පොද වැස්සක්...

  👤  3759 readers have read this article !
2017-09-07

වර්තමානයේ තරුණ තරුණියන් ගුණධර්මවලින් පිරිහී ඇතැයි ඇතැම් වැඩිහිටියෝ නිතර චෝදනා කරති. ඔවුන් සාමයට වඩා ගැටුමට වැඩි ඇල්මක් දක්වන බව තවත් චෝදනාවකි. පොත පත කියවීම පසෙකලා ජංගම දුරකතනය, පරිගණකය සමඟ වැඩි කාලයක් ගත කරන බව පැවසීම පොදු මැසිවිල්ලක් බවට පත්ව තිබේ.

මේ කාරණා අඩු වැඩි වශයෙන් ඇත්තය. වැදගත්ම කාරණය වන්නේ තරුණ පරපුරට මෙවැනි ඉරණමක් අත්වී ඇත්තේ කුමක් නිසාද යන්නය. එහි වගඋත්තරකාරයන් වැඩිහිටියන් මිස අන් කිසිවෙක් නොවේ. වැඩිහිටියන් ඔවුන්ට උරුම කරදී ඇති ලෝකය තුළ අන් කිසිවක් තරුණ පරපුරෙන් අපේක්ෂා කළ හැකිද?

එහෙත් මේ ලෝකය වහා වෙනස් කළ යුතුව ඇත. ඒ වගකීම පැවරෙන්නේද වැඩිහිටියන්ටය. අධ්‍යාපනය හැර තරුණ පරපුර බේරාගත හැකි වෙනත් මාර්ගයක් නැත. පටන් ගත යුත්තේ පාසලෙනි. පාසල් අධ්‍යාපනයෙනි. පෙර පාසලෙන් පටන් ගත්තත් වරදක් නොමැත. ළමා සිත්වලට හොඳම දේ ලබාදිය යුතුය. බොරුව නොඉවසන තරුණ සිත්වලට ඇත්ත පෙන්වාදීම අවශ්‍යය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේ ඇරැඹි 'කලණ මිතුරු - පොත් සුමිතුරු' වූකලි කාලීන සද්කාර්යයකි. පාසල් සිසුන්ගේ කියැවීමේ රුචිය වර්ධනය කිරීම උදෙසා මේ වැඩපිළිවෙළ අරඹා ඇත. මෙහි පළමු අදියරේදී දිවයින පුරා පිහිටි උසස් පෙළ පන්ති සහිත පාසල් 2820ක් සඳහා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. අදාළ පාසල් සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියැවුණු පොත් කට්ටල දෙක බැගින් ලබාදීමට සැලසුම් කර ඇත. දීප ව්‍යාප්ත මට්ටමින් තරගාවලියක් පවත්වා පොත් කියවීම පිළිබඳ දරුවන්ගේ උනන්දුව වර්ධනය කිරීමේ වැඩසටහන්ද මෙයට සමගාමීව ක්‍රියාත්මක කිරීම වැදගත්ය.

මේ වැඩසටහන අඛණ්ඩව අධීක්ෂණය කරමින් ප්‍රවර්ධන කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීමය. සාහිත්‍ය මාසය හා කියැවීමේ මාසය අවසන් වූ පසු වැඩසටහන අතහැර දමන්නේ නම් ඉන් පලක් නැත. බොහෝ විට රජයේ ව්‍යාපෘතිවලට අත්වන ඉරණම එබඳුය. 'කලණ මිතුරු - පොත් සුමිතුරු' නිලධාරීන් කිහිප දෙනකුගේ 'අතුරු - මිතුරු' වැඩකින් අවසන් විය යුතු නැත. ජනාධිපති ලේකම් කාර්යාලයේ සංවර්ධන හා විශේෂ ව්‍යාපෘති අංශය මේ වැඩසටහන අරඹා ඇති නිසා විශ්වාසයක් තැබිය හැකිය.

සමබර පෞරුෂයකින් හෙබි දරුවකු බිහි කිරීමට නම් දැනුමෙන් පෝෂණය කළ යුතු අතරම සාහිත්‍ය රසවින්දනයට හුරු කළ යුතුය. එය කළ හැක්කේ පාසලෙන් බව අවිවාදිතය. එනිසා පමාවී හෝ මෙවැනි වැඩසටහනක් ඇරැඹීම අතිශය අගය කළ යුත්තකි. වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවරුන්, ගණකාධිකාරිවරුන්, දේශපාලනඥයන්, ගුරුවරුන් ඇතුළු කොතරම් වැදගත් වෘත්තිකයන් බිහිවුණද ඔවුන් තුළ 'මනුස්සකම' වියැකී තිබුණොත් සමාජයට එකතු වන්නේ හදවතක් නැති උගතෙකි. තරුණයෙකි. එය කිසිසේත් ශිෂ්ට සමාජයකට ඔරොත්තු දෙන්නේ නැත. සාහිත්‍ය පොතපතින්, කලාවෙන් සිදු කරන්නේ පරිපූර්ණ මිනිසකු නිර්මාණය කිරීමය. වියළි කතරට පොද වැස්සක් වැනි සාහිත්‍ය - කලාව ඇසුරු කිරීමට පාසල් දරුවන් පෙලඹවීම අනාගතයට කරන සද් ආයෝජනයක් වන්නේ ඒ නිසාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්