දුප්පතුන් නැති රටක්!

  👤  3087 readers have read this article !
2017-09-06

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවාගත් සම්මුතිවාදී ආණ්ඩුවේ දෙවැනි සංවත්සරයට සමගාමීව "ඍ 2025 පොහොසත් රටක්" නමින් ආර්ථික දර්ශනයක් ඉකුත් සඳුදා කොළඹදී එළි දැක්විණි. දුප්පත් වී ඇති රට පොහොසත් කරන වැඩපිළිවෙළක් ලෙස මෙය හැඳින්විය හැකිය.

ඉංග්‍රීසීන් මෙරට හැර යෑම හෙවත් නිදහස ලැබීමේ හැත්තෑ වෙනි සංවත්සරය අභිමුවේ සිටියද තවමත් රටට සැබෑ නිදහසක් ලැබී නැත. සාමකාමී, සංහිඳියා හා සමෘද්ධිමත් ලංකාවක "සිහිනය" තවමත් අපි දකිමින් සිටිමු. 1970 සමඟි පෙරමුණු ආණ්ඩුව සංවෘත ආර්ථික වැඩපිළිවෙළක් සකස් කළේද 1977 එජාප ආණ්ඩුව ආර්ථිකය විවෘත කළේද මේ සිහිනය සාක්ෂාත් කිරීම සඳහාය. ආර්ථිකය විවෘත කිරීම හෙවත් වෙළෙඳ පොළ ආර්ථිකයකට රට රැගෙන යෑමට ශ්‍රී ලනිපය ප්‍රමුඛ විපක්ෂය විරුද්ධ විය. එහෙත් 1994 ශ්‍රී ලනිපය ප්‍රමුඛ පොදු පෙරමුණ බලය ගැනීමෙන් පසු කියා සිටියේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙන බවය. ඉන් කියැවුණේ ඔවුන්ද විවෘත ආර්ථික පිළිවෙත පෙරට රැගෙන යන බව මිස අන් කිසිවක් නොවේ.

මෙරට ආර්ථිකය විවෘත කර අවුරුදු 40ක් ගතවී ඇත. ආසියාවේ ආර්ථිකය විවෘත කළ රටවල් රැසක් ඉන් ඵල නෙළාගෙන දුප්පත්කමින් යම් ප්‍රමාණයකට හෝ මිදීමට සමත් වුවද මෙරට තවමත් පොහොසත් වීමට සැලසුම් සකස් කරමින් සිටී. මාරුවෙන් මාරුවට රට පාලනය කළ ශ්‍රී ලනිපය හා එජාපය මෙවර එකට එකතුව සැලසුමක් හදා ඇත්තේ එදා මෙදා තුර වෙන වෙනම හැදූ සැලසුම් වතුරේ ගිය නිසා විය යුතුය.

ණය උගුලක සිරවී ඇති රට ඉන් ගලවාගෙන පොහොසත් රටක් කිරීම ලෙහෙසි පහසු නැත. අනෙක ලෝකයෙන් හුදෙකලාව ආර්ථික සමෘද්ධිය කරා යෑමට ලංකාවට නොහැකිය. අන්තවාදී ජාතිකවාදය, ඊනියා බටහිර විරෝධය "බලය" ලබා ගැනීමට ප්‍රයෝජනවත් වනවා මිසක රට සංවර්ධනය කරා රැගෙන යෑමට උපකාරී වන්නේ නැත. නව සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ "ලංකාව" ගැන පළ කළ අදහස් මේ ඊනියා බටහිර විරෝධීන් අවධානයට ගන්නේ නම් එයද ප්‍රමාණවත්ය.
දකුණු කොරියාව, චීනය, වියට්නාමය, මැලේසියාව වර්තමානයේ ලබා ඇති ආර්ථික දියුණුව ගැන ලංකාව ලජ්ජා විය යුතුය. අන්තර්ජාතික ගනුදෙනු, කලාපීය ගනුදෙනු, ද්විපාර්ශ්වික ගනුදෙනු හරහා මිස ශක්තිමත් වීමේ අන් මඟක් ලංකාවට නැත.

මේ සම්මුතිවාදී ආණ්ඩුවේ ආර්ථික කටයුතු ගැන සතුටු වීමේ හැකියාවක් නොමැති වුවත් සැලසුම් නම් ඇති බව පෙනේ. "ඍ 2025 පොහොසත් රටක් දැක්ම" එවැන්නකි. එහෙත් මේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී බරපතළ ලෙස
විපක්ෂය බාධා එල්ල කරමින් සිටී.

විපක්ෂය පමණක් නොව ආණ්ඩුවේම පිරිසක්ද කකුලෙන් අදිමින් සිටින බව බැලූ බැල්මට පෙනේ. එය කිසිසේත් යහපත් තත්ත්වයක් නොවේ. භූගෝලීය පිහිටීම, ස්වාභාවික සම්පත් හා මානව සම්පත දෙස බලනවිට මේ රට සංවර්ධනය කිරීම අසීරු වීම පුදුමයකි.

'රට පෙරට' ගෙන යන බව පැවැසුවද 'ආසියාවේ ආශ්චර්ය' යැයි කීවද සුබ අනාගතයක්, ස්ථාවර රටක්, වෙනස ගැන කුමන කතා පැවැසුවද මේ කිසිදු සැලසුමක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට පාලකයන් අසමත්ව ඇත. ඊට දේශපාලන අස්ථාවරභාවය, දේශපාලන විසංවාද, අනවශ්‍ය බාධා කිරීම් හා කුහක විරෝධතා මෙන්ම ආචීර්ණ කල්පිත මත ද බලපා නැතැයි කිව නොහැකිය.

එහෙත් වසරින් වසර අලුත් ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් ගැන "පොත්" පළ කරමින් සිටීමෙන් අර්ථවත් කිසිවක් රටට සිදුවන්නේ නැත. පොහොසත් රටක් ගැන කතාව යථාර්ථයක් වන්නේ පොදු ජනතාවගේ අත මිට සරු වුවහොත් පමණි. නොඑසේ නම් මෙතෙක් සිදුවූ පරිදි සුළුතරයේ අතපල්ලෙන් වැටෙන දෙයින් සැනසීමට බහුතරයට ඉදිරියේදීත්
සිදුවනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්