සාහිත්‍ය මාසයේ සිට කියවීමේ මාසය දක්වා...

  👤  3104 readers have read this article !
2017-09-08

කියවීම මගින් දැනුමෙන් ශික්ෂණයෙන් යුත් මිනිසකු ගොඩනඟන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ 'කලණ මිතුරු - පොත් සුමිතුරු' වැඩසටහන සමාරම්භක උළෙලට සහභාගි වෙමිනි. ලබන ඔක්තෝබරයට යෙදෙන 'කියවීමේ මාසය' වෙනුවෙන් මේ වැඩසටහන සාහිත්‍ය මාසයේ දී එනම් සැප්තැම්බරයේ ඇරැඹීම සුවිශේෂී කරුණක් වේ. වඩාත් වැදගත් කාරණය වන්නේ සාහිත්‍ය කලා ප්‍රවර්ධනයට රාජ්‍ය අනුග්‍රහය ලැබීමය.

ධර්මය වටහා ගැනීමට නම් යම් පුද්ගලයකුගේ සිත පමණක් නොව කයද ඊට සූදානම්ව තිබිය යුතුය. සාගින්නෙන් පෙළෙන්නකුට ධර්මය තබා කිසිවක් නිරවුල්ව වටහාගත නොහැකිය. එවිට ධාරණය කර ගැනීමේ ශක්තියක් නැත. කවදත් කලාව සාහිත්‍ය ඉහළ පාන්තික සමාජය සතුව තිබුණේ මේ නිසාය. කලාව සාහිත්‍ය ඇසුරු කිරීමට ඔවුන්ට කාලය තිබිණි.

ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා වරෙක අවධාරණය කළේ කලාව සාහිත්‍ය ඇසුරු කිරීමට වඩා ආර්ථිකය දියුණු කර ගැනීමට කාලය යෙදවීම බුද්ධි ගෝචර බවය. එතුමාගේ මේ අදහස් දැක්වීම දැඩි විවේචනයට බඳුන් වුවද ඇතැම් විට ජයවර්ධන මහතා ඉන් අවධාරණය කරන්නට ඇත්තේ ආර්ථික අතින් ශක්තිමත් වීම හරහා කලාව සාහිත්‍ය ඇසුරු කිරීමේ වැඩි ඉඩක් ලැබේය යන්න විය හැකිය.

වර්තමාන සමාජයේ පොතපත කියවීමට ඇති නැඹුරුව මෙන්ම කලාව රසවිඳීමට ඇති නැමියාව අඩු බවට විවේචනයක් තිබුණද පොතපත, නාට්‍ය, චිත්‍රපට හා විවිධ කලාංගවල පිබිදීමක් ඇති බව පෙනෙන්නට ඇත. සමාජ මාධ්‍ය හරහාද, මුහුණු පොත හරහාද විවිධ සංවාද, විචාර මෙන්ම සාහිත්‍ය කලා නිර්මාණද සමාජගත වන බව පෙනේ. මාසයකට විවිධ විෂය පොත් විශාල සංඛ්‍යාවක් මුද්‍රණයෙන් නිකුත් වේ. අලුත්ම සමීක්ෂණ වාර්තා අනුව ලංකාවේ සිංහල, ඉංගී්‍රසි හා දෙමළ පුවත්පත් අලෙවියේ ඉහළ යෑමක්ද සිදුවී ඇත. සිංහල, දෙමළ භාෂාවලින් පමණක් නොව ඉංගී්‍රසියෙන් ලේඛන කටයුතුවල නියැළෙන සංඛ්‍යාවේ වර්ධනයක්ද දක්නට තිබේ.

දිගු කාලයක් තිස්සේ පවත්වාගෙන එන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උත්සවය හැරුණාම ස්වර්ණ පුස්තක නවකතා සම්මාන උළෙල, ස්වර්ණ පුස්තක කෙටිකතා හා කවි සංග්‍රහ සම්මාන උළෙල, ගොඩගේ ජාතික සම්මාන උළෙල මෙන්ම ෆෙයාවේ සාහිත්‍ය සම්මාන උළෙල ආරම්භ වී ඇත. සමාජ මාධ්‍ය හරහා සංවිධානය කෙරෙන සම්මාන උළෙල මෙන්ම විවිධ සංවිධාන ජාතික හා ප්‍රාදේශීය වශයෙන් පවත්වන සාහිත්‍ය සම්මාන උළෙල තිබේ. ඒ හැරුණු විට නාට්‍ය, සංගීත, මාධ්‍ය, නර්තන ආදී කලාංග වෙනුවෙන් පැවැත්වෙන සම්මාන උළෙල රැසකි. පොත් ප්‍රකාශකයයෝද සැලකියයුතු සංඛ්‍යාවක් සිටිති. කලා සාහිත්‍ය සංවිධාන රාශියකි. එහෙත් හුදෙකලා සාහිත්‍ය කලා කටයුතු මිස මේ සියල්ල අතර අන්තර් සබඳතාවක් නැත. ඊට මැදිහත් විය යුත්තේ රජය වුවද එහිදී ඔවුන් ඉතා මන්දගාමීය.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ කලාමණ්ඩල ඇතුළු අදාළ ආයතන රැසක් තිබුණද සියල්ලටම අඩු වැඩි වශයෙන් රාජ්‍ය අංශයේ බැරිබැරියාව වැලඳී ඇත. ජනාධිපති කාර්යාලයේ මැදිහත් වීමෙන් පාසල් ළමයින් අතර කියවීමේ රුචිය වර්ධනයට වැඩසටහන් ඇරැඹීම අගය කළ යුත්තේ එවැනි පසුබිමකය.
එහෙත් ඉන් රජයේ වගකීම අවසන් වන්නේ නැත. සාහිත්‍ය කලාව වෙත ජනතාව සමීප කරලීමට මීට වඩා වැඩි අවධානයකින් රජය ක්‍රියා කළ යුතුය. ඒ අතරේ රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීමද සාහිත්‍ය කලාව ප්‍රවර්ධනයට අත්වැලක් වන බව අමතක කළ යුතුද නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්