්ඩුවක් ඕන වුණේ ඇමැති ධුර වැඩිකර ගන්න. ජාතික ආණ්ඩුවට මුවා වෙලා තමයි ඇමැති ධුර 30 සිට 48 දක්වාත් නියෝජ්‍ය රාජ්‍ය ඇමැති ධුර 40 සිට 45 දක්වාත් වැඩි කරගත්තේ. දැන් මේ අමතර ඇමැති ධුර ව්‍යවස්ථාවට පටහැනියි. මේ ගැන පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවන්න ඕනෑ" විජිත හේරත් කීවේය.
"අගමැතිටයි ජනාධිපතිටයි එකතුවෙලා 20 වැනි සංශෝධනය හදාගන්න බැරිවුණා. ඒකෙත් අඩුපාඩු ගොඩයි. අඩුම තරමේ තමන්ගේ පක්ෂ දෙකේ පළාත් සභා මන්ත්‍රිලා ටික ඒ සංශෝධනයට එකඟ කර ගන්න බැරිවුණා" එහෙම කීවේ බිමල් රත්නායකය.

මේ අතර ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අවධානය විගණන පනත පිළිබඳවද යොමු වී තිබිණි.
"මේ ආණ්ඩුවේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුව තමයි ජාතික විගණන පනත සම්මත කරගන්න එක. දින 100 වැඩපිළිවෙළත් නිශ්චිතව ඒකට ඇතුළත් කරලා තිබුණා. නමුත් දැන් අවුරුදු දෙකකට වැඩියි. තවම විගණන පනත නැහැ. මේක ආණ්ඩුව ගේන පාටක් නැහැ. පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් විදියට විගණන පනත පාර්ලිමේන්තුවට දාමු" සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා යෝජනා කළේය.

"විගණන කොමිසම හදල තිබුණට වැඩක් නැහැ. පනත නැතුව ඒකට
ක්‍රියාත්මක වෙන්න බැහැ. අනෙක් බරපතළ කාරණය තමයි විගණන කොමිසමේ නිලධාරීන්ට ලක්ෂ ගණන් පඩි දෙනවා වැඩක් කෙරෙන්නේ නැහැ. මේ අවුරුද්ද ඉවර වෙනකොට විගණන කොමිසම විගණනයට ලක් කරන්න වෙනවා වැඩ නොකර පඩි ගත්තා කියලා. ඒ නිසා අපි මේක පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් විදියට පාර්ලිමේන්තුවට දාමු" යැයි කීවේ ජවිපෙ නායකයාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්