පොලිතින් තහනම කුමකටද?

  👤  4148 readers have read this article !
2017-09-05

ඉකුත් පළමුවැනිදා සිට 'පොලිතින්' තහනම ක්‍රියාත්මක කෙරිණි. ඒ ඇතැමුන්ගේ විරෝධතා මධ්‍යයේය. මේ තහනමට විරෝධය එල්ල වී ඇත්තේ ඇතැම් පොලිතින් නිෂ්පාදකයන්ගෙනි. එහෙත් රජය පොලිතින් තහනම ගැන දැනුම්දීමක් කළේ මීට වසරකට පමණ පෙරය. එනිසා පොලිතින් නිෂ්පාදකයන් හා අදාළ කර්මාන්තශාලාවල සේවකයන්ට විකල්ප ක්‍රියාමාර්ගයනට යොමුවීමට යම් කාලයක් තිබිණි. කෙසේ වුවද රජය මේ නිෂ්පාදනයන් හා සේවකයන්ගේ ප්‍රශ්නයටද අවධානය යොමු කළ යුතුය. එය රජයේ වගකීමකි.

පොලිතින් තහනම අගය කළ යුතු වුවද ඊට ආදේශක හඳුන්වාදීමද අත්‍යවශ්‍යය. විශේෂයෙන් වෙළෙඳ ප්‍රජාව මේ තහනම නිසා ගැටලුකාරී තත්ත්වයනට මුහුණ දෙති. පාරිභෝගික ජනතාවද යම් අසීරුතාවනට පත්වේ.

ඉකුත් තුන්වැනිදා කැම්බල් පිටියේ පැවැති ශ්‍රීලනිප සමුළුවේ සැරසිලි සඳහා පොලිතින් භාවිත කර තිබුණේ නැත. එය සතුටට කරුණකි. එහෙත් ඊට සමගාමීව කොළඹ නගරයේ පොලිතින් සැරැසිලි දක්නට ලැබිණි. එය කිසිසේත් අනුමත කළ නොහැකිය.

මීට වසර තිහකට පමණ පෙර මෙරට පොලිතින් භාවිත වූයේ නැත. ප්ලාස්ටික් භාවිත වූයේ අල්ප වශයෙනි. බොහෝ විට ඇසුරුම් සඳහා පාවිච්චි කළේ දිරාපත් වන ඒවාය. 80 දශකය ආරම්භයේදී සිසිල් බීම පවා ඇසුරුම් කළේ වීදුරු බෝතල්වලය. එහෙත් ඉතා වේගයෙන් සියල්ල ප්ලාස්ටික්වලට මාරුවිය. 'සිලි' බෑග් බහුලව පාවිච්චියට ගනු ලැබිණි. ඇතැම් දියුණු රටවල මෙවැනි පොලිතීන් මලු භාවිත කිරීම අධෛර්යවත් කිරීම සඳහා 'මල්ල' සඳහා මුදලක් අය කරයි. එවැනි දේ තුළින් මිස එකවර මේ ඇබ්බැහිවීමෙන් පාරිභෝගික ජනතාව මුදාගත නොහැකිය. යළි පන්මල්ල වැනි පැරැණි භාවිතයන්ට යොමු විය යුතු කාලය පැමිණ ඇත.
ලෝකයේ රටවල් 42ක් මේ වන විට පොලිතින් හා ප්ලාස්ටික් සපුරා තහනම් කර ඇත. ලංකාවද ඒ රටවල් අතරට එක්වීම සතුටට කරුණකි. අපේ පරිසරය විශේෂයෙන් ගංගා, ඇළ‍ෙදාළ හා රට වටා පිහිටි මුහුද පොලිතින් හා ප්ලාස්ටික් නිසා අපවිත්‍ර වී තිබේ. මුහුදට කසළ බැහැර කරන ලෝකයේ රටවල් අතර ලංකාව සිටින්නේ පස්වැනි ස්ථානයේ වීමෙන් විනාශයේ තරම පැහැදිලිය.

පොලිතින් තහනමට මුවාවී බත් පැකැට්ටුවක මිල රුපියල් දහයකින් වැඩි කිරීමට හෝටල් හිමියෝ සැරසෙති. කල දුටු කල වළ ඉහගැනීමට සැරැසෙන මෙවැනි පිරිස්වලට බියවී පොලිතින් තහනම ඉවත් කරගත යුතු නැත. කළ යුත්තේ අනාගත පරපුර ගැන කිසිදු හැඟීමක් නැති මෙවැන්නන්ට එරෙහිව පියවර ගැනීමය. ජනතාව ආණ්ඩුවක් පත් කරන්නේ ඒ සඳහාය. පොලිතින් තහනම හා බත් පැකැට්ටුවේ මිල වැඩිකිරීම කළමනාකරණය කිරීම ආණ්ඩුවේ වගකීමය.

පොලිතින් භයානක වන්නේ දිරා නොයෑම නිසයි. කොළඹ ඇතුළු නගරවල වැසි වතුර බැස නොයෑමට ප්‍රබල හේතුවක් වී ඇත්තේ කානුවල කුණුරොඩු හිරවීමය. ඒ කුණුරොඩු අතර වැඩිපුර ඇත්තේ පොලිතින්ය. පොලිතින් ඇතුළු ද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණය කිරීමේ වැඩපිළිවෙළක්ද රටට අවශ්‍යය. ප්‍රතිචක්‍රියකරණය කෙරුණද එය ප්‍රමාණවත් නැත.

රජය දැනට පොලිතින් වර්ග හතරක නිෂ්පාදනය, අලෙවිය හා භාවිතය තහනම් කර තිබේ. ඉදිරියේදී මේ තහනම පුළුල් කරනු ඇත. පාරිභෝගික ජනතාවගේද යුතුකම වන්නේ පොලිතින් කවර, ලන්ච් ෂීට්, බීම බට, යෝගට් කෝප්ප, ආහාර ඇසුරුම් පෙට්ටි වැනි නිතර භාවිත වන දෑ හැකිතරම් පරිසරයට මුදාහැරීමෙන් වැළැකී සිටීමය.
පොලිතින් - ප්ලාස්ටික් තහනම මේ රටේ ජීවත්වන සියලුදෙනාගේ හිත සුව පිණිසය. කවුරු කවුරුත් එය නැණ පමණින් තේරුම් ගන්නේ නම් මහත් වාසනාවකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්