විමානේ යකාගේ හැටියටය

  👤  2991 readers have read this article !
2017-09-10

පන්සලේ පින්කම පැවැත්වෙන රාත්‍රිය ගෙවල් බිඳින්නට හොඳම රාත්‍රිය බව පුරාණ ගම්මානවල හොරු දැන සිටියහ. ආණ්ඩුවද එවැනි අවබෝධයකින් කටයුතු කරන බව පෙනේ. ජනතා අවධානය වෙනතක යොමු වූ වහාම පරිපූරක ඇස්මේන්තුවක් දමා කෝටි ගණනකට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට ආණ්ඩුව පුරුදුව සිටී. ඇමැතිවරුන් සඳහා වාහන ලබා ගැනීමට මිලියන ගණනක ඇස්තමේන්තු ඉදිරිපත් වූයේ පසුගිය නාය සහ ගංවතුර විපත් සිදුව තිබියදීය. ජනාධිපතිවරයා වහාම ප්‍රකාශ කළේ මේ වසර අවසන් වනතුරු ඇමැතිවරුන් සඳහා වාහන ගැනීම අත්හිටුවන බවය.

ඉකුත් සතියේ අගමැති වාහනයක් සඳහා පන් කෝටි අනූ අට ලක්ෂයක පරිපූරක ඇස්තමේන්තුවක් අනුමත කරවා ගත්තේය. හිටි අඩියේම සියලුම මන්ත්‍රිවරුන් සඳහා කාර්යාල ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂය බැගින් අනුමත කළේය. දැන් අවුරුද්දකට කාර්යාල ගාස්තු වශයෙන් ලක්ෂ 12ක් ලැබේ. ඒ ගැන කිසිදු මන්ත්‍රිවරයෙක් කතා කළේ නැත. මන්ත්‍රිවරුන් සඳහා ලැබෙන සියලු දීමනා කාර්ය මණ්ඩල දීමනා සියල්ල ඔවුන්ගේ පවුල්වල නඩත්තුවට ලැබෙන බරපැන බව අමුතුවෙන් කිවයුතු නැත.
පළාත් සභා සුදු අලියෙක් බව 1987 සිටම අදහස් පළ වුවත් එසේ නොවන්නට ගත් පියවරක් නැත. පළාතේ ආදායමෙන් 72%ක්ම වැය කරන්නේ පළාත් සභාවේ නඩත්තුවට හා පඩි නඩිවලට බව නොරහසකි. ඒ මදිවාට පක්ෂ - විපක්ෂ සියලු දෙනාම එක්ව විදේශ චාරිකා යෑමට ඔවුහු රුසියෝය. සබරගමු පළාත් මහ ඇමැතිවරයා රජයේ වාහන 14ක් තම පාවිච්චිය සඳහා යොදාගෙන ඇතැයි දිනපතා පුවත්පතක් වාර්තා කර තිබිණි. තත්ත්වය මෙසේ වෙද්දී පළාත් සංවර්ධන ව්‍යාපෘති සඳහා මධ්‍යම ආණ්ඩුවෙන් ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන, ඊට නිසි ප්‍රමුඛත්වය නොදීම හේතුවෙන් වර්ෂය අවසානයේ ආපසු යන බවටද චෝදනා එල්ල වී තිබේ. පළාත් අධ්‍යාපනයට වෙන්වූ මුදල් මාර්ග ව්‍යාපෘති සඳහා යොදා ගනිමින් ගසා කන ලද අවස්ථාද නොබෝදා හෙළි විය.

දස ලක්ෂයක් එක් වේලක් පමණක් කෑම කා ජීවත්වන මිනිසුන් සිටින රටක මොවුනුත් නායකයෝ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ප්‍රශ්න කර තිබිණි.
සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීම සඳහා සමීක්ෂණයක් ආරම්භ කර ඊට ලක්ෂ ගණනක ප්‍රතිපාදන වැය කළ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය අවසානයේ සමෘද්ධිලාභීන් ප්‍රමාණය කප්පාදු කිරීම නිසා ඇතිවූ අවුල විසඳන්නට ජනපතිට මැදිහත් වන්නට සිදුවිය. සමස්තයක් ලෙස සෑම තැනම අසන්නට දකින්නට ඇත්තේ පරිහානියේ ලක්ෂණය.
ආණ්ඩුව හරි පීල්ලේ යැවීමේ හැකියාව හා බලය ඇත්තේ රටේ ජනතාවටය. පාලකයන්ගේ වැරැදි ක්‍රියාමාර්ගවලදී කොන්දේසි රහිතව ඊට එරෙහි වීමට රටේ මිනිසුන්ට කොන්දක් තිබිය යුතුය. එසේ නොවන තාක් "යකාගේ හැටියට විමානේ" කීවාක් මෙන් රටක බිහිවන්නේ ඒ රටේ ජනතාවටම ඔබින ආකාරයේ ආණ්ඩුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්