ඩබල් ගේම්

  👤  4005 readers have read this article !
2017-09-08

බ්‍රසීලයේ හිටපු තානාපති ජගත් ජයසූරිය "පැදුරටත් නොකියා" ලංකාවට ආවේ තමන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වෙලා කියාය. මේ කතාව අහපු ගමන් රටම කැලඹුණේය. ආණ්ඩුව එළිවෙන පමාවට දේශද්‍රෝහී ආණ්ඩුවක් බවට පත් කරන්නට තරම් ඒ කතාව බරපතළ වුණේය.

"ලෝකෙම දිනුවා කීවා. ජාත්‍යන්තරය දැන් ආදරෙයි කීවා. ඒත් රණවිරුවෝ ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න ලෑස්ති වෙලා. මේක ද්‍රෝහී ආණ්ඩුවක්." ජගත්ගේ කතාවේ කොන අල්ලාගත් මහින්දවාදීන් කීවේ එහෙමය. යුද අපරාධ සම්බන්ධයෙන් හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව ලතින් ඇමෙරිකානු අධිකරණ පහක නඩු විභාග කිරීමට නියමිත බවත් ඒ නඩුවල විත්තිකරුවන් ලෙස තමාත් හිටපු ආරක්‍ෂක ලේක්ම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් කැඳවීමට ඉඩ ඇති බවත් මහින්ද කීවේය.

එහෙම බැලුවම රණවිරුවන්ගේ ද්‍රෝහීන් මේ යහපාලන ආණ්ඩුවය. ඔවුන් තරම් ත්‍රිවිධ හමුදාව පාවලා දුන් වෙනත් කිසිවෙක් නැතිය.
මේ කතා ඇහුවම දෙකොනින් හිනා යන එක නවත්වන්න බැරිය.

මේ ආණ්ඩුව එනකොට ආණ්ඩුව දිනවන්න කැපවෙච්ච රාජ්‍ය සේවකයන් අතරේ ඉදිරියෙන්ම හිටියේ ත්‍රිවිධ හමුදාවය. සහමුලින්ම හමුදාව මහින්දව පරාජය කොට මෛත්‍රි දිනවන්න පෙළගැසුණු හැටි තැපැල් ඡන්දවලින්ම පෙනුණේය.
යුද්දේ ඉවර කළ වීරෝදාර හමුදාව එළවළු විකුණන්නත්, කුණු අදින්නත්, තණකොළ කපන්නත් යොදා ගත්තේ මේ ආණ්ඩුව නොවේය. රේස් පදින බේබිලාට ඊට සුදුසු පිටිය හදන්න වැලි කොට්ට ඇද්දෙව්වේ හමුදාව ලවාය. එහෙම කළේ මේ ආණ්ඩුව නොවේය. වසර ගාණක් යනතුරු වැටුප් වැඩි නොකොට දුෂ්කර ජීවිතම හමුදාවට උරුම කොට දුන්නේ මේ ආණ්ඩුව නොවේය. නැඟෙනහිර ත්‍රස්තවාදී නායකයා වූ කරුණා කැඳවාගෙන විත් ඇමැතිවරයෙක් කළේ මේ ආණ්ඩුව නොවේය. ඔහු කළ අපරාධවලට නඩු ඇහුවේ කොහේද කියා කවුරුවත් දන්නේ නැත. එතැනින් නොනැවතී කරුණා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපතිවරයෙක් කළේ මේ ආණ්ඩුව හෝ මෛත්‍රි නොවේය. පක්‍ෂය වෙනුවෙන් දර දිය ඇද්ද නායකයෝ "ජේ‍යෂ්ඨ ඇමැතිවරු" කියන කුලකයට දමා විශ්‍රාම මඩමකට තල්ලු කළේ මෛත්‍රි නොවේය. එහෙම කරන ගමන් කොටි නායකයෙක් වෙච්ච පිල්ලෙයාන්ට නැඟෙනහිර මහ ඇමැතිකම දුන්නේ මහින්දලා මිසක් මෛත්‍රි නොවේය.
යුද්දෙන් පසු මහින්දලා යුද ජය සමරන පළමු කේක් කැබැල්ල කැව්වේ එවක හමුදාපති වෙච්ච සරත් ෆොන්සේකාටය. හැබැයි ඊට වඩා වේගයෙන් ඔවුන් ඔහුගේ සේවය අමතක කොට දැම්මේය. යුද ජයග්‍රහණය පාදක කොටගෙන කොළඹ තිබ්බ දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ කොතැනකවත් සරත් ෆොන්සේකාගේ රූපයක්වත් තිබුණේ නැත. ප්‍රදර්ශනය බලන්න කරුණාත් ආවා. නමුත් ෆොන්සේකාට එන්න වරම් තිබ්බේ නැත. තමන්ගේ ප්‍රතිවාදියා ලෙස ඡන්දය ඉල්ලීම පමණක්ම ඔහුව ඉවත් කිරීමට එකල ආණ්ඩුවට හේතුවක් විය.

යුද්ධය දිනවන්නට අණ දුන් මිනිසා හිරේ සිටියදී ආණ්ඩුව "ජයපානෝත්සවය" තිබ්බේය.
මේවා රටම දන්න කියන කතාය. හැබැයි තමන්ට වාසි යැයි හැඟෙන ඕනම කොනක් අල්ලගෙන සෙල්ලම් කරන්න මහින්දවාදීන් කැමැතිය.
දැන් ජගත්ට අදාළ ප්‍රශ්නය ගැන තියෙන්නේ වෙනත් කියවීමක්ය.
"නිල ඇඳුමක් ඇඳගත්ත පළියට, රණවිරුවකු යැයි කියාගත්ත පළියට වැරැදි කරන අය ආරක්‍ෂා කිරීම ජනතාවට කරන අසාධාරණයක්. සෑම දේශපාලනඥයෙකුම, සෑම රාජ්‍ය නායකයකුම එය තේරුම් ගන්න ඕනෑ.

අතීතයේ ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් කළ හමුදාවේ අයට දඬුවම් දුන්නා. එල්ලුම් ගස් යැව්වා. එදා හිටපු රාජ්‍ය නායකයන් ජනතාවගේ පැත්තේ ඉඳගෙන වැරැදි කරපු අයට දඬුවම් දුන්නා. ෆොන්සේකා කීවේ එහෙමය. ඔහු ජගත්ට එරෙහිව සාක්‍ෂි දෙන්න ජාත්‍යන්තරයට යනවා නම් ඒක ඔහුගේ දීනකමක් සහ වෛරී ක්‍රියාවක්ය. එහෙත් ජගත් වේවා. වෙනත් ඕනෑම බලවතෙක් වේවා වරදක් කළ බවට සාක්ෂි තිබෙනවා නම් ඉදිරිපත් කිරීම "වරදක්" වන්නේ කොහොමද කියා දන්නේ නැත.

මේ රටට එරෙහිව ලොව පුරා ක්‍රියාත්මක "ඩයස්පෝරා" බලය වෙනස් කළේ මේ ආණ්ඩුවය. ඒ දවස්වල දඹදිව යන හාමුදුරු නමකටවත් නිදහසේ වන්දනා කරන්න ඉඩක් ලැබුණේ නැත. එහෙම වැඩිය භික්‍ෂුන්ට පහර දුන් අවස්ථා එමට විය. වරක් සරත් ෆොන්සේකා ඇමෙරිකාවට ගිය අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගන්න ජත්‍යන්තරය කටයුතු කළේය. මහින්දට රටින් යන්න බැරි තැනට පත් විය. අරාජික රටවල් කිහිපයක් හැරුණුකොට අනෙක් සියලු රටවල් ශ්‍රී ලංකාවට එරෙහි විය. සම්බාධකවලට අදාළ පිඹුරුපත් දිනෙන් දින උග්‍රව සැකසිණ. ලෝකය පුරා "කොන්" වූ රටක් බවට ලංකාව පත් විය.

ඒ කාලයේ මේ රටේ තිබ්බ "චෝගම්" එක එදා මෙදා තුර මෙහේ තිබ්බ ලොකුම ජාත්‍යන්තර සමුළුව ලෙස පම්පෝරි ගැහුවත් ඒකට ආව ජාත්‍යන්තරයේ නායකයෝ අපිව දමා තිබ්බේ දෙකේ කොළේටය. කැමරන්ලා මෙහෙට ඇවිත් කිණ්ඩි දමා යන්න ගියේය. එවක ජිනීවා යෝජනාවලට පක්‍ෂව ඉන්දියාව පවා හිට ගත්තේය. එහෙව් රටේ අගමැති මේ ආණ්ඩුව යටතේ ලංකාවට ඇවිත් අපි ඔබේ රටට උදවු කරනවා කියද්දී මහින්දවාදීන් ඒක විවේචනය කරන්නේ ලංකාව ඉන්දියාවේ කොළනියක් කරගන්න යනවා කියලාය. මෝඩි යහපාලන ආණ්ඩුවේ නායකයන් දෙදෙනාගේ දෑත් අල්ලාගෙන ළෙන්ගතුකම පෙන්වද්දී මහින්දවාදීන් කීවේ "මේ ලංකාව අල්ලගත්ත සතුට සමරනවා" කියලාය.

ජගත්ගේ සිදුවීම වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තමන්ගේ සම්මේලනය තියන්න ලෑස්ති වෙමින් සිටිය අතරේය. එම පක්‍ෂයේ 66 වන සම්මේලනය අන් කවරදාටවත් වඩා ඉහළින් සමරන්න වෙහෙසෙන අතරේ "මාව ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න හදනවා. මේක ආණ්ඩුවේ වරදින් වුණේ." කියමින් ජගත් ලංකාවට එන්නේය.
මේ එක්කම මුළු රටම කැලඹුණේය.

"දෙයියනේ මේ ආණ්ඩුව" කියා සමහරු සිතූහ. මේ ආණ්ඩුව හැදුව අය පවා තරමක් නොසන්සුන් වූහ. එහෙත් කියන තරම් යකා කළු නැත.
මේකට උත්තරේ මෛත්‍රි සම්මේලන වේදිකාවේදීම දුන්නේය.
"ජගත් ජයසූරිය හිටපු හමුදාපතිට හෝ මෙරට වෙනත් කිසිවකුට අත තැබීමට මම ලෝකයේ කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ. ඔය සමහර එන්.ජී.ඕ.වලට ඕන විදිහට මම නටන්නේ නැහැ." කියා ජනාධිපතිවරයා කීවේය. ඒක ආණ්ඩුවේ ස්ථාවරයය. ඒ ස්ථාවරය ඉන් එහාට ප්‍රශ්න කරන්න දෙයක් නැත. ඒක තහවුරු වුණ අතරේ ඉතාම ප්‍රශස්ත කතාව කීවේ වත්මන් හමුදාපතිවරයාය.

ඔහු දේශපාලන වේදිකාවේ කුණු හමුදාවට වදින්නට නොදී කතා කළේය.
"පසුගිය කාලයේ මාව පයින් ගසා එළවද්දී කිසිම මොහොතක හමුදාවට විරුද්ධව කතා කළේ නැහැ. මා යළි යළිත් ඉල්ලනවා පෞද්ගලික අමනාපකම්වලට යුද්ධ හමුදාව සම්බන්ධ කරගන්න එපා කියලා. ජෙනරාල් ජගත් ජයසූරිය මහතා ඉකුත් සමයේ තානාපති ධුරයක කටයුතු කළා. ඔහුගේ සේවා කාලය අවසන් වෙද්දී යුද අපරාධ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිල්ලක් ලැබෙනවා. එතකන් ඔය පැමිණිල්ල ලැබිලා තිබුණේ නැහැ. මා දන්නා තරමට. ඔය කාගේ කාගේත් ප්‍රශ්නවලට උත්තරීතර හමුදාව සම්බන්ධ කරගන්න එපා.

ජගත් ජයසූරිය මහතා හමුදාපති තනතුරේ සිටියදී මට සිදු වූ අසාධාරණකම්වලට මං ඔහුට ‍ෙදාස් කියන්න ගියේ නැහැ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්ස්කා මහතා හමුදාව සම්බන්ධ කරගෙන කළ ප්‍රකාශයට හමුදාව අප්‍රසාදය පළ කරනවා. ත්‍රස්තවාදීන් සමඟ පැවැති යුද්ධයෙන් හමුදාවේ විසි අට දහසක් පමණ මිය ගියා. ඒ වගේ දෙගුණයක් සෙබළුන් තුවාල ලැබුවා. ආබාධිතයන් වුණා. හමුදාව යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කළේ මේවා අහන්නද? උත්තරීතර ආරක්‍ෂක හමුදාව කිසිවිටෙක මානව හිමිකම් කඩ කළේ නැහැ. අපි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සලකන්නේ ඔහු ආරක්‍ෂක හමුදාවට කළ උසස් සේවය නිසයි. නැතිනම් දේශපාලනය නිසා නොවෙයි - "දිවයින"
ජගත් අපරාධ කළාද නැද්ද කියන්නට දන්නේ නැත. හැබැයි රට වෙනුවෙන් යුද්ධ කළ විරුවන් දංගෙඩියට යවන්න කවුරු මාන බැලුවත් මෛත්‍රි ඊට ඉඩක් දෙන්නේ නැති බව නම් විශ්වාසය.

හිට්ලර් ළමයින්ට ආදරේය. හිට්ලර් සත්තුන්ට ආදරේය. හිට්ලර් දුම්පානයට විරුද්ධය. හිට්ලර් නිර්මාංසයි. හැබැයි හිට්ලර් අපරාධකාරයෙක්ය.
යුදෙව් සංහාරයක් සඳහා සිහින දැක්ක ත්‍රස්තවාදී පන්නයේ මිනිසෙක්ය. ඒ නිසා වරදක් කළ මිනිසෙක් "දහසක් පහන් පත්තු කළත්" නිදොස් වන්නේ දඬුවම් ල‍ෙදාත් පමණි. අප කියන්නේ ජගත්ලා වැරැදි කළවුන් නොවේවා කියාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්